Tuesday, August 25, 2015

පරිගණකයක් මිළට ගැනීමේදී සැලකිය යුතු කරුණු


1. Desktop or Laptop ?
පරිගණකයක් මිළට ගැනීමේදී.. ඔබ මිළට ගන්නේ ... කුමණ ආකාරයක පරිගණකයක් ද යන්න පළමුව තීරණය කළ යුතුය. එය ඔබගේ අවශ්‍යතාවය සහ වියදම් කිරීමේ හැකියාව මත තීරණය කළ යුතු දෙයකි. බැලූ බැල්මට.. මේ දෙකෙන්ම වෙන්නෙ එකම දේ.. 

ඔබ පරිගණකයෙන් වැඩ කරන්ට බලාපොරොත්තු වන්නේ.. එක ස්ථානයක නම්.. ඒ වගේ ම ටිකක් වැඩිපුර වෙලා පරිගණකය එක්ක කල් ගත කරන්න හිතනවා නම්.. Desktop  එකකට යන එක ඇඟට ගුණයි.. ඒ වගේ ම සාක්කුවටත් වාසියි..  ඒත් ඔබ පරිගණකය නිතර එහෙ මෙහෙ ගෙන ගොස් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම්..Laptop  එක නිවැරදි තේරීම වේවි... ඔබ පරිගණකය ඉතා කලාතුරකින් වගේම.. ලියුමක් ගහගන්න වගේ පොඩි පොඩි වැඩ වලටනං භාවිත කරන්නෙ.. Tablet PC එකක් හරි Notebook එකක් හරි ගන්න එක වඩාත් ලාභදායී වෙනවා.. 

2. Processor
Processor එක මොකද්ද කියලා හොයලා බලන්ට ඕන. Processor එක කියන්නෙ පරිගණකයේ මොළය.. ඉස්සර නං.. Speed එකයි Architecture එකේ නමයි තමයි කිවුවෙ.. Pentium iv ,2 GHz  වගේ.. ඒත් දැන් කියන්නෙ..  Cores ගාන.. සහ Speed එක.. Core i 3 - 2GHz වගේ.. ඒත් Core i 3 කියන්නෙ Cores 3ක් තියෙනවා කියලා වරදවා වටහා ගන්ට නරකයි.. ඒකෙන් කියන්නෙ.. Processing Power එකට සම්බන්ධ Rating එකක්.. 1 සහ 2 හිමි වෙන්නෙ.. Celeron සහ Pentium කියන පරණ Processors දෙකට.. මේ ක්‍රමේ ට.. 2GHz වේගෙන් Processors 2ක් වැඩ කරනවා වගේ මේ  Processor එක වැඩ කරන බව කියනවා.. ඒ වගේ ම.. බෙදා හදා ගෙන වැඩ කිරීම තුළින් (Multi Tasking) බහුකාර්ය හැකියාව ඉහළ නංවා ගෙන වඩාත් ඵලදායී ප්‍රතිඵල දෙන්ට මේ  Cores කිහිපයක් ඇති ක්‍රමය රුකුල් දෙන බවයි පැවසෙන්නෙ.. ඒ වගේ ම Threads ගණන කීයද කියලා දැන ගන්න එකත් වටිනවා.. Multi Threading කියන්නෙත් performance වැඩි කරගන්ට භාවිත කරන තාක්ෂණයක්.. ඒ වගේ ම Cache වල ප්‍රමාණය හොයලා බලන්ට පුළුවන් නම් වඩාත් හොඳයි.. සමහර Processors වල.. මේවා වෙන වෙනම පෙන්නන්නෙ නෑ.. ඒත්.. සමස්ථ Cache එක කීයද කියලා දක්වනවා.. i3 එකකට වඩා i5 එක හොඳ වෙන්නෙ.. i5 වල තියෙන Turbo Boost කියන තාක්ෂණය නිසා.. එමඟින්.. අවශ්‍ය වෙලාවට වේගය වැඩිකරලා දෙන්න හැකියාවක් ලැබෙනවයි කියලයි කියන්නෙ.. ඒ වගේම i3 වල 3MB වන Cache එක i5 වලදි 4 සිට 6 දක්වා වන බවයි කියැවෙන්නෙ.. ඒ වගේම i7 වලදි.. එය 8MB දක්වා වැඩි වී තිබෙන බවයි කියවෙන්නෙ.. 

Hyper Threading කියන තාක්ෂණය හරහා එක Core එකකට  Threads 2ක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා..  මේ තාක්ෂණය ඇති.. i3 වල සමස්ථ(Cores 2ක් ඇති නිසා)   Threads 4කුත්.. i7 වල  Threads 8කුත් තිබෙනවා.. 

3. RAM (Main Memory)
Cache වගේම හදිස්සියට අවශ්‍ය වෙන RAM එක තමයි.. පරිගණකයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රධාන මතකය වෙන්නෙ.. Cache වලට සාපේක්ෂව ප්‍රමාණයෙන් හා ධාරිතාවයෙන් විශාල.. මිළෙන් අඩු RAM 1GB සිට.. 32GB දක්වා විතර ධාරිතා වලින් මේ දිනවල RAM මිළට ගන්න පුළුවනි. ඒත් මේකෙ වැදගත්ම හරිය එන්නෙ.. RAM Type එකෙන් සහ RAM Speed එකෙන්.. DDR3 තමයි මේ දිනවල භාවිත වන RAM Type එක.  වෙන වෙනම ගන්නකොට RAM Speed එක හරිම වැදගත්..එය Mother Board එකේ Speed එකට සමාන වන ලෙස ගන්න පරෙස්සම් වෙන්න ඕන.. 

4. Hard Disk Drive (දෘඩ තැටිය)
ප්‍රධාන වශයෙන් මිළ ට අමතරව දෘඩ තැටියේ ඉඩ ප්‍රමාණය (Capacity) සහ වේගය (RPM) ගැනත් සැලකිය යුතුයි. සාමාන්‍යයෙන් 7200 ක RPM එකක් සහ 500 GB Capacity එකක් ප්‍රශස්ත අගයයන් ලෙස සැලකෙනවා. Cache සහ RAM වලට සාපේක්ෂව මිළ අඩු Hard Disk Drive එක ද්විතීයික මතකය (Secondary Storage) වශයෙන් දැක්වෙන අතර එය සියළු දත්ත සහ තොරතුරු ස්ථිරව ගබඩා කර ගැනීමට මෙන්ම ස්ථාපනය කරන මෘදුකාංග වලට අදාළ සියළු තොරතුරු රඳවා ගැනීමටත් භාවිත කරනවා. මේ නිසා ඉහත කී RPM සහ Capacity පරිගණකයේ කාර්යක්ෂමතාව කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කරනවා..

5. UPS
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල විදුලි බිඳවැටීම් නිතර සිදු වන නිසාත්.. විදුලි සම්බන්ධතා වල ඇති නිරන්තර අඩු වැඩි වීම් නිසාත්... UPS එකක් පරිගණකයක් සමඟ මිළ දී ගැනීම ඉතා වැදගත් වෙනවා.. සාමාන්‍ය 600VA UPS එකක් සාමාන්‍ය තත්ව යටතේදී ප්‍රමාණවත් වෙනවා.

6. Sound Card, VGA Card
Onboard හෙවත්.. Mother Board එක සමඟම පැමිණෙන Sound Card, VGA Card යොදා ගැනීම ප්‍රමාණවත් මෙන්ම ලාභදායී වෙනවා. එහෙත් යම් කෙනෙකු Quality එකෙන් වඩාත් වැඩි සංගීත හෝ ශබ්ද රස විඳීමට බලාපොරොත්තු වන්නේ නම් වෙනම Sound Card එකක් මිළට ගත හැකියි.

7. Monitor 
ඔබ මිළ දී ගන්නේ.. Desktop පරිගණකයක් නම්.. Monitor එකක් අවශ්‍ය වෙනවා.. එය අඟල් 17ක ප්‍රමාණයේ වත් තිබීම පහසුවක් වනු ඇති. එය LED හෝ LCD වර්ග වලින් එකක් නම්.. එය ඔබගේ ඉඩ ඉතිරි කර දෙන අතර විදුලිය ද පිරිමසිනු ඇති. තවද LED වර්ගයේ එකක් නම්.. එය විදුලිය උපරිමයෙන් පිරිමසිනු ඇති. ඉතින් මිළත් සමඟ ඉහත කරුණු Monitor එකක් මිළ දී ගැනීමේ දී සලකා බලන්න. 

8. KeyBoard & Mouse
Desktop පරිගණකයක් සඳහා අනිවාර්යයෙන්ම හොඳ KeyBoard එකකුයි Mouse එකකුයි අරගන්න මතක තබා ගන්න. ලාබ අඩු මිළ උපාංග ඉතාම කරදරකාරී වනු ඇති නිසා.. සාමාන්‍යයෙන් රුපියල්1000ක් පමණ වන KeyBoard එකක් සහ රුපියල් 700ක් පමණ වන Mouse එකක් මිළට ගැනීම සාර්ථක වේවි.

9. CD/DVD/Combo/DVDRW
ඔබගේ අවශ්‍යතාවය අනුව සංයුක්ත තැටි භාවිතය සඳහා උපාංගයක් තෝරා ගත යුතු අතර.. වත්මන් අවශ්‍යතාව හා මිළෙහි තත්වය අනුව.. DVDRW හෙවත්  DVD Writer එකක් මිළට ගැනීම වඩා සුදුසු තෝරා ගැනීම වනු ඇත. 

10. Warranty
ඉහත කී සෑම උපාංගයක් සඳහාම වගකීම් කාලයක් ඇතුව ලබාගැනීමට ප්‍රවේශම් වන්න. සාමාන්‍යයෙන්.. Mother Board එකට අවුරුද්දේ සිට අවුරුදු 3 දක්වාත්, RAM සඳහා අවුරුදු 5ක් දක්වාත්, Hard Disk, Monitor, UPS, CDR, DVDR, Combo, DVDRW සඳහා අවුරුද්දක් පමණත් Warranty එකක් ලබා දෙන අයුරු දැක ගත හැක. 



මේ සියළු කරුණු සළකා බලන අතර.. ඔබ මිළ දී ගන්නා පරිගණකය, ඔබ වෙසෙන පෙදෙසට වඩා කිට්ටු තැනකින්, විශ්වාසයක් ඇති තැනකින් ලබා ගැනීම අලෙවියෙන් පසු සේවයක් බලාපොරොත්තු වනවා නම්... ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. 



Monday, August 24, 2015

ආඩම්බරයි ඔබ ගැන ආදර සංගා



සංගක්කාරව..අපි මුලින්ම දැක්කෙ.. 2000 වසරෙ පකිස්ථානයට එරෙහිව එක්දින තරඟාවලියෙදි. මුලින්ම ඔහුව ආදේශ උනේ රොමේෂ් කලුවිතාරණට.. ඒ කියන්නෙ ඔහුගෙ ස්ථානයට.. රොමේෂ් එක්දින තරඟ වලදි දිගින් දිගටම පිතිකරණයෙන් අසාර්ථක උනත්.. ඔහු අපේ සිත් සතන් වල පැලපදියම් වෙලා හිටපු කඩුළු රකින්නා.. ආකර්ශනීය, උද්‍යෝගිමත්, සුන්දර කලු ව පන්නලා ගෙනාපු මේ අලුත් කඩුළු රකින්නා ගැන අපට තිබුණෙ අකමැත්තක්.. විශේෂයෙන් .. සංගා.. මීට පෙර කඩුළු රකින්නෙකු වශයෙන් ඒ තරම් පළපුරුද්දක් නැති කෙනෙක් බවට ඒ දිනවල කතා වුණා.. ඒ වගේම.. ඒ දිනවල..ඔහු කලු තරම් හොඳට කඩුළු රැක්කෙ නෑ..
ඒත් ටික දිනක් යද්දි.. සංගා පිතිකරුවෙකු ලෙස කැපී පෙනෙන්න ගත්තා.. අර්ජුනලා, මහානාමලා, ගුරුසිංහලා නැති කණ්ඩායමේ.. පිතිකරණයේ වැඩි බරක් උහුලන්න.. සනත්, මාවන්, මහේල එක්ක උරෙනුර ගැටෙන්ට සංගටත් පුළුවන් උනා.. ඒ වගේම ඔහුගේ කඩුළු රැකීමත් ඔප්නැංවෙන්න පටං ගත්තා.. මුරලිගෙ දඟපන්දු වලටත් හොඳින් හුරු වුණු මේ අපූරු ක්‍රීඩකයාගේ පෞර්ෂය අපට දැනෙන්න ගත්තේ 2003 අරවින්දත් විශ්‍රාම ගියාට පස්සෙ..
ටෙස්ට් කණ්ඩායමේ කඩුළු රැකීමෙන් මිදෙන සංගා.. ටෙස්ට් පිතිකරුවෙකු ලෙස අති විශිෂ්ඨ දස්කම් දක්වන්නට උනා.. ඉතා ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි බස හසුරුවන ඔහු කණ්ඩායම වෙනුවෙන්, රට වෙනුවෙන් මෙන්ම යුක්තිය වෙනුවෙන් කතා කරන්නට කිසි විටෙක පසුබට උනේ නෑ..
නියම මහත්මයෙකු ලෙස.. පිළිවෙලින්, 20-20, එක්දින තරඟ වලින් නියම කලට .. සුපිරිම තත්වයේ සිටියදී.. සමුගත් සංගා.. ටෙස්ට් තරඟ වලින් අද දින සමුගැනීම.. වේදනාකාරී සිහිනයක් බඳුයි. එහෙත්.. සංගා පවසන්නේ.. ඔහුට වඩා විශිෂ්ඨයින් මේ ක්‍රීඩාවෙන් මීට පෙර සමුගෙන ඇති බවයි.. එසේ සමුගත්තාය කියා ක්‍රීඩාව නැති වූයේ නැති බවයි.. තමා ට ද එම තත්වය පොදු බවයි...
ඒත් මට නම් හැඟෙන්නේ.. සංගා තරම් විශිෂ්ඨයෙකු මේ බිමේ දී සමුගෙන නැති බවයි..
හෙටින් ඇරැඹෙන සංගා ගේ අලුත් දිවිය.. පෙරටත් වඩා සුන්දර එකක් වේවායි.. හදපතුලින්ම පතමි..
ඉවසමි හදවතින් නැග එන දුක් ....ගංගා
පවසමි ඔබ රජෙක් බඳු මිනිසෙකි සංගා

පිංතූරය.. ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවියෙන් සත්භාවයෙන් උස්සන ලද එකක් බව කරුණාවෙන් සළකන්න

Friday, August 7, 2015

අන්තර්ජාල භාවිතය

පරිගණක සාක්ෂරතාව Computer Literacy
සාක්ෂරතාව ඉතා ඉහල අගයක් ගන්නා ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව ද දිනෙන් දින ඉහළ යයි..ලංකාවේ එම අගය සමස්ථයක් ලෙස 10% ක් බව  කියවේ. අන්තර්ජාල පරිහරණය කිරීමට දන්නා අය 3% ක් පමණ වන බැවු කියැවෙන අතර තවත් 7% අන්තර්ජාලය ගැන දන්නා නමුත් පරිහරණය කිරීමට නොදන්නා බව පැවසෙයි.  කෙසේ වෙතත් පරිගණක භාවිතය මෙන්ම අන්තර්ජාල භාවිතය ද දිනෙන් දින ඉහළ යන බව සැවොම දන්නා කරුණකි..
ආශ්‍රිත

ජනගහනය (මිලියන 20) අනුව ලෝකයේ 58 වැනි ස්ථානය හිමි වන අප.. රැහැන් සහිත අන්තර්ජාල සම්බන්ධතා ප්‍රමාණය අනුව (හාර ලක්ෂයකට වැඩි) සම්බන්ධතා ගනණක් සමඟ 74 වැනි තැනට පත් වී ඇති අතර එම සම්බන්ධතා වල වේගය අනුව ඉන්නේ.. (2Mbps) 128 වැනි ස්ථානයේය. සම්බන්ධතා ගනණ අනුව 10 වැනි තැන ලබා ඇති ඉන්දියාව වේගය අනුව.. ලබා ඇත්තේ 137 (1.1 Mbps) වැනි තැනයි..
ජංගම දුරකථන ඇතුළු රැහැන් රහිත සම්බන්ධතා සැලකූ විට.. (ලක්ෂ නවය හමාරක් ඉක්මවා ඇති) අප.. 73 වැනි තැනත්.. වේගය (4.4 Mbps)  අනුව 114 වැනි තැනත් ලබාගෙන සිටී. ඉන්දියාව සම්බන්ධතා (මිලියන 6) අනුව 7 වැනි තැනත්.. වේගය (4.9 Mbps) අනුව 110 වැනි තැනත් ලබා ඇත..

ආශ්‍රිත

ඉන්දියාව පසු ගිය වසරට සාපේක්ෂව වේගය අතින් පහළ ගොස් ඇති අතර.. අප ලැයිස්තුවේ මඳක් ඉදිරියට විත් තිබීම කැපී පෙනේ..

කෙසේ වෙතත්.. මිලියන එක හමාරක් පමණ වූ සම්බන්ධතා භාවිත කරන අප.. එකී සම්බන්ධතා කොතරම් ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්නවාද යන්න විමසා බැලිය යුතුය.

සමාජ ජාල (Social Networks)
නිරවද්‍ය සංඛ්‍යා ලේඛන නැතත්.. මෙකී සම්බන්ධතා වැඩි වශයෙන් භාවිත කරන්නේ.. ෆේස්බුක්(facebook),ට්විටර්(twitter), හයිෆයි(Hi5), වේන් (Wayn) වැනි සමාජ ජාල භාවිතයට වන අතර.. එකී සමාජ ජාලයන් තුළ බොහෝ විට සිදුවන්නේ.. සම්ප්‍රපලාප දෙඩවීම නොහොත්.. චැට් කිරීම.. බැවු පෙනී යයි.. එහෙත්.. සැලකිය යුතු පිරිසක්.. කවි, කතන්දර ඇතුළු  සාහිත්‍යය, සංගීතය, චිත්‍ර ආදී නිර්මාණයෙහි යෙදීමට, ධර්මය බෙදා හැරීමට මෙන්ම මේ සියල්ල පරිශීලනයට ද මෙකී සමාජ ජාල යොදා ගැනීම සතුටට කරුණකි.. විශේෂයෙන් මේ හරහා සබුද්ධික  සමූහයන් (Community ) බිහිව ඇති අතර.. එය වඩාත් සංවාදශීලී.. ජන සමාජයක් ගොඩනැඟීමට ඉවහල් විය හැකි තත්වයකි. ඉහත කී සමාජ ජාලයන්ට අමතරව.. යම් කිසි කණ්ඩායම් ඉලක්ක කරගත්.. (Community Forums) වෙබ් අඩවි ද දැකිය හැක.. උදාහරණයක් ලෙස elakiri.com යනු ශ්‍රී ලාංකීය ජන සමාජය ඉලක්ක කරගෙන පවත්වාගෙන යන එවැනි වෙබ් අඩවියකි.. මේවා බොහෝ කොට නිර්මාණ, දැනුම ආදිය බෙදා හදා ගැනීමට යොදා ගැනෙන අතර Content Management System ලෙසින් හඳුන්වන Web Application එකක් භාවිතයෙන් සිය සේවාව පවත්වනු ලබයි.. ඇතැම් විෂයයන් සඳහා විශේෂිත වූ Forums ද දැකිය හැකි අතර ඒවා එකී විෂයයන් සම්බන්ධයෙන් වූ ගැටළු සාකඡ්ඡා කිරීමට කදිම තෝතැන්නක් වී ඇත. vbforums,  Technet Forums, MSDN Forums.. ආදී වශයෙන්.. උදාහරණ බොහොමයක් මේ සඳහා සැපයිය හැකි අතර.. ඒවායින් සමහරක් තමන්ගේ Products භාවිත කරන්නන්ගේ පහසුව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබයි..

සන්නිවේදන කාර්යය (Communication)
විශේෂයෙන් තමන්ගේ රටින් බැහැරව සිටින ඥාති මිත්‍රාදීන් සමඟ කතා බස් කිරීමට ස්කයිප්(Skype), වයිබර්(Viber) වැනි අන්තර්ජාල මෘදුකාංග යෙදවුම් (Software Applications)  යොදා ගන්නා අතර.. Images, Audio, Video ආදී වශයෙන් ඇති ලේඛන File Sharing තාක්ෂණය හරහා හුවමාරු කර ගැනීම ද, වෙනත් තැනක ඇති පරිගණකයක් පාලනය කිරීමට Remote Assistance තාක්ෂණය භාවිත කිරීමද මෙකී මෘදුකාංග වල ඇති පහසුකම් අතර දැකිය හැක. Yahoo, Google Talk, MSN Massenger වැනි යෙදවුම් ද ඉහත කී යෙදවුම් වලට විකල්පයන් ලෙස භාවිත කළ හැකි යෙදවුම් ය. මුලින් කී Facebook වැනි සමාජ ජාල හරහා ද මේ කාර්යයන් බොහොමයක් කරගැනීමේ පහසුව දැන් හිමිව ඇත..

දුරස්ථ සහායක මෘදුකාංග (Remote Assistance Software)
මේ සඳහාම නිපදවූ යෙදවුම්... ලෙස පිළිගැනෙන.. Teamviewer, WindowsRemoteAssistance, VNC, Chrome Remote Desktop, Remote PC වැනි යෙදවුම් ඉතා ජනප්‍රිය වුවත්.. පෙර කී.. යෙදවුම් වලත් බොහෝ දුරට මෙම කාර්යය කිරීමේ පහසුකම අන්තර්ගත වී තිබේ..

බ්ලොග් -blog
ඉහත කී යෙදවුම් වලින් බොහෝ සෙයින් වෙනස්.. එහෙත් තොරතුරු බෙදා ගැනීම සඳහා අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන තවත් මෙවලමකි "බ්ලොග්". Web Log  යන වදන් එක් කීරීමෙන් සෑදිණැයි සැලකෙන.. blog.. පුද්ගලිකව.. හෝ කුඩා සමූහයක් ලෙස සිය තොරතුරු, නිර්මාණ, ප්‍රවෘත්ති ආදිය අන් අයත් සමඟ බෙදා හදා ගැනීම සඳහා භාවිත කරයි. යම් නිර්මාණ හෝ.. තොරතුරු සංරක්ෂණය සඳහා ද බ්ලොග් ගත කිරීම සරල විසඳුමකි.  සිංහල බ්ලොග් කරුවන් අතර ද ඉතා හොඳ සාමූහිකත්වයක් ගොඩ නැංවී ඇති අතර.. විටෙක සාහිත්‍ය ධරයෙක් ලෙස, විටෙක පුවත් ප්‍රචාරකයෙක් ලෙස මෙන්ම විටෙක ජාත්‍යන්තර විචාරකයෙක් ලෙස නැගී එන බ්ලොග්කරුවා ප්‍රබල ජන සන්නිවේදකයෙකු බවට පත්වී ඇති බැවු පෙනේ.
මේ අනුව බැලූ විට.. අද වන විට.. අන්තර්ජාලය සමඟ භාවිත වන බොහෝ යෙදවුම් අපේක්ෂිත මූලික කාර්යය ඉක්මවා බොහෝ දෑ කර දෙන තත්වයට පත්ව ඇති බැවු පෙනේ. එහෙත් අප භාවිත කරන්නේ.. අදාල යෙදවුමේ ඇති පහසුකම් වලින් ඉතාමත් සුළුතරයක් බව මගේ අදහසයි..කෙසේ වෙතත් අප හට ඇති පහසුකම් වලින් වඩාත් ඵලදායී ලෙස.. ප්‍රයෝජන ගැනීම අප සතු යුතුකමකි.

දියවන්නා රිටි පැනීම..

මනාපයක් ඉල්ලාගෙන හැම තැන ...............රිස්සේ
දනින් වැටි වැටී ගොහොරුවෙ පිරි මඩ .........ඔස්සේ
වසන්තයක කොඩි ඔසවා වෙළකට ............බැස්සේ
රුවන් සක්මණින් ගොස් බොහො කලකට ....පස්සේ

බඩ මහතයි ඒක ලෙඩක් මගෙ වරදක් ......නොවෙයි
පෝස්ටර් ටිකත් ණයටයි.. මගේ සල්ලි .....නොවෙයි
දියවන්නා රිටි පැනීම ගතට වෙහෙස .......නොවෙයි
හිතට දුක උනත් පනින්නෙ . මුදලට හෙම නොවෙයි

බෙදා හදා කන එක ගැන කියල' දුන්නු ...........අයයි
සදා තනිව කන හැටි පෙන්නලා දුන්නු ............අයයි
මෙදා නොකා පස්සෙ කන්න පෙරුම් පුරන ....අයයි
සුදා වෙළේ ඉද්දි ෆයිල් ඉස්සුවෙ මේ .............අයයි

මට්ටු කරන්නට මේ අය මඟක් නැද්ද .............ඔබට
තුට්ටු දෙකේ ලණු මොකටද එල්ලෙන ........පාලමට
රට්ටු මොනා කීවත් අපි බය නැහැ ඔය ........හෙටට
කිට්ටු වෙයල්ලා හනිකට "සීලරතන" .............හිමිට

Wednesday, July 29, 2015

බැරිදා විග්‍රහය.. !මේ පාරවත් ඡන්දෙ දාමුද කෙළිං.. හිටං..?

මහින්ද රාජපක්ෂ කියන දූෂිත පාලකයට ආයෙත් බලයට එන්න අපි ඉඩ තියන්නෙ නෑ..
රට ආයෙත් යුද්ධයකට ගෙනියන යූ ඇන් පී පාලනයකට අපි ඉඩ තියන්නෙ නෑ..
ඔය වගේ කතා නිතරම ඇහෙනවා..
ඇත්තටම මෙයාලා කොහොමද එහෙම කියන්නෙ.. එහෙම කරන්න මෙයාලට තියෙන්නෙත්.. ඔයාලට අපිට තියෙන අයිතියම නේද? ඒ අයිතියෙන් කොහොමද අපි ඒ ගැන ලංසු තියන්නෙ.. ?
එයාලටත් .. අපිටත්.. පුළුවන් එක දෙයයි.. ඒ .. තමන්ගෙ කැමැත්ත ලකුණු කරලා එක ඡන්දයක්.. දාන්න.. කොච්චර කෑගැහුවත්.. ඔයිට එහා දෙයක්.. නීත්‍යනුකූලව නං කොරන්ට බෑ හිටං.. මිනිස්සු ඡන්දෙ දුන්නොත් එපා කියන්ටද? ඒ නිසා නිකං වහසි බස් දොඩවන්නෙ නැතුව.. එක එකාට බනින්නෙ නැතුව.. තමන්ගෙ සංවර්ධන වැඩ පිළිවෙල ඉදිරිපත් කරා නං.. ඒවා ගැන මිනිස්සු දැනුවත් කරා නං.. ඒවා ක්‍රියාත්මක කරන්ට අවශ්‍ය පසුබිම හැදුවා නං.. නාකද මං අහන්නෙ.. ?
මහින්දගෙ සුන්දර පොරොන්දු ටික වගේ ම චෝදනා පත්‍රයත් ඉතිං මානසික ඉහිල් වීමකට කියාපු විහිළු ටික..
රනිල් ගෙ.. කතා වලත් මෙලෝ රහක් නෑ.. කියන්නෙ එකම ටික.. ටික වෙලාවක් අලි බබා සහ හොරු හතලිහ පට්ට ගහලා.. ඊට පස්සෙ කියනවා.. අපි රැකියා ලක්ෂ 10ක් දෙනවා කියලා..අගමැති වෙලා අවුරුදු 5කින් රැකියා ලක්ෂ 10ක් දෙන එක මහ කජ්ජක්ය..(මාත් හිතාන ඉන්නවා.. (අඩු ගානේ ප්‍රාදේශීය සබා මන්ත්‍රී කමක්වත් නැතුව..grin emoticon ) රැකියා 10ක් විතර දෙන්න ඉදිරි අවුරුදු පහේ.. හිකි හිකිස්..)
අනුර කුමාර උන්නැහේ.. දුම්මල වරම අතට අරං.. ඉස්සෙල්ලම රාජ පස්ස පතුරු ගහනවා... ඊට පස්සෙ.. රනිල් ගොයියවත් පොඩ්ඩක් කොනිති ගහනවා.. අන්තිමේ කියනවා.. රට හදන්ට පුළුවන් එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි කියලා..
ඒ අතින් අපේ ෆොන්සේකා මහත්තැන් හොඳයි.. හිටපු රජා ගැන කියද්දි පොඩ්ඩක් තද වෙනවා තමයි.. අඩුම ගානෙ.. සාධාරණ ඉල්ලීමක් ජනතාවගෙන් කරනවා.. මොන පක්ෂෙන් හරි.. හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු එවන්ට කියලා.. ඒ මහත්තැන් තේරුම් අරන් තියෙනවා.. වෙලාවෙ හැටියට රටේ අවශ්‍යතාවය..
අපේ මිනිස්සු එහෙම ලේසියකට මේ කාලකන්නි පක්ෂ අතෑරලා.. තමන්නෙ දැන ඇඳුනුම්කම්.. අතෑරලා.. වහල් බව අතෑරලා.. තමන්නෙ වාසිය අතෑරලා.. හැබෑ මිනිස්සු විදිහට කෙලිං හිටගන්ට කැමති නෑ.. හිටං..
අපේ ඒ ගොංකං නිසා.. මේ රටේ බිහිවුණු රාජ්‍ය නායකයො කී දෙනෙක්.. නං..
හොරු.. මංකොල්ල කාරයො.. පාතාලයො.. කුඩු කාරයො, එතනෝල් කාරයො බවට පත් වුණා ද?
මේ පාරවත් ඡන්දෙ දාමුද කෙළිං.. හිටං..?

Wednesday, July 22, 2015

බැරිදා විග්‍රහය ! බැඳුම්කරේ මෙයයි හොරේ..!


මා මීට පෙර ද සඳහන් කළ පරිදි.. වත්මන් රජය නා ගත් ප්‍රධානතම තැන මහබැංකු බැඳුම්කර සිද්ධියයි..එම සිද්ධිය හා සම්බන්ධව හරිහැටි කරුණු දැක්වීමක් නැති නම්.. මහ බැංකු අධිපතිවරයාට විරුද්ධව ක්‍රියා කළ යුතුව තිබුණු බව මම එහිදී සඳහන් කළෙමි.. විශේෂයෙන්.. ඩිව් ගුණසේකර වැනි මා ගරු කරන පැරණි වාමාංශික නායකයෙකු අසත්‍යය පවසතතැයි සිතන්නට මගේ සිත ඉඩ දුන්නේ නැත. අනුර කුමාර සහෝදරයා ද කීවේ.. රනිල් ගෙන් බැඳුම්කර ගැන ඇසූ විට රනිල් කබ් රාල් ගැන කියන්නේ එතැන වංචාවක් සිදුව ඇති නිසා බවය. මේ සියල්ල නිසා ම රට විනාශ කළ මරා ප්‍රමුඛ අශුද්ධ සංධානයට මුහුණ දීමට තරම් ශක්තිමත් ශුද්ධ සංධානයක් රනිල් ප්‍රමුඛ එජාපයට තැනිය නොහැකි බව මගේ විශ්වාසය විය. එපමණක් නොව.. රටට විකල්පයක් නැති කරුමය ගැන අපමණ කණගාටුවක් සිතෙහි විය.

එහෙත්.. පසුගිය විසි වැනි දින.. නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් බැඳුම්කර සිද්ධිය සම්බන්ධව ඉදිරිපත් කර ඇති විග්‍රහය ට සවන් දීමෙන් පසු මහබැංකු අධිපතිවරයා නිවැරදි බවක් හැඟුණි. එහෙත් එක් පාර්ශවයක කරුණු පමණක් සෑහෙන්නේ නැත.. . දැන් යළිත් දොරටු විවෘත ය.. සියළු කරුණු කාරණා සහිතව සංවාදයකට එළැඹීමට කබ්‍ රාල්, ඩිව් හා සුජීවට අවශ්‍ය මනා වේදිකාවක් පමණය...




වීඩියෝව මෙතැනින්
නැත්නම්.. මෙතැනින්..

ප.ලි
රනිල්  බැඳුම්කර ගැන කියද්දි ..කබ්‍ රාල් ගැන කතා කළේත්..
ඩිව් සුජීවත් එක්ක සංවාදයකට එන්න බෑ කිවුවේත්.. ඇයි කියා.. මේ විග්‍රහය ඇසූ කෙනෙකුට මනාව තේරුම් ගත හැක..

Thursday, July 9, 2015

පරිගණකය හෙවත් Computer එක

පරිගණකය හෙවත් Computer එක පසුගිය කෙටි කාලය තුළ ඉතා වේගයෙන් ජනතාව අතරට ඇතුළු වූ ඉලෙක්ට්‍රොනික උපාංගයකි.

එඬේර යුගය
පරිගණකයේ ඉතිහාසය ගැන කතා කරන විට එය එඬේර යුගය තෙක් දිවෙන බැවු ඇතැමෙකු සඳහන් කරන්නේ.. ආදි කාලීන එඬේරා.. සිය ගවයින් හෝ බැටලුවන් ගණනය කිරීමෙහිලා.. බොරලු කැට ගණන් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන ලද හෙයිනි.. එහෙයින් ආදි කාලීන පරිගණකයේ මූලික කාර්යය වන්නට ඇත්තේ ගණනය කිරීම බව අපට සිතාගත හැක.  පසු කාලීනව, ගණනය කිරීම සඳහා විවිධ ක්‍රමවේදයන් සහ සරල යන්ත්‍ර සූත්‍ර භාවිත කෙරිනි. Abacus හෙවත් ඇබකසය කුඩා ළමුන් සඳහා තවමත් ජනප්‍රිය ගණනය කිරීමේ සරල යන්ත්‍රයකි.

පරිගණකයේ පියා..
කෙසේ වෙතත්.. පළමු යාන්ත්‍රික පරිගණකය නිපදවන ලද්දේ 19 වැනි සියවසේ ජීවත් වූ එංගලන්ත යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු වූ Charles Babbage (චාර්ල්ස් බැබේජ්)  බවයි පැවසෙන්නේ.. ඒ නිසාම ඔහු "පරිගණකයේ පියා" ලෙස හැඳින්වෙනවා..  Programmable Computer යන අදහස ඔහු විසින් හඳුන්වාදුන් බවත් කියැවෙනවා..  1822 අවුරුද්දෙදි ඔහු විසින් සාදන ලද පරිගණකය හඳුන්වා ඇත්තේ "Difference Engine" නමින්.

මෙය ප්‍රමාණයෙන් කෙතරම් විශාල වී ද යත්.. කොටස් 25,000 ක් පමණ එක්කොට සාදා තිබු අතර.. අඩි 8 ක් උස ටොන් 15ක් පමණ බරකින් යුක්ත උපකරණයක් උනා.. මෙම පරිගණකයෙන් ලැබෙන ප්‍රථිඵල මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ යන්ත්‍රයක් සැකසූ බැබේජ්.. වත්මන් මුද්‍රණ කලාවේ පියා බවටද පත් වූ බව බොහෝ දෙනා නොදන්නා දෙයක්. එම මුද්‍රණ යන්ත්‍රය බරින් ටොන් දෙක හමාරක් පමණ වුවත්.. එය ඉතාම දියුණු තත්වයේ එකක් වූ බව පැවසෙනවා..

එදා වගෙද අද
එදා ඔය තරම් ලොකුවට නිපදවපු පරිගණක වලට වඩා බොහෝ වැඩ ඉතා වේගයෙන් සිදු කරන, අත්ල මත තබා ගත හැකි පරිගණක පවා මෑත කාලය තුල ඉතා සුලභ දසුනක්.

Desktop, Laptop, Palm Top, Notebook, Tablet PC මෙන්ම.. 2G, 3G, 4G Mobile Phones ද පරිගණකයේ විවිධ කුල ලෙස හඳුන්වා දිය හැකියි..  එමෙන්ම ඇනලොග් සහ පළමු ඛාණ්ඩයේ දුරකථනයන් මෙන්ම Calculator එකත්.. පරිගණකයේ ම විවිධ අවධින් නියෝජනය කරනවා නොවේදැයි ප්‍රශ්න කිරීමෙහි වරදක් නැහැ.

මේ නිසා දැන හෝ නොදැන.. ලංකාවේ සෑම දෙනාම පාහේ පරිගණකයක් පාවිච්චි කර ඇති බවයි මා නම් විශ්වාස කරන්නේ.

පරිගණක පද්ධතියක මූලික කොටස්

පරිගණක පද්ධතියක් තුළ හඳුනාගන්නා මූලික කොටස් ලෙස ..Hardware, Software, Liveware හැඳින්විය හැකියි.
පද්ධතිය තුළ අතට හසුවන අජීවී සෑම දෙයක්ම Hardware ගණයට අයත් වන අතර.. Keyboard, Mouse, Monitor, Printer, CPU, HardDisk ආදිය උදාහරණ ලෙස දැක්විය හැක.. මේවා.. Input, Output, Storage, Process යන ප්‍රධාන අනුකොටස් වලට බෙදේ..

මෘදුකාංග හෙවත් Software ලෙස පොදුවේ හැඳින්වුවද.. Firmware සහ Software වශයෙන් ප්‍රධාන ඛාණ්ඩ දෙකක් වේ. පරිගණකය නිශ්පාදනයේදී නිශ්පාදකයින් විසින් ඇතුළු කර ඇති මෘදුකාංග..Firmware ලෙස හඳුන්වන අතර.. Software ඛාණ්ඩය ප්‍රධාන වශයෙන් Systems Software සහ Application Software වශයෙන් බෙදී යයි.. මෙහෙයුම් පද්ධතිය හෙවත්.. Operating System එක සහ Driver Software,.... Systems Software යටතට ගැනෙන අතර..සාමාන්‍ය User විසින් භාවිත කරන Software.. Application Software (හෙවත්.. MS Word, MS Excell...) දැක්විය හැක..

පරිගණක පද්ධතිය හා සම්බන්ධ වන User , System Administrator, Systems Analyzer, Programmer  ඇතුළු සියළු ජීවී පුද්ගලයින්  Live Ware   ඛාණ්ඩයෙහිලා ගැනේ..

තවත් කොටසක් ඉදිරියට..








Tuesday, July 7, 2015

කල දුටු කල වළ ඉහගං

මචං මේ පාරවත් මොනවා හරි කරගමුද බං..?
ඒ කිවුවෙ මචං..?
පොලිටික්ස් වලිං මොනා හරි සපෝට් එකක් ගමු..
මොනාටද බං..?
හොඳ රස්සාවකට පැනගමු..
නැත්තං මොකක් හරි කොන්ත්‍රාත්තුවක් අල්ලගමු..
අයියෝ එපා බං..
ඒ මොකෝ..?
මේ අවුරුදු තිස් අටටම දේශපාලන මතයක් දැරුවා මිසක්ක මං කවදාවත් දේශපාලකයොන්ගෙන් උදවු ගන්ට ගියෙ නෑ නෙ මචං.. ඉස්සරහටත් ඕන නෑ.. ඔය විදිහට දේශපාලකයින්ගෙන් පටු වාසි ගන්ට බලාපොරොත්තු වෙන ආකල්පය රටෙන් තුරන් කරන්ට තියෙනවා නං ලොකු දෙයක්..
මං නං මචං මොකක් හරි රස්සාවකට පැන ගන්ට ඕන.. කල දුටු කල වළ ඉහගං කියනවනේ..
මචං මේ දවස් වල මාර රස්නයක් නෙ තියෙන්නෙ නේ..?

Friday, July 3, 2015

මහින්දට නොමිනේෂන් දීම..

පසුගිය දින කිහිපයම පුරා දේශපාලනය ගැන සිතන හෝ කතාකරන හැම මොහොතකම.. මහින්ද එන්නේ බුලත් කොලෙන්ද .. නැත්නම් වෙනත් කොලයකින්ද යන කුහුල අප වෙත තිබූ බව නොරහසකි.. මොකෙන් ආවත් මහින්ද පාර්ලිමේන්තුව තුළට ඒම වැළැක්වීමට ක්‍රමයක් නැති බැවු අප නොදැන සිටියා නොවේ.. එය වැළැක්වීමට නොහැකි නම්.. සන්ධානයෙන් පැමිණීම වැළැක්වීමේ අමුතු අවශ්‍යතාවයක්ද නැත..
ඊයේ මහින්දට නොමිනේෂන් නොදෙන බවට පළවූ වාර්තා දෙස බලා සතුටක් ඇති වූයේ අනෙකක් නිසා නොව.. මහින්ද, විමල්, දිනේශ්, ගම්මන්පිල, වාසු ප්‍රමුඛ අශුද්ධ සන්ධානය වෙනම ඉල්ලූ කල.. මෛත්‍රීගේ ශ්‍රීලනිපය, රතන හාමුදුරුවො, ෆොන්සේකා වැනි යහපාලන බලවේග සාපේක්ෂ පාරිශුද්ධ බවක් ඇතිව සංධාන ගත වී ඡන්දයකට යාම මාගේ ඡන්දය කා හට දෙන්නේ ද යන ගැටළුවට පිළිතුරු සපයනු ඇති බවට ඇති වූ බලාපොරොත්තුවයි..

එහෙත් මහින්දට සන්ධානයෙන් නොමිනේසන් දෙන්ට තීරණය කරනවාත් සමඟ මාගේ එකී බලාපොරොත්තුව බිඳවැටුණා පමණක් නොව.. එකී අශුද්ධ සංධානයට වැඩි බලයක් ලැබී.. ශුද්ධ සංධාන යටපත් වීමේ අවදානමක් මතුව ආ අතර.. මා යළිත් එජාපය දෙසට දෝලනය වන්නට විය.. පසුගිය වකවානුවේ ඉතා දුර්වල.. හිතුවක්කාර.. පාලකයෙකු බව ඔප්පු කළ රනිල්ට ඡන්දය දෙන්නට ද හිත හදා ගත නොහැක.. එහෙත් මහින්ද අගමැති වී.. නැවතත් ජනතාව යන්තමින් භුක්තිවිඳින්නට ගත් නිදහස, සාධාරණත්වය නැති වෙනවා ඉවසා සිටින්නටත් නොහැක..

රතන හිමියනි, ෆොන්සේකා මැතිඳුනි.. ඔබ දෙපළ ඉදිරියේදී ගන්නා තීරණ ගැන දෑස් දල්වා බලා හිඳිමි..

මහින්දගේ පැමිණීම අන් හැමට වඩා ඔබ දෙදෙනාට.. අන්තරායකර විය හැක..

කෙසේ වෙතත්.. මහින්ද ගේ ආගමනය කෙටි කාලීනව.. රතන හිමි, ෆොන්සේකා, රාජිත, අර්ජුන, රන්ජන්, විජයදාස වැන්නන්ටද දිගු කාලීනව මුලු රටටමද මහා කොඩි විනයක් වන බැවු නොකිව මනාය..

Thursday, July 2, 2015

නැව ගිලුනත් බෑන් චූන්

මට නැව ගිලෙතත් බෑන් චූන් කතාව ගැන හොඳම අත්දැකීම ලැබුණේ ටයිටැනික් චිත්තරපටිය බලපු දොහේ ය. ටයිටැනික් නැව ගිලෙන්ට යද්දි.. දහස් ගනං ඈයො.. ජීවිතය බේරගන්ට සටං කරද්දි.. මේ බෑන් චූං ගහපු හාදයො ටික වගේ වගක් නැතිව හිටියෙ .. ආසාවට නොවේය.. ඒක උන්දැලගෙ රස්සාව නිසාය... රස්සාව හරියට කොරන්නෙ නැතිව පණ බේරගන්නවට වඩා.. රස්සාව හරියට කොරලා මැරෙන එක උතුම් කියලා හිතන්ට තරං මහා නිර්භීත කමක් ඇත්තටම උන්ට තිබුණද කියලා මට විඩෙන් විඩේ නොහිතුණා නොවේය..

කොයික වෙතත්.. අපේ ජීවිතේ ගෙවිච්ච පැත්ත දිහා ආපහු හැරිලා බැලුවම.. අපිත් නැවු ගිලෙද්දි බෑන් චූන් ගහපු අවස්ථා ඕනෑ තරං හොයා ගත්තෑකිය.. ඒ අතරෙ සුන්දරම සුන්දර කතාවක් මතක් උනේ මගේ අතිජාත මිත්‍රයා අද දුරකතනයෙන් කතා කරපු වෙලාවේය...

ඒ නවසිය අනූ අට අවුරුද්දය.. අපි තුන්වැනි පාරට උ/පෙ ලියන්නට සැරසෙන කාලයයි.. අපේ සුමේධ සර් කිවුවේ හිස ගිණිගත්තෙකු එගිණි නිවන ලෙස.. පාඩං කොරන්න්ට කියාය.. ඒ නිසාම මාත් මගේ මිතුරාත් එක් දිනක් තෝරාගෙන රැය පහන් වන තුරු ශිල්ප ප්‍රගුණ කරන්ට හෙවත්.. ගණං දෙක තුනක් ප්‍රැක්ටිස් වෙන්ට කතිකා කරගෙන එයට පූර්වයෙහි මනා නින්දක් ද ලබාගෙන අපගේ නිවසේ සදා නිම නොකළ සුදුසු ස්ථානයක මේසයක් තබාගෙන සැට් උනේ මේ ගණං දෙක තුන ගොඩ දාගෙන මිස නොනැගිටිමුයි කියාය..

අප එක දිගට මිනිත්තු 25-30 ක් වැඩ කරන්නට ඇත..  කිසියම් තෙහෙට්ටු ගතියක් නිසා කෙටි විවේකයක් ගමු දැයි එකෙකු ඇසීමෙන් පළමු කෙටි විවේකය රාත්‍රී 10.00 ට පමණ ගන්නට තීරණය විය.. එම කෙටි විවේකය හැකි ඉක්මණින් එනම් පාන්දර 2 ට පමණ අවසන් කර නැවතත් පාඩම් කරන්නට ගත්තේ.. මා පියන් රැවටීම උචිත නොවන දෙයක් බව තේරුම් ගත් නිසාය.. සැලැකිය යුතු වෙලාවක් හෙවත් මිනිත්තු 45ක් පමණ එක දිගට පාඩම් කළ අපි ඉන් අනතුරුව කතා කරන්නට වූයේ.. නැවත කෙටි විවේකයක් ගන්නවාද නැතිනම් .. කෙටි නින්දක් දමා පසු දින නැවතත් පාඩම් කරනවාද යන්න පිළිබඳවය.. ඉතාම හොඳින් කරුණු කාරණා සලකා බැලූ අප දෙදෙනා පාන්දර 4 වන විට කෙටි නින්දක් ලබා ගැනීමට ගත් තීරණය පසුදිනය යහතින් ගත කිරීමේ අරමුණින් ගත් තීරණයක් බව කිව යුතුය..

මේ ආකාරයට අප එදා පාඩම් කළ ආකාරය ගැන සිතන විට විවිධ ප්‍රස්ථා පිරුළු සහ කියමන් සිහියට නැඟීම අරුමයක් නොවේය.. එහෙත් ඇතැම් ප්‍රස්ථා පිරුලක් දුටු විට මෙතෙක් මේ කතාව මතක් වන්නේ අප දෙදෙනාට පමණක් විය යුතුය..

එදත් අපි එහෙමය.. ඕනම වැඩක් අන්තිම මොහොත දක්වා තබා ගැනීම අපේ පුරුද්දය.. ඒ අන්තිම මොහොතට හොඳින් මුහුණ දීම සඳහා හොඳින් රිලැක්ස් වීම අනිවාර්යය... තවමත් අපි එහෙමය.. ලෙඩා මළත් බඩ සුද්දය.. නැව ගිලුනත් බෑන් චූන් ය..



Friday, June 26, 2015

අධිකරණ තීන්දු වලට එරෙහි වීම

එදා මෙන් නොව.. අද අධිකරණය.. ස්වාධීන තීන්දු තීරණ ලබා දෙන බවක් පැහැදිලිව පෙනේ.... ඒවායින් සමහරක්.. තීරණ... පොදු සමාජයේ ඇසින් වැරදි ඒවා විය හැක.. එහෙත් අධිකරණ විනිසුරුවරයන්ගේ වගකීම පවතින නීතියට අනුව වඩාත් අපක්ෂපාතීම තීන්දුව ලබා දීම මිස.. බහුතරයේ හෝ වෙනත් කෙනෙකුගේ කැමැත්ත ඉටු කිරීම නොවේ..

ආසන්නතම සිද්ධිය හමුදා නිලධරයා සම්බන්ධ තීන්දුවයි.. මට නම් එය පෙනෙන්නේ.. අධිකරණයේ ස්වාධීන තීන්දුවක් ලෙසයි.. ඔහු නිවැරදි නම්, කළ යුත්තේ..මේ තීන්දුව ට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කොට.. අධිකරණයෙන්ම සාධාරණයක් ඉටු කර ගැනීමයි.. ඇතැම් විට   මෙම තීන්දුව ගෙන ඇත්තේ නීතියේ යම් හිඩැසකින් නම්.. ජනපතිවරයා හමුවේ මෙම ගැටළුව ඉදිරිපත් කිරීම.. සාර්ථක පියවරක් වනු ඇත.. වත්මන් ජනපතිවරයා.. නිකරුණේ අධිකරණයේ වැඩ වලට ඇඟිලි ගසන මදාවියෙකු නොවන බව අපි දනිමු..

රට වෙනුවෙන්.. ඉතා බරපතල යුදයක යෙදුණු පුද්ගලයෙකු පිළිබඳ මෙවන් තීරණයක් ඇසීමට අප කවුරුත් කැමති නැත..  ඇතැම් විට විනිසුරුවන්ට  වැරදුණා ද විය හැක.. මන්ද විනිසුරුවන් ද මිනිසුන් වන බැවිනි.. එබැවින් නැවත වරක් මෙම සිද්ධිය අධිකරණය තුළ විභාග කිරීම වඩාත්ම ප්‍රායෝගික ක්‍රියාව වනු ඇත..

ආණ්ඩු විරෝධී පිරිස් .. මෙය ආණ්ඩුව විසින් දුන් තීරණයක් පරිද්දෙන් මේ සම්බන්ධව ආණ්ඩුවට දොස් පවරමින් සිටිති.. ඡන්දයක් අත ළඟ තබාගෙන මෙවන් තීන්දුවකට අධිකරණයට බලපෑම් කරන්නට  ආණ්ඩුවට මොලේ කොලොප්පම් යැයි සිතනවා නම්.. ඒ ඔවුන්ගේ දේශපාලන අඳබාල කම මිස අන් කවරක්ද? මෙය දේශපාලන අර්ථයෙන් නොදැක.. අපේ සහෘදයෙකු.. අපේ ම මිනිසෙකු හට සිදුවූ අකරතැබ්බයක් ලෙස සලකා..ඔහුගේ නිදහස පතමු.. එය වඩාත් සාධාරණ ක්‍රමයකට ලැබේ නම් ජාතියක් ලෙස ආඩම්බර වියහැකි බව සිත්හි තබාගමු..

Monday, June 22, 2015

0% available (plugged in, not charging) Consider replacing your battery

පෙරේදා හොඳටම කලබොල දවසක්.. රියල් මචං ගෙ පස් කන්දක හුස්ම ගන්න සීන් එකට යන්න තිබුණු නිසා.. දඩි බිඩියෙ යද්දි.. ලැප් එකට ගහලා තිබුණු ප්ලග් එක ගලවන්න බැරි වෙලා.. ඊට පස්සෙ තවත් ගමනක් යන්ට වුණු නිසා.. ගෙදර එනකොට රෑ උනා.. කොහොමිං කොහොම හරි.. ඊයෙත්.. හවස තමයි ලැපා දිහා ඇහැක් ඇරලා බැලුවෙ..

ඔන් කරලා බුකියට ලොග් උනා.. බැටරිය 100% කියලා තමයි පෙන්නුවෙ.. සම්පත් අයියගෙ පොටෝ දෙක තුනකට ලැයික් දාන්ට ඉස්පාසුවක් උනේ නෑ..  මෙන්න ලැප් එක ඕෆ් උනා.. ඕන මඟුලක් කියලා දමලා ගහලා නිදියගත්තෙ..ඕක ගැන හිත යොමු කරන්ට ගියොත්.. නිදි දෙවුදුවට හිරිහැරයක් වෙයි කියන බයට..

උදේ නැගිටලා..ඔන් කරන්නත් කලිං ම ප්ලග් එක ගැහුවා.. මෙන්න බොලේ.. චාර්ජිං බල්බ් එක කොල පාටින් පත්තු වෙනවා (ඒ කියන්නෙ චාර්ජ් වෙන්න දෙයක් නෑ කියන සඥ්ඥාව) . ඔන් කරලා බැලුවම.. පෙන්නන්නෙ අර හෙඩිමෙ තියෙන වාක්‍ය පොඩ්ඩ.. උදේ පාන්දර තියෙන හීතල හිංදා වෙන්ටැති දාඩිය දැම්මෙ නෑ... ඒත් හිතුණෙ බැට්‍රියට අබ සරණයි කියලා.. ඒත් අන්තර් ජාලය පැත්තෙ හොයලා බලන්ට ඕන කියලා හිතුණෙ.. මොකක් හරි ගොඩ වෙදකමක් තියෙයිද කියලා බලන්නයි..

අනේ ඒත් බලන බලන ඒවයෙ තියෙන්නෙ.. දැන් නං උඹට කෙලවෙලා කියලා විතරමයි.. ඒත් එක දෙයියෙක් වගේ මහත්තයෙක් කියලා තිබුණා.. ප්ලග් එකයි බැටරියයි ගලවලා.. තත්පර දහයක් පවර් බටන් එක ඔබාගෙන ඉඳලා බලන්ට කියලා.. පල්ලෙහයින් තවත් මහත්තයෙක් කියලා තිබුණා.. ඒක වැඩ කළා කියලත්.. මටත් හිතුණා ඕක කොරලා බලන්ට..


දෙයියංගෙ පිහිටයි .. බුදුංගෙ සරණයි කියලා.. මෙන්න යකඩෝ.. ගිඩි ගිඩි ගාලා චාර්ජ් වෙනවා හිටං.. මට ලොකු සතුටක් දැනුණා කාලෙකට පස්සෙ.. ඉතිං හිතුණා.. ලැප් පාවිච්චි කරන ඔයාලත් එක්ක බෙදාගන්න... ඔයාලටත් ඔහොම අකරතැබ්බයක් උනොත්.. ඕක කොරලා බලන්න..

මේ තියෙන්නෙ.. අර දෙයියා වගේ මහත්තයා දීලා තිබුණු උපදේසෙ..

Can you take the battery and charger out and press the power button for 10 seconds, then put the battery in to see if it starts to charge up, if not then unfortunately, your only option is to get a new battery.

මෙන්න ලිංක් එක 







Tuesday, June 9, 2015

ලෙඩ්ඩු සහ ඉස්පිරිතාල


අපේ රටේ තරම් ලෙඩ්ඩු වෙන රටවල් වල ඉන්නවාද කියා සිතෙන්නේ රෝහලක් කරා ගිය පසුය.. එය.. රජයේ රෝහල, පුද්ගලික රෝහල... ඩිස්පැන්සරිය කියා වෙනසක් නැත.. නිරන්තරයෙන් ඒවා පිරී ඉතිරී යයි.. විවිධ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට එන රෝගීන්ගෙන් අඩුවක් ඇත්තේම නැත... එහෙත් රෝගීන්ට මෙම ආයතන වලින් නිසි ප්‍රතිකාර ලැබෙනවාද යන්න විමසා බැලිය යුතුය...
පසුගිය සෙනසුරාදා රැයෙහි.. මාගේ පියාණන් තරමක් අසාධ්‍ය තත්වයෙන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කළේ උණ හා කකුලේ තුවාල නිසාය.. මූලික ප්‍රතිකාර ඒකකයට ගොස් සිටින අතර.. එහි සඳහන් පුවරුවක පසුගිය දිනවල ප්‍රතිකාර ගත් රෝගීන් සංඛ්‍යාව සඳහන්ව තිබුණි.. එය දිනකට 250-350 අතර ප්‍රමාණයක් විය.. මේ ප්‍රමාණය.. සායන, බාහිර රෝගී අංශය, වාට්ටුවල ප්‍රතිකාර වලට අමතරව ය.. මේ අනුව බැලූ විට.. රෝගීන් අඩු වශයෙන් 3000ක් වත් දිනක් තුළ.. රෝහලෙන් ප්‍රතිකාර ගන්නවා ඇත.. රෝහලට ඇතුලත් වීමට පෙර.. අප ඩිස්පැන්සරියක් වෙත ගොස් වෛද්‍යවරයෙකු හමුවූ අතර.. ඔහු දිනකට ප්‍රතිකාර කරන රෝගීන් ප්‍රමාණය.. 150-200 අතර වෙයි..මේ ආකාරයට තැන් තැන් වල පුංචි.. පුංචි.. ඩිස්පැන්සරි.. විශාල ගනණක්.. ප්‍රධාන පුද්ගලික රෝහල් තුනක්.. අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇත.. මේ තැන් සියල්ල පාහේ පිරී ඉතිරී ඇති බැවු දක්නට හැක.. මේවායින් ප්‍රතිකාර ගන්නා.. රෝගීන්.. ප්‍රමාණය.. දළ වශයෙන් දිනකට 5000 ඉක්මවනු ඇතැයි සිතිය හැක..
මේ අනුව සමස්ථයක් වශයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පමණක්.. දිනකට රෝගීන් 8000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ගනියි.. එහෙත් ඔවුන්ගෙන් කී දෙනෙක් නිස් පරිදි සුව වනවාද යන පැනයට අපට පැහැදිලි පිළිතුරක් දිය නොහැක..
අප්පච්චිගේ ඇඳට එහා ඇඳට පෙරේදා හවස ආ ලෙඩා සමඟ ඊයේ දහවල් කතා කළෙමි.. ඔහු පැමිණ ඇත්තේ බුලත්කොහුපිටියටත් එහා සිටය..ඔහුට ඇත්තේ කකුලේ තුවාලයකි..
අද බෙහෙත් දාලා ටිකට් කැපුවා.. පුදුම කරුමයක් මේක.. කෑගල්ලෙ ඉස්පිරිතාලෙට ගියා එහෙත් උදේ ආවා හවස ටිකට් කැපුවා.. යන යන තැන ඔහොමයි.. මිසී කෙනෙක්ට කිවුවාම කියනවා.. තමුසෙ වගේ ලෙඩ්ඩු මේකෙ තියාගත්තොත්..ලෙඩ්ඩු කීදෙනෙකුට මැරෙන්න වෙයිද කියලා..
හැන්දෑවෙ අප්පච්චි බලන්ට හිහාම.. අප්පච්චිට ඉන්සියුලින් විදින්ට ආවෙ මගේ මිත්‍රයෙක්.. ඉතිං යාළුවත් එක්ක ටිකක් කතා කරන්න ලැබුණා..
‍ඊයෙ .. අදට වඩා ගොඩක් බිසී නේද? මං ඊයෙ කතා කළේ නැත්තෙ ඔයාලා බිසී නිසා..
ඔවු.. ඊයෙ ලෙඩ්ඩු හොඳටම වැඩියි.. අදත්.. තියටර් ගිය අය 20-30ක් ඉන්නවා.. ආවම පිරෙයි..
වාට්ටුවෙ ඇති වෙන්න නර්සස් ලා ඉන්නවද?
වාට්ටුවෙ ඉන්න ඕනි ගාන නම් ඉන්නවා.. ප්‍රශ්නෙ තියෙන්නෙ ලෙඩ්ඩු වැඩි එක..
එහෙම උනාම ඉතිං හැම ලෙඩා ගැනම බලන්න වෙන්නෙ නෑ නේද?
අනික..දැං ඉතිං කාලයක් මෙතන ඉඳළා ඔයාලට මේවා සාමාන්‍ය දේවල්නෙ..
ඒක තමයි අපි විශේෂයෙන් බලන්නෙ ජීවිතයට අනතුරක් තියෙන අය ගැන විතරයි.. අනිත් ඇය ගැන බලන්න වෙලාවක් නෑ..
ඔන්න ඔහොමයි මිත්‍රයා කිවුවෙ..
ජීවිත අවදානමක් නැත්තං.. එළියෙන්ම බෙහෙත් ගන්න එක දාහෙන් සම්පතයි කියලා ඉතිං අපි තේරුං ගන්න ඕනි..
ඉතිං අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්ට.. ඉස්පිරිතාල හදලා විතරක් වැඩක් නෑ.. ඒවට අවශ්‍ය තරම් හෙද කාර්ය මණ්ඩලයක් බඳවා ගන්නත් ඕන.. ප්‍රතිකාර මීට වඩා ස්ථිර වෙන්ටත් ඕන.. කාර්ය මණ්ඩලය හොඳට උද්‍යෝගිමත්ව තියා ගන්ටත් ඕන..
රෝගාතුරව ඉන්න මගේ අප්පච්චිට වගේ ම රට පුරාම මේ වගේ විවිධ රෝග ආබාධ වලින් දුක් විඳින රෝගීන්ට .. නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා.. පුළුවං නං.. ඔයාලත් එහෙම කරන්ට..

Sunday, June 7, 2015

මහා සවු දන්සැලාක්..!

මහා සවු දන්සැලාක්..!
මහා සවු දන්සැලාක්..!
තමන්ට හැකි උපරිමයෙන් කෑ ගසමින් කොඩි වනමින් පාරේ යන එන වාහන නවත්වන්නට වෙර දරන මගේ පොඩිත්තො දෙන්නා ළඟට කිට්ටු කරපු මං ..
පුතේ.. මෙතන.. මහා සවු... නෑ.. තියෙන්නෙ සවු දන්සැලක්.. කියා කීවේ.. උන්ගේ දිරිය බිඳ දමන්නට නොවේ.. යථාර්තවාදී වීම කියා දෙන්නටයි..
මොහොතකට..
සවු දන්සැලක්.. කියමින් කෑ ගැසූ දෙදෙනා .. යළිත්.. සුපුරුදු වාක්‍ය ඛන්ඩයම කියමින් කෑ ගසන්නට වන්හ..
අපේ රටේ දන්සැල් සියල්ලක්ම නමින් මහා ඒවා වුවත්.. බොහෝ දන්සැල් දන්සැලක අර්ථයෙන් ගත් කළ.. නොසැළකිය හැකි තරම් ඒවා බව මගේ අදහසයි..
මා දකින අයුරින්.. එකී දානය..
නිර්මල ලෙස ඉපැයූ ධනයෙන් සකස් කළ දානයක් විය යුතුයි..
කෙනෙකුගේ කුස පිරවීම.. අරමුණු කරගත්තක් විය යුතුයි..
දායකත්වය දරන්නන් සැදැහැ සිතින්, අදාල දායකත්වය දැරිය යුතුයි..
සෞඛ්‍ය කාරණා වැදගත් වන බැවින් පිරිසිදුව සකස් කළ යුතුයි..
දන්සැල අසල වටපිටාව.. සහ.. ඒ අවට හැසිරීම ප්‍රසන්න, පිරිසිදු හා සිත්ගන්නා සුළු විය යුතුයි..
දානය ලබන්නාට සිදුවන යම් අපහසුතාවයක් වේ නම් එය අවම කිරීම ගැන ප්‍රමුඛත්වයක් දිය යුතුයි..
මාර්ග අවහිර නොවන පරිදි.. වාහන නැවැත්විය හැකි තැනක් තෝරා ගන්නේ නම් හොඳයි..
දන් ලබන්නා ද.. අවශ්‍යතාවය මත පිහිටා දන් ලබා ගන්නේ නම් එය දානයේ වටිනා කම වැඩි කරනු ඇත..
එහෙත්.. අද බොහෝ විට ඇත්තේ කැපී පෙනීම, ෆන් ගැනීම හා පොර වීම, පෙර සිට පැවැත්වෙන නිසා පැවැත්වීම.... වැනි අරමුණු වලින් දන්සැල් පැවැත්වීම බව මගේ අදහසයි..
ඇතැම් දන්සැල් වල මත්පැන් පානය පවා සිදු කෙරෙන බව මා අසා ඇති අතර.. එවන් දන්සැල් බොහෝ විට ආරවුලකින් කෙළවර වේ..
එනයින් බැලූ කල.. මහා දන්සැල් ඇත්තේ අතලොස්සක් විය හැක..
ඒ අතරම දන්සැලකින් සිදුවන අමතර ප්‍රතිලාභ ගැනද අප විමසිලිමත් විය යුතුය..
පිරිස් සමඟ එක්ව පොදු කාරණාවක් උදෙසා සංවිධානය වීම..
දන්නා .. නොදන්නා.. හැමදෙනාට සංග්‍රහ කිරීම තුළින් ලබාගන්නා.. අනන්‍ය වූ සතුට..හා සැනසුම..
අන්‍යෝන්‍ය සුහදශීලීත්වය ගැන රට තුළ මතු කළ හැකි ... ආකල්පමය වෙනස..
මෙවැනි කාරණා මේ අතර වෙයි..
මේ අතර.. අපේ ගමේ.. පොඩියට මොන්ටිසෝරියක් කරගෙන යන ගුරුවරියක් සිටී.. ඇය මෙවර.. පුංචි ළමයින් සඳහා කතන්දර පොත් දන්සැලක් දී ඇති බැවු ආරංචි විය.. පොසොන් පොහොය දින වන්දනාවේ යන දරුවන්ට කතන්දර පොත් වල ඇති ගැලපීම පිළිබඳ ප්‍රශ්නයක් ඇතත්.. ආකල්පමය වශයෙන් ගත් කල ..ඇගේ එම උත්සාහය අගය කළ යුතු බව මගේ අදහසයි..
සියළු දානයන් අතර ධර්ම දානය උතුම් බවත්.. ඊටත් වඩා.. එක සිල්පදයක් රැකීම උතුම් බවත් .. අප බුදුරජාණන් වදාරා ඇති වගක් බණකින් ඇහුණා මතක තිබේ..
කෙසේ වෙතත්.. නැවැත්ම සඳහා වන ධර්මයේ පැවැත්ම සඳහා දානය අත්‍යවශ්‍ය සාධකයක් බව කිව යුතුය..

Friday, June 5, 2015

පෙමට කිසි තහනමක් නොවේ

සිල් බිඳං අපි ලැබූ සුවේ
තාම හිත ආදරෙන් දැවේ
නෑ මෙවන් දෑ තවත් ලොවේ
වෙන් වීම අහඹුවක් නොවේ
  
හිත ද ඒ මේ අතට නැවේ
ඇය ට හිමිවී දිනත් ගෙවේ
එකතු නොම වූ නමුත් බවේ
පෙමට කිසි තහනමක් නොවේ
  
අත් කරන් ජය අරන් ජවේ
මා ඔබෙන් අන් මඟක දිවේ
පාලුවෙන් කිතියකුත් කැවේ
හිත් අහසෙ වැට කඩොළු නොවේ
  
ළබැඳි බව හදවතට පෙවේ
දැන නොදැන පෙම් පවස නිවේ
නොම බැඳුණු කිසි දිනෙක පවේ
සබඳ මිස ඔබ බිරිඳ නොවේ
  

Sunday, May 24, 2015

කෘතවේදී මිනිස්සු.. 2! හදිසි අනතුර



මේක මීට අවුරුදු 10කට කලිං තමයි සිද්ධ උනේ.. එතකොට මගේ විවාහ උත්සවේ වෙනුවෙන් අපේ ගේ පිලිසකර කරන කාලෙ.. අපි තීන්ත ගත්තෙ.. කිරිවන්දල චන්ද්‍රා එකෙන්.. මොනවා හරි අඩුපාඩුවක් ගේන්න අප්පච්චි ගියා.. ඔය කඩේට.. ඔහොම ගිහිං පැයකින් විතර.. ගෙදරට කෝල් එකක් ආවා..

ඒකෙන් කියැවුණේ.. අප්පච්චි අනතුරක් නිසා තුවාල වෙලා අවිස්සාවේල්ලෙ ඉස්පිරිතාලෙට ඇතුල් කළා කියලා.. ආරංචිය ආපු සැනින්.. මං මගෙ හුටු හුටුවෙන්.. සුරුස් ගාලා එතැනට ඉගිල්ලුණා.. ගිහිං බලනකොට.. ඒ වෙනකොටත් කරන්න අවශ්‍ය ප්‍රතිකාර ටික කෙරිලා තිබුණා.. මගේ (ඒ දවස් වල වෙන්ට) බිරිඳගේ අම්මා හොඳ වෙලාවට එතන ඉඳපු නිසා.. බලනකොට.. ලේ වල සීනි මට්ටම ඉතාම වැඩි අගයක් තිබුණේ.. මට මතක විදිහට.. තුන්සිය ගානක් ද කොහෙද..

කොහොමින් කොහොම හරි.. කකුළේ අස්ථි වගයක් පුපුරලත් තිබුණ නිසා.. වාට්ටුවට ඇතුළු කළා.. ඊට පස්සෙ තමයි හොයලා බැලුවෙ.. මොකද්ද උනේ කියලා..

අප්පච්චි තීන්තත් අරගෙන කහ ඉරෙන් පාර පනිද්දි යතුරු පැදියක වැදිලා තමයි මේක වෙලා තියෙන්නෙ.. හැපුණු ගමන් යතුරු පැදි කරු.. ඒ හරියෙම වැටුණට යතුරු පැදිය මීටර් විස්සක් තිහක් ගිහිං තමයි නතර වෙලා තියෙන්නෙ.. හිතා ගත්තැකිනෙ යතුරු පැදියෙ වේගෙ..

යතුරු පැදි කරු.. අවුරුදු 38ක විතර අයියා කෙනෙක්.. මිනිහා හොඳටම බය වෙලා.. ඒ මදිවට මිනිහගෙ කලිසමත් ඉරිලා..

මල්ලි .. මට බ්‍රේක් කරන්නවත් වෙලාවක් තිබුණෙ නෑ.. තාත්තා එක පාරටමනෙ පැන්නෙ.. මිනිහා තටම තටම කිවුව විදිහට මට තවත් දුක හිතුණා..

මං අනික් පැත්ත බලලා.. මේ පැත්තෙන් ආපු ලොරිය ගිය ගමන් පැන්නා.. බයිසිකලේ දැක්කෙ නෑ.. මගේ තමයි වරද.. ඕං අපේ අප්පච්චි වරද පිළිගත්තා.. අර මනුස්සයා ගැන දුක හිතිලද මංදා..

ඒ උනාට මහත්තයා.. මෙයා ඇවිත් තියෙන වේගෙ වැඩියි.. එකක් වංගුව.. එකක් කහ ඉර.. පාරෙ වාඩි වෙලා හිටියත් මිනිස්සු යට කරගෙන යන්න බෑ නෙ.. රෝහල් පොලීසියෙ රාලහාමි.. ටිකක් වැඩේ තද කරන්න වගේ කල්පනාව.. කොහොම හරි.. දෙන්නගෙ කට උත්තර ලියා ගත්තා..

දවස් දෙක තුනකින්.. ටිකට් කපාගෙන අප්පච්චි ගෙදර එක්ක ආවා.. තෙල් බෙහෙත් වලින් තමයි .. අර කැඩුණු බිඳුණු තැන්.. සනීප කොරගන්න උත්සාහ කළේ... අනේ ඉතිං අර අයියා හරි හොඳයි.. නිතරම අපේ ගෙදරට කතා කරලා සුව දුක් අහනවා..

ඔය අතරෙ දවසක පොලීසිය අර අයියත් එක්ක.. අපේ ගෙදරට ආවා..

අනේ මල්ලි කොහොම හරි මේක ෂේප් කරලා දෙන්න.. අර අයියා.. බැගෑපත් වෙනවා.. මගේ බයිසිකලෙත් ගන්න දෙයක් නෑ.. ඒක නම් ඕන දෙයක්... කාලෙ... නඩු දැම්මොත් එහෙම මහ ලෙඩක්.. 

හරි.. හරි.. අයියා.. අපේ අප්පච්චිගෙ නෙ වැරැද්ද.. අපි මේක ඇදගෙන යන්න අදහසක් නෑ.. මාත් ඉතිං ෆුල් ෂේප්..

ඔය අතරෙ ආපු අහල පාල නොයෙල් අයියා.. අප්පච්චිට කිවුවෙ..
මේක නිකං අරින්න එපා.. පොඩි වන්දියක් ඉල්ලගන්න.. අඩුගානෙ බෙහෙත් කරන්නවත්.. කියලා.. ඒත්.. ඉතිං අලට වැඩියිනෙ කොස්.. අපේ අප්පච්චිත්.. කියනවා..
චී.. චී.. ඒක හරි නෑ නෙ.. මගෙ වැරැද්දෙන් නෙ හැපුණෙ.. කියලා..

රාළහාමිත් ආයෙ පැහැදිලි කළා.. අප්පච්චි කොයිතරම්.. වැරදි උනත්.. නඩුවක් කිවුවොත් අවාසිය අර බයිසිකල් අයියටම තමයි.. කියලා.. ඒත් ඉතිං අපි ප්‍රතිපත්ති ගරුකයි නෙ.. අන්තිමට රාළහාමිටත් මළ පැන්නා.. එහෙනම් ඕන එකක් කරන්න කියලා.. මිනිහා කට උත්තරය ලියාගෙන වැඩේ අහවර කළා..

අනේ අර අයියා මුව නොසෑහෙන සේ ස්තුති කරලා කාර් එකේ නැගලා යද්දි හෝන් එකකුත් ගැහැවුවා.. ඊට පස්සෙ නිතරම කෝල් කරලා සැප දුක අහන්න ටැලිපෝන් නොම්මරේ නැති වෙන්න ඇති මයෙ හිතේ.. අවිස්සාවේල්ල පැත්තෙ එවෙන්නත් නැතුව ඇති..

අපේ අම්මා තාම ඉඳ හිට මතක් කරන්නෙ.. ලේසියෙන් දේකට එකඟ නොවෙන අප්පයි පුතයි දෙන්නා බොහෝම සමඟියෙන්.. කරපු පරිත්‍යාගය ගැන..ජුගුප්සාජනක හැඟීමකින්.. මටත්.. අප්පච්චියි මායි සමඟියෙන් කරපු වැඩක් හැටියට මුලින්ම මතකෙට එන්නෙ මේ සිද්ධිය.. කොහොම උනත්.. වර්තමානෙ.. අප්පච්චිට ඇවිදීමේ අපහසුවක් ඇති වෙන්නත් ඔය අනතුර බලපාන්න ඇති කියලා පොඩි අදහසක් තියෙනවා..


Friday, May 22, 2015

සබඳ

ආදරය කියන්නේ..
ඔබ මගේ
මම ඔබේ
.......
නෑ ඔබට
හෝ මෙමට
ලැබෙන කිසිවක් ඉබේ...

පාවෙනා වළාකුළු
වලත් දිය බිඳු තිබේ
..........
වාසනාවට සබඳ
ලැබෙන සේරම ලැබේ
........

Wednesday, May 20, 2015

හිරු නැවතත් පැමිණේවි

උඹ අඬපන් තව හයියෙන් මට කඳුළු ...නො ඒවී
ඒ උනත් දෑස බලපන් එය කතා ...............කරාවී
හෙමි හෙමින් නමුත් උඹටත් ටික ටික ..වැටහේවී
ගෙවුණාද නෑ අතීතය සදහට ..................පවතීවී
ගුරු පාර තාර කාපට් උගුලට ....................යටවේවී
අළු කොබෙයි රුව මකා කලු කපුටන් .......මතුවේවී
වැව ගාව නෙළුම් කොළ මත මොණරුන් සැතපේවී
කොයි තරම් දුර ගියත් හිරු නැවතත්........පැමිණේවී

Monday, May 18, 2015

නූලෙන් බේරුණේ..

ලොවම කිවුවා
හැමට රහසින්
ඇයත් මා හට
පෙම් කළායයි..
හොඳ වෙලාවට
මං නොදන්නේ
තව ටිකෙන්
සේරම හමාරයි..

Saturday, May 16, 2015

නුඹ කොහිද

වෙනදාට
මා ළඟම
සෙනෙහසින්
දැවටෙනා..
මටම සරි
සිහිනයක්
ළඟ ඇතැයි
මුමුණනා...
හෙට උදෑසන
ගැනත්
මැසිවිලි ද
අමුණනා....
නුඹ කොහිද
නුඹ කොහිද
මට නිබඳ
සුව දෙනා..

Thursday, May 14, 2015

හරි මඟ

සුන්දර රූ සපු හිමි කාන්තාවන් දෙදෙනෙක්.. හදිසි අනතුරක් නිසා අසාධ්‍ය තත්වයට පත්වුණා.. ඔවුනට පියවි සිහිය නොතිබූ අතර ඔවුන් මරණාසන්න බවයි.. රෝහලේ ඇති උපකරණ පෙන්වා දුන්නේ.. එහෙත් නොපෙනෙන ලෝකය තුළ නොපෙනෙන යමක් සිදු වෙමින් තිබුණා.. මෙම කාන්තාවන් දෙදෙනා.. මෙලොවින් චුත වන්නට නියම වී තිබුණා.. ඔවුන් ගුරු පාරක් දිගේ ඇවිද ගියා.. ඔවුනට හමු වුණේ මංසන්ධියක්.. එහි දොරටුපාලයෙක් විය හැකියැයි සිතිය හැකි කෙනෙකු සිටියා..
මේ පාරවල් යන්නෙ කොහේටද?
කාන්තාවන් විමසා සිටියා.. 
තමන්ලගේ ඊළඟ භවය වෙත..
දොරටුපාලයා රළු විදිහට උත්තර දුන්නා..
අපි කොහොමද හරි පාර තෝරගන්නෙ.. ?
ඊළඟ ප්‍රශ්නය..
ඔබ කර ඇති පිං පවු අනුව සහ වඩවා ගෙන ඇති සිහිය අනුව.. ඔබට නිසි මාර්ගය තෝරාගත හැකි වනු ඇත.. 
මේ.. බැරිද.. පොඩි ඉඟියක් දෙන්න.. ? එක් කාන්තාවක් තොඳොල් වෙමින් පැවසුවා.. 
ඕවා ඉතිං ඕවා නිකං කරන්න බෑ.. 
කාන්තාවන් දෙදෙනාම තමන්ගෙ අත් බෑග පරීක්ෂා කළේ.. මුදල් ටිකක් යහමින් අත මිට මොළවන්ට හිතාන.. ඒත් පසුම්බි හිස් බව තේරුණු කාන්තාවන් පසු බැස්සා.. 
අනික කොච්චර කළත්.. ඔය හුඟක් පාරවල් වලිං වැටෙන්නෙ එක වගේ ම තැන් වලට..
ඉතිං අපි මොකද කරන්නෙ?
මෙතනින් හොඳයි කියලා සිතෙන පාරක් තෝරාගෙන යන්න..ඔබ මෙතන පසු කළ සැණින් ඔබ ගේ වත්මන් භවය නිම වනු ඇති.. 
නැහැ මට මැරෙන්න බෑ.. කාන්තාවන් කඳුළු සලන්නට වුණා..
ඔබ දෙදෙනාම පැවති දිවිය බොහෝ සාර්ථකව ගතකර ඇති හැඩයි..
නැහැ.. මට මොන මාර්ගය තෝරාගන්නද කියා හිතාගන්න බෑ.. මට බයයි..
ඕකට කියන්නේ සංසාර බිය කියා.. ඔබ ක්‍රියා කරද්දී සංසාර බිය ඇතිව ක්‍රියා කළා නම්.. අද බිය වන්නට දෙයක් නෑ.. ඔබ නිසැකයෙන් ම හොඳ මාර්ගයක් තෝරා ගනීවි..
මට ආ මඟින් ආපසු යන්න බැරිද?
ඔබට ආ මඟ සොයා ගත හැකිද? සොයාගත හැකි නම් ඔබට යා හැක..
කාන්තාවන් දෙදෙනාම ආපසු හැරී බැලුවේ තමන් ආ මඟ කුමක්ද කියා..
එහෙත් හැම මඟක් ම එක වගේ.. ආ මඟ සොයන්නට බැහැ.. අඩි සලකුණු.. සටහන් වෙලත් නෑ..
වෙනත් ක්‍රමයක් නැද්ද?
ඔබට සිදු වෙනවා තෝර ගන්නට.. මරණය හෝ රමණය
රමණය? කා එක්කද?
මා පවසන කෙනෙකු සමඟ..
දෑස පියා මඳක් කල්පනා කර මම මරණය තෝරා ගන්නවා.. කියූ එක් කතක්.. තමන් යා යුතු මාර්ගය ලෙස තෝරාගත්තේ.. එතැන තිබූ තරමක් දුෂ්කර බවක් පෙන්වූ මාර්ගයක්..
ඇයි ඔබ මේ මඟ තෝරා ගත්තෙ..?
මං අහලා තියෙනවා.. නිවැරදි මඟ දුෂ්කරයි කියා.. 
ඉතින් වඩාත් ම දුෂ්කර මඟ මෙය නොවෙයි නේද?
ඔවු.. ඒත් මේ පාර.. මගේ ප්‍රමාණයටයි තියෙන්නෙ.. මීට වඩා දුෂ්කර පාරවල් මට ඔරොත්තු දෙන එකක් නෑ.. ඕක වැඩියම හිතලා වැඩක් නෑ.. අපි අභියෝග වලට මූණ දෙන්ට ඕන.. 
ඔබට සිතෙන්නෙ නැද්ද? ආපහු යන්න තිබුණා නම් කියා..?
මට තියෙන හොඳම විකල්පය මේකනෙ..
ඒත් ඔබේ දරුවො.. සැමියා.. දෙමවුපියො.. ?
ඒත්.. ඒ ගොල්ලො ගැන දැං හිතලා වැඩක් නෑ..නේද? මං හිතන්නෙ මෙතැන ඉඳං කොහොමද මං ඊළඟ මරණයට සූදානම් වෙන්නෙ කියලා..
හොඳයි ඔබට සුබ ගමන්.. කියූ දොරටුපාලයා.. අනෙක් කාන්තාව දෙසට සිය දෑස් යොමු කළා..
ඔබ රමණයට සූදානම් ද?
ඔවු.. කිසියම් අසරණ බවකින් මෙන්.. ඇය පැවසුවා.. 
එවන් දේකට යොමු වීම ඔබේ දරුවන්ට... සැමියා ට කරන අසාධාරණයක් නොවේ ද?
මං එයාලා වෙනුවෙන් ආපහු යන්නනෙ එහෙම කරන්නෙ.. 
ආපසු ගිහින්..?
මං එයාලට කියලා දෙනවා.. මරණයට පෙර සූදානම ගැන.. මමත් සූදානම් වෙනවා.. 
මේ රමණයෙන් වින්දනයක් ලබන්ට ඔබේ බලාපොරොත්තුවක් නැද්ද?
රමණයෙන් ලැබෙන වින්දනය තාවකාලිකයි නේද? ඊට වඩා මට වටින්නෙ
මරණයට වන සූදානම..

ඒ සඳහා ඕනම කැප කිරීමක් කරන්න සූදානම්..?
ඔවු ඉතිං.. එහෙම නොවුණොත්.. ඉරණම ඊට වඩා නරක් වෙන්න පුළුවනි නෙ..
එන්න යං..
ඔවුන් යන්නට පටං ගත්තේ.. පළමු කාන්තාව ගිය මඟෙහි ම වීම.. දෙවැනි කාන්තාවට මහත් ගැටළුවක් විය.. 
මුකුත් හිතන්ට එපා.. ඔයාටත් දැං සංසාර බිය දැනිලා නේද තියෙන්නෙ..? අපි අභියෝග බාර ගන්න ඕන.. සමහර වෙලාවට අපට විකල්ප නෑ.. විශ්වාස කෙනෙක්ව විශ්වාස කරන්න වෙනවා..

Tuesday, May 12, 2015

පෑන, නුඹ හා මම

මගේ කුටියෙන් 
නුඹ අරං ගිය
පෑනකින් ලියු
මගෙන් නාසා...
ගොඩ ගැසී ඇත
අඳුරු මුල්ලක
එවූ ලිපි මාසයක්
පාසා...

ජය ලබා රට
නොරට ගොස් ඇත
පෑන නුඹ හා
නැතිව වීසා..

දුක් විඳිමි මම
මට අහිමි වූ
පෑන ගැන
වඩවමින් ආසා..

Sunday, May 10, 2015

සුසර කරනු මැන හදවත හැමදේ හුරුවන්නට



අපි හැමගෙම සතුට නමින් කරගැට ..........පීදිච්චි
ඔය අත් දෙක රිදෙනවාද දැන් මයෙ ........අප්පච්චි
ගත වයසට ගිය වේගය වැඩි වගෙ ........තේරිච්චි
හිතට දුකයි ඒත් ලෝක දහම .........මේක වෙච්චි
මගේ ඇහින් ලොව දකින්න කෙරුවත් නුඹ ආලේ
අපි දෙන්නට හරස් වෙයිද අපි දෙන්නගෙ ..කාලේ
ලංකාවෙම කප් ගැහුවත් ඉලංදාරි .............බාලේ
හැංදෑවට කලුවරමයි උරුම හැබෑ .............තාලේ
සසර දිගයි සිදු වෙනවා ඇති දේ ...........ඉවසන්නට
වසර වසර ගෙවෙනායුරු හැකි වෙද .....සමරන්නට
සුසර කරන් හදවත හැම දේටම ......හුරු වෙන්නට
හසර ඉඩ ලබනු මැන හැකිනම් භව .... ජයගන්නට

පසුගිය අප්‍රියෙල් 21වන දිනට යෙදුණු මාගේ ආදරණීය අප්පච්චිගේ 72වැනි ජන්ම දිනය දා ලියන ලද්දකි..

Friday, May 8, 2015

මිය යන්නෙමි ආදරේ මතින්...

සුවඳ මලක් ගෙන නැහැයට ලං කර බලනා ඔබ රුව මවමි ...සිතින්
සුළඟට ඉඩදී මා හැර යන්නට අතීතයට පිය මනිමි ..............ඉතින්
හිරු සඳ හමුවේ වුව අපරාජිත කැලුම් පෙරූ රත්තරන් ......නෙතින්
හෙළු එක් කඳුළක් ඇති මට සතුටින් මිය යන්නට ආදරේ ...මතින්
ඉස්සර කාලෙක ඔබ මා තුරුළුව මැවු සුරතල් ඒ ..................අනාගතේ
තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ පැතුම් මියෙන්නෑ ...........හිතූ මතේ
තිස්සෙම සිහිවෙන එක නම් නුහුරුයි නැහැ දැන් පෙර තෙත තිබූ සිතේ
මා ගැනවත් නිච්චියක් නැතත් මට, ඔබ කොට්ටය ළඟ තවත් .....ඇතේ

Tuesday, April 28, 2015

බැරිදා විග්‍රහය ! 19 කොහොමද?

සිංහල අලුත් අවුරුද්ද ගෙවුනේ ගෙවෙන්න්ට තිබුණාට වඩා තරමක් කරදර කාරී ලෙසය. මගේ පුද්ගලික ප්‍රශ්න නිසා මා හට එසේ දැනුනා වුවද, රටේ බහුතරයකට එසේ නොවන්නට ඇතැයි සිතෙන්නේ.. අවුරුදු සමයේ වෙනදාට සාපේක්ෂව බොහෝ දෑ පහසු මිලට වෙළඳපළේ තිබීම නිසාය. අවුරුදු හමාර කර පැමිණි අපට දක්නට ලැබුණේ.. නව PAYE සංශෝධනයත් සමඟ PAYE  Reports සඳහා සංශෝධන කිහිපයක් දේශීය දෙපාර්තමේන්තුව මඟින් ඉල්ලා ඇති ආකාරයයි.. අපගේ Payroll System එක භාවිතා කරන ආයතන කිහිපයක්ම මෙකී සංශෝධන අප මෘදුකාංගය මඟින් සකසා දෙන ලෙස කරන ලද ඉල්ලීම් නිසා අප ආයතනය බෙහෙවින්ම කාර්ය බහුල වී ඇත.

දහසකුත් එකක් රාජකාරි මධ්‍යයේ වුවද, මාගේ රටට වන්නට යන්නේ කුමක්දැයි දැන ගැනීම පිණිස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියවන්නට වීමි..
ව්‍යවස්ථා සංශෝධන ලියැවිල්ලක් සැදීම කොයි තරම් අසීරු වන්නට ඇතිදැයි මා හට වැටහුණේ ලියා ඇති දෑ එකිනෙක ගලපා තේරුම් ගැනීමට ගත් අපමණ වෙහෙසකින් පසුවය. කෙසේ වෙතත්.. එහි ඇති අපබ්‍රංස අතර වටිනා යැයි කියන කරුණු කිහිපයක් මෙසේ සොයා ගතිමි..

1. තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම
ඕනෑම කෙනෙකු හෝ ආයතනයක් සතු වූ ද, පුරවැසියෙකුගේ අයිතිවාසිකම් රැකගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නා වූ ද යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීමේ අයිතිය.. රටේ ඕනෑම පුරවැසියෙකුට හිමි වේ..

මේක ඉතාම අපූරු මෙන්ම අගනා වගන්තියකි.. එහෙත් ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයන් සැකසිය යුතුය.

2. දෙපාරක් ජනතාව විසින් පත් කළාට පස්සේ ගෙදර යා යුතු බව..
මහින්දට ගහපු කනේ පහරකි... දැලි පිහියක් වන මේ විධායක ක්‍රමය වඳුරෙකු අතට පත්වූවායින් පසුව ජනතාවට වඳුරාගෙන් මිදීමට දුන් තවත් අවස්ථාවකි..

3. ධූර කාලය අවුරුදු 5කට සීමා කිරීම
එතරම් ම ලොකු දෙයක් නොවුනත්.. හැම එකටම 5 නිසා.. මේකටත් 5 මදැයි..

4. ජනපතිවරයා.. පාර්ලිමේන්තුවට වගකියයි..
අත්‍යවශ්‍යම දෙයකි.. එහෙත් වත්මනෙහි ඇති ආකාරයේ පාර්ලිමේන්තුවකට නම් නොවේ..

5. ජනපතිට විරුද්ධව නඩු පැවරිය හැකි/නොහැකි බව ..
මේ හුට්ටප්පරය නම් මට වැටහෙන්නේම නැත.. තේරෙන හැටියට.. මේකාට නඩුවක් දාන එක පෙර පරිදිම කළ නොහැක්කකි..

6. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව..
මෙකී සභාවේ සංයුතිය ගැන විවිධ මත ඇත..
එහි කාර්යභාරය ලෙස..  සෘජුව ජනපති සතුව පැවති.. ලොකු ලොකු තනතුරු වලට පත් කිරීමේ අයිතිය.. මෙකී සභාවේ නිර්දේශ හරහා සිදුවීම සහ ඔවුනගේ ඇතැම් නිර්දේශ .. ලොකු ලොකු නිලධාරීන් හා සාකඡ්ඡා කිරීමෙන් පසුව සිදු කිරීම යන සංශෝධන ද සාධාරණ ක්‍රමයකට මඟ පාදනු ඇතැයි සිතිය හැක. සමස්ථයක් ලෙස.. මෙකී සභාව.. ජනතාව කෙරෙහි සුබවාදී ව බලපාන සුවිශේෂී ම  ආයතනයක් වෙතැයි සිතමි...

7. කැබිනට් මණ්ඩලය 30ක් හා සමස්ථ අමාත්‍ය මණ්ඩලය 70කට සීමාවීම..
ක්‍රියාත්මක වුවහොත්.. තරමක් හෝ හොඳ දෙයකි.. ඉටු වන තුරු විශ්වාස නැත..

කෙසේ වුවත්.. මා බලාපොරොත්තු වූ තරම් ප්‍රබල මට්ටමේ බලය අත්හැරීමක් මෙකී සංශෝධනයෙන් සිදු වන්නේ නැත.. උන්නු හැටියට මළා මදැයි..යන්නට වඩා යමක් සිහි නොවේ.. කොච්චර කයිවාරු ගැහැවුවත් .. අපට සිදු වන්නේ වෙන දේ බලා සිටීමටමය..

Wednesday, April 1, 2015

මාළු කූරි.. බතට එන්නෙ කොහොමද අප්පච්චි

පුතා:
මුහුද මැද්දෙ ඉන්නවාය ......කියලා කියවෙච්චි
මාළු කූරි.. බතට එන්නෙ කොහොමද අප්පච්චි

පියා:
මුහුදෙ ඉඳං අපේ අහට ඇවිදිං කර ....වෙච්චි
පුතේ ඒක දුර ගමනක් කාටත් ....නොදැනිච්චි
පියා:
මුහුද පුරා පීන පීන එක එක යස ................මාළු
දැල් දාලා කොකු දාලා අල්ලගන්න..............මාළු
පුතා:
අඬනවාද දන්නෙත් නෑ මූදෙ වැටුණු............මාළු
ගොඩ ගත්තේ ආදරේට නොවෙයිද ගැන ....මාළු
පියා:
අපි ගොඩ ඉන්නවා වගෙයි උන් මුහුදේ .........ඉන්නේ
ආදරේට නොවෙයි පුතේ මාළුවො ...........අල්ලන්නේ
පුතා:
යස අපූරුවට නොවෙයිද අපි ගොඩබිම .........ඉන්නේ
ගොඩට ආපු නිසා මොකද මාළුවො මිය ........යන්නේ
පියා:
වතුරට වැටුණොත් තේරෙයි කොහොම හුස්ම ගන්නේ
ගොඩ ආවම මාළුන්ටත් ඒක තමයි .............වෙන්නේ
පුතා:
දැන දැන උන් මිය යන බව ඇයිද ගොඩට ගන්නේ
ඉතිං ඊට පස්සෙ අනේ උන්ට මොකද ...වෙන්නේ
පියා:
මැරුණම උන් බෝට්ටුවෙන් වෙරළට ගෙන එනවා
වෙරළෙ ඉන්න වෙළෙන්දන්ට ඉන්පසු ..විකුණනවා
පුතා:
මැරුණු කෙනෙක් එක්කො වළට නැත්නම් පුච්චනවා
වෙළෙන්දො මහ පුදුම අයනෙ මැරුණු සතුන් කනවා
පියා:
එපා පුතේ එක පාරට ඒ තේරුම ...........ගන්න
වෙළෙන්දො ඒවා ගේන්නෙ අප හට විකුණන්න
පුතා:
මහ ලොකුවට රසයි කියල අප හට ....ගිල්ලන්න
මැරුණු සත්තු ඇයි ගෙනාවෙ යමු යමු වළලන්න



Monday, March 30, 2015

බැරිදා විග්‍රහය..! මට නං පිස්සු වගේ..

මහින්ද උන්නැහේ.. ජනපතිවරණය මෙවුවා කොළාත් හරිය.. අපේ එවුන්ට නිච්චි නිනවු නැති ගානය.. රෝ ඔත්තු සේවයත් බටහිර රටවලුත් එක්කහු වෙලා කොරපු කුමන්ත්‍රණය සුළු පටු නොවන බව තේරෙන්නේ දැන් ය..

එක්කෝ මහින්දට බනිනවාය.. නැත්තං රනිල් ට බනිනවාය.. එහෙමත් නැත්තං මෛත්‍රීට බනිනවාය... අඩුපාඩුවට.. නාමල්ට, බැසිල්ට, ගෝඨාට වගේ ම.. විමලට, ගම්මන්පිලට, ජොනියට, ඇස්.බී ට, පවිත්‍රාට, අඛිලට, රවීට, බුද්ධිකට, චම්පිකට, සෝභිත හාංදුරුවන්ට එහෙමත් බනිනවාය.. ඔය අස්සෙ.. කොට්ටක් පනින්ට ගිහිං හෝ වෙනත් කෙරුවාවකට ගිහිං.. පොරෝ පාරක් කාලා වැලි රාජු මළ එකටත් ආණ්ඩුව  ට  බනිනවා ය.. පොරෝ පාර ගහපු එකා පොලීසි අල්ලං ගිය එකට.. පහු වුණු ආණ්ඩුවට බනිනවාය..

මං හිතුවේ.. ඡන්දෙන් පස්සෙ සංහිඳියාව ඇතිවෙයි කියලාය.. ගෙදර ගිය මහින්ද ගෙදර ගොහිං.. ජේ.ආර්, විජේතුංග, චන්ද්‍රිකා උන්නු හැටියට හිටියා නං.. එහෙම වෙන්ටත් තිබුණාය.. එහෙත් හොරු අල්ලන කේස් එකෙන් ඔක්කොම අවුල් ජාලයක් උනාය..

ඒ මෙහෙම ය.. හොරු අල්ලන්ට ආණ්ඩු බලය ඕනෑ ය.. ආණ්ඩු බලය  ගන්නට තිබුණු ආණ්ඩුවේ සපෝට් එක ඕනෑ ය... සපෝට් එක ගන්නට දොල පිදේනි ඕනෑය.. ඒවා ඇමතිකම් හා වරප්‍රසාද හෝ ඊටත් වෙනස් දෙයක් වෙන්ට පුළුවන්ය.. දැං ආයෙත් හොරු අලුත් ආණ්ඩුවේය..

රවී ගේ අය වැය කිසි කමකට නෑ ය.. අඛිලගේ වැඩත් කිසි පිළිවෙලක් නෑ ය.. ජෝන්ගේ කල් මැරිල්ලත් වැඩකට නෑ ය..පාඨලී ගේ ත් මොළේ හොඳ නෑය.. මෛත්‍රීත් හිතපු තරම් දෙයක් කරන්නේ නෑ ය.. රනිල් ගේ පර්සනලිටි එකක් නෑ..ය.. 
නටපු තොවිලෙකුත් නෑ ය.. බෙරේ පලුවකුත් නෑ ය..  ඒත් මහින්ද නම්.. ඕනෑම නෑ ය..

ඇෆ්. බී එන්ටත් එපා වෙනවාය.. හැම උන්දැම කාට හරි බනිනවාය.. බැනලා රටකට හරි යන්නෙ නෑ ය.. රටකට ඕනෑ අපමණ අගයක් ය.. ඒ ඕනෑකම වෙනස් වෙන්නේ ම නෑ ය.. මේක ගන්ධබ්බ කාලයක් ය.. හොඳම හරිය ඒ කාලය නිම උනාම ය..එක රැයින් එලි වෙන්නෙ නෑ ය.. හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට ය..  






Wednesday, March 11, 2015

බැරිදා විග්‍රහය ! නව රජය හා නව අභියෝග

ජනපතිවරණය හමාර වී.. නව ජනපති.. සහ නව ආණ්ඩුව යටතේ දින හැටකට ආසන්න කාලයක් ගෙවී හමාරය..  මෙම ගෙවුණු දින හැට තුළ මෛත්‍රී ට ඡන්දය දුන් අයගෙන් සැලකිය යුතු පිරිසක් වෙසෙන්නේ තරමක කනස්සල්ලකිනි.. 

එයට හේතු වශයෙන්... 
1. නීතිය ක්‍රියාත්මක වීම ඉතා මන්දගාමී වීම.
2. දූෂිත නිලධාරීන් තවමත් යහතින් වැජඹීම
3. අයවැයෙන් දුන් සහන නිසි පරිදි ජනතාව වෙත සම්ප්‍රේශනය නොවීම
4. මෛත්‍රී ගේ හයිය අරගනිමින් රනිල් චන්ඩියා වී සිටීම හා බහුතරයක් නැති පක්ෂයක් ආණ්ඩු කළ ද, ආණ්ඩුවේ අය හෙණ ගැම්මෙන් සිටීම.
5. මෙම ආණ්ඩුවද පරණ පාරේ ම යතැයි සිතීම.
6. පසුගිය ආණ්ඩුව මඟින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති රැසක් අඩාල වීම හෝ නැවතීම.
7. ඉහත කරුණු සියල්ල හා ජාතිවාදය අවුස්සමින් බයියන් නිරන්තරයෙන් නඟන පුහු තර්ක වලත් සත්‍යයක් ඇතැයි සිතීම..

ආදිය දැක්විය හැක..

එහෙත්.. ජනවාරි අට වැනිදාට පෙර.. අප සිටි තත්වය ... හා සසඳන විට රටක් ලෙස ජනතාවක් ලෙස ලබා ඇත්තේ අති විශාල ප්‍රගතියක් බව මගේ අදහසයි.. 
ඒ මෙසේය..
1. හෙමින් වුවත්.. නීතිය සාපේක්ෂ වශයෙන් සාධාරණව ක්‍රියාත්මක වන බව පෙනේ..
2. ඇතැම් දූෂිත නිලධාරීන් තවමත්.. ඇතැම් රජයේ ආයතන වල සිය බලය පතුරුවාගෙන සිටිනවා වුවද.. හුදු ඔලුගෙඩි මාරුවට.. ප්‍රධානත්වයක් නොදී.. නිවැරදි යාන්ත්‍රණයක් සකස් කිරීමේ ක්‍රියා පටිපාටියක් බිහි කිරීම සඳහා අවශ්‍ය නීතිමය හා දේශපාලනමය වටපිටාවක් සකස් කිරීමට රජය යොමුව ඇතැයි පෙනේ.. සම්පූර්ණයෙන්ම කුණු වූ යාන්ත්‍රණයක්.. තිබෙන සම්පත් ඇසුරෙන්ම 100% ක් කාර්යක්ෂම කිරීමට වඩා ශරීරයේ හැම අවයවයක්ම කුණු වූ මිනිසෙකු .. කිසිදු අවයව බද්ධයකින් තොරව සුව කිරීම පහසු වනු ඇත..
3.  අයවැයෙන් දුන් සහන නිසි පරිදි ජනතාව වෙත සම්ප්‍රේශනය නොවීමද යාන්ත්‍රණය පිළිබඳ ගැටළුවකි. මෙම ගැටළුවට පිළිතුරු සෙවීම කෙසේ වෙතත්.. මින් ඉදිරියටවත්.. ආණ්ඩුව ඉදිරිපත් කරණ සියළු ප්‍රතිසංස්කරණයන්.. ජනතාව වෙත සම්ප්‍රේෂණය වීමේ ක්‍රම වේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.. ඒ සඳහා ප්‍රායෝගික කමිටු වාර්තාවක් අවශ්‍ය බව මගේ වැටහීමයි..

4. මෛත්‍රී ඡන්දය ඉල්ලුවේ තමා ජනපති වූ පසු රනිල්ගේ අගමැති කම යටතේ.. නව ආණ්ඩුවක් පිහිටුවන බවත්... ඒකාධිපති පාලනය හමාර කරන බවත් කියමිනි..  එකී පොරොන්දු දෙකම මෛත්‍රී ඉටු කර ඇති අතර.. ජනපතිවරයා සියල්ලේ බලය හැසිරවූ යුගයක් අවසානයේ සිටින ඇතැම් අයට වත්මන් ක්‍රමයේදී.. මෛත්‍රී ගේ බලතල රනිල් පාවිච්චි කරනවා වගේ දැනීම ඒ කාලයේ ගණිතයේ දී අප උගත් දුස්‍රාවිතා සංකල්පයමයැයි මට සිතේ..

5. අලුත්.. ජනපතිවරයෙක්.. අලුත් .. අගමැතිවරයෙක්.. අලුත්.. ඇමති මණ්ඩලයක්.. අලුත්.. විපක්ෂ නායක වරයෙක්.. අලුත් විපක්ෂයක් සිටින බව හැබෑ වුවත්.. මැති සබය.. පරණ එකමය.. නිලධාරීන් පරණ අයමය.. ඒ තබා.. ජනතාව ද පරණ අයම ය.. අලුත් පාරක යන්නට කොතෙක් උත්සාහ කළත්.. පරණ පාරේ යාමට ඉබේ ම සැලකිය යුතු තල්ලුවක් ලැබීම ඉතාම සාමාන්‍ය සංසිද්ධියකි.. එය ද පෙර කී දුස්‍රාවිතා සංකල්පයම නොවේද?

6. පසුගිය රජය මඟින් ආරම්භ කළ ව්‍යාපෘති බොහොමයකම මූලික අධ්‍යයනයන් හා විගනනයන් නිසි පරිදි සිදු නොකර තිබීම සහ විවිධ අක්‍රමිකතාවයන් සිදුව තිබීම නිසා.. ඒ පිළිබඳ යම් පමණක හෝ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ඇතැම් ව්‍යාපෘති අත්හිටුවන්නට හෝ අඩාල කරන්නට සිදු වීම අරුමයක් නොවේ.. එහෙත් මෙම අධ්‍යයනයන් ඉක්මණින් සිදු කර.. එම ව්‍යාපෘති පිළිබඳ නිවැරදි තීරණයකට එළැඹීම.. එකී ව්‍යාපෘති වලින් අවම පාඩුවක් සලසා ගැනීම සඳහා වැදගත් වනු ඇත.. 

7. බයියන් ගේ වේදනාවට මොනවා කීවද.. සත්‍යයට බයියන් බොහෝ දුර බැවු අප තේරුම් ගත යුතුය.. මෛත්‍රී ජනපති නිසා අපරටට මේ මාස දෙකට ඉතිරි වූ මුදල.. කෝටි ගනණක් බව නොකිවමනා ය.. එක පවුලකට නතුව තිබූ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ බලය.. ඉතාමත්ම සුවිශේෂී ලෙස ස්වාධීන ස්වරූපයක් ගැනීම ම අතිශයින් සතුටුදායකය.. එකී පවුල වටා සහ ඔවුන්ගේ ගෝල බාලයන් වටා බිහි වී තිබූ සුපිරි ධන-බල සංස්කෘතිය සැලකිය යුතු මට්ටමින් කඩා බිඳ දැමීම නිර්ධන-නිර්බල සංස්කෘතියේ හිමිකාරයින් වූ අප .. ලැබූ සුවිශේෂී ම ජයග්‍රහණයයි.. බයියන්ට හෝ ටොයියන්ට.. හොරකම් කිරීමට ඉඩක් නැති යාන්ත්‍රණයක් සකස් කරණ අතර තුර ම.. සමස්ථ රටවාසීන්ගේ වංකත්වය පරාජය කිරීම අප හමුවේ ඇති ප්‍රබලතම අභියෝගයයි..




Friday, February 6, 2015

තවම කල් මදිය..


මෛත්‍රී.. වෙනුවෙන් අයියා කෙනෙක් බඩ ගාලාය.. අතන මෙතන නෙමෙයිය.. කිලෝ මීටර් වලින්ම තුනක් ය.. අපේ යාලු මිත්තරයො හුඟ දෙනෙකුට වගේ උන්දැ ගෙ මොළේ ගැන මගෙ පපු කැනැත්තත්.. හෝස් ගානවාය.. ඒ අස්සෙ මට මෙහෙමත් හිතෙනවාය..  උන්දැ කරන්ට ඇත්තේ උන්දැට තේරෙන හොඳම දේ ය.. මටත් මගේ සතුට කියා පාන්ට ඕනෑ ය..  ඒත් උන්දැට වගේ මට කොරමයක් නැත්තේය.. ඒ අතින් උන්දැ.. මට වඩා පොරක් ය..

දැං ඉතිං ඔහෙලා මට සතුටු මක්කටදැයි අහනවාය.. වෙන මක්කටවත් නෙවෙයිය.. මෛත්‍රී ලොක්කට වඳුරු කුණුහරුප කියලා බැන්නත්.. සුදු වෑන් එන්නෙ නැති එකම ඇතිය... මහතැන වෙලා මේ ගත උනු දවස් ඩිංගට.. උන්දැ හුඟක් දේ කොළා ය.. කොළේ නැතත්.. නොකර ඉඳලා.. රටට ඉතුරු කොළාය..

උන්දැ කරපු දේවල් වලිං .. පත් කොරපු ලේකං කාරයො ටික නං ටිකක් අවුල් වගේය.. ඒත්.. උන්දැ කියන්නෙ.. පතිවත තියෙන එක ලේකං කාරයෙක් හොයා ගන්න එක ට වඩා කලු නික හොයන එක මාර ෆන් කියා ය..

උන්දැගෙ අගමැතිත්.. නරකම නැතිය.. ඒත්.. නායකයෙක් විදිහට හරි මදි ය.. අඩු ගානේ බණක් අහද්දි.. බීන් මහත්තයා වගේ නොහිටියානං ඇති ය.. ඒ මදිවට.. අරවින්ද ද සිල්වා ට වගේ දක්ෂ කම අස්සෙ හැංගිච්ච... මොකද්දෝ හිතුවක්කාර කමක් තියේය.. එවුවා හරි යන්නෙ නෑ.. ය.. කාටවත් සූප්පුවෙන් කිරි පොවන්ට ඕනෑ නැති ය. ඒත්.. කවුරු කවුරුත් යාප්පුවෙන් තියා ගන්ට ඕනෑ ය..

ඉස්සර එපා වෙලා හිටියත්.. සජියා.. මරු ය.. මෛත්‍රී ඇරුණම ගේම් එක හරියට සෙල්ලං කරන්නේ සජියා විතර ය..

ලොකු විස්තරයක් කොරන්ට තවම කල් මදිය.. ඔවු..! තවම කල් මදිය..

Saturday, January 31, 2015

නව රජය එක්ක නව බලාපොරොත්තු

නව ජනපතිවරයෙකු යටතේ .. නව අගමැතිවරයෙකු යටතේ.. දින විස්සක පමණ කාලයක් ගෙවී ඇත.. රටේ වෙනසක් සිදු වී ඇත්දැයි... සිතා බැලිය යුතුයැයි සිතේ..
ආර්ථික වශයෙන් ජනතාව වෙත තිබූ පීඩනයේ කිසියම් අඩුවක් ඇත. විශේෂයෙන්.. පෙට්‍රල්.. ඩීසල් සහනය එයට බෙහෙවින් බලපායි.. එහෙත්.. පසුගිය කාලයේ .. අධික ලෙස මිල ඉහල ගිය.. රතු කැකුළු සහල්.. සහ එළවලු වලට යම් සහනයක් දීමට රජය අපොහොසත් වී ඇත..
මානසික නිදහස අතින්.. පොදු ජනතාව ලද සහනය මෙතෙකැයි කිව නොහැක.. හිටපු ජනපති විසින්.. එක මිට ට ගෙන තිබූ .. ව්‍යවස්ථාදායකය සහ අධිකරණය.. නිදහස ලබමින් තිබේ.. දැන් රජයට හෝ .. ජනපති ට විරුද්ධව කතා කරන්නට ජනතාව බිය නැත.. ඉස්සර.. බෝම්බ ගැහුවත් මුඛ අධෝ මුඛ වසා සිටි අය.. දැන්.. වාතයක් ගියත්.. එයට එරෙහිව කතා කරයි.. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ සාධනීය ලක්ෂණයකි..
තවමත් ඉඳ හිට.. තමන්ගේ ගෝත්‍රික ලක්ෂණ පෙන්වන ඇතැම් පිරිස්.. කලහකාරී ලෙස හැසිරෙති.. ඊට එරෙහිව නිරායාසයෙන් සෘජු පියවර ගැනීමට තවම පොලීසියට පුරුද්දක් නැතුවා විය යුතුය... එහෙත්... පසුව හෝ නීතිය ක්‍රියාත්මක වීම පැසසුම් කටයුතුය..
මේ මෑත කාලීන ඉතිහාසයේ මේ රටේ සිදු වූ අති විශිෂ්ඨතම සමාජ පෙරලියක් ලෙස ඉතිහාසගත වන්නත ඉඩක් නැතැයි මම නොකියමි.. එහෙත් පුරවැසියන් ලෙස සක්‍රීයව හා විවේචනාත්මකව පවතින රජයට.. ප්‍රායෝගිකව සහාය දිය දීම අපගේ වගකීම ලෙස මම දකිමි..
ජනපති තුමනි.. අගමැති තුමනි.. ඔබ දෙදෙනා පිළිබඳ සැකයකින් තොරවම රටේ බහුතරයක් විශ්වාසය තබා ඇත.. එම විශ්වාසය පළුදු නොකිරීම ඔබ සතු යුතුකමකි.. ඒ පමණටම.. ඔබගේ ඇමති මණ්ඩලය ගැන විවිධ.. සැක සංකා අපට ඇත.. දින සියයේ වැදගත්ම කටයුත්ත ලෙස මා දකින්නේ.. වඩාත් ප්‍රායෝගික.. වඩාත් කාර්යක්ෂම මැතිවරණ ක්‍රමයක්.., පාර්ලිමේන්තු ව්‍යූහයක්, ස්වාධීන වූ අධිකරණයක් සහ පොලීසියක්.. නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සහ සමාජ වටපිටාව නිර්මාණය කිරීමයි.. ඒ මතින්.. දින සියයෙන් පසුව.. බොහෝ යහපත් දෑ රටට දායාද කළ හැකි වනු ඇත.. ඒ සඳහා පුරවැසියන් වූ අපට ඇති වගකීම නම්.. නායකත්වයේ යහපත් සංකල්ප මත පිහිටා.. රටේ දියුණුව හා සංවර්ධනය සඳහා.. අවශ්‍ය ආකල්පමය වෙනස සක්‍රීය කිරීමත්.. කිසි ලෙසකින්.. තෝන් ලනුව අත නොහැරීමත් ය..
වෛරී දේශපාලනය තුරන් වෙමින් තිබීම.. රටේ වාසනාවකි.. මරා කඳවුරේ අනාතයින් ඉතා සුළු පිරිසක් පමණක් බියකරු සිහින දකිද්දී.. මුළු රටම.. ජනතා ජයග්‍රහණයක් වෙනුවෙන් පෙළ ගැසී සිටීම.. අගය කළ යුතු අතර.. එම ක්‍රමය.. පෝෂණය කරමින් ශක්තිමත් කළ යුතුය..

Monday, January 19, 2015

මෙත් පුරය..1



මෙත්පුරය වනාහී.. අතිශයින්ම සුන්දර වූ හැඟීම් වලින් පිරිපුන් වූ මිනිසුන් පිරිසක් වෙසෙන පුරවරයකි. එය ලෝකයේ සංස්කෘතික රාජ්‍යයක් ලෙස නම් කෙරුණේ .. එපුර වැසියන්ගේ සභ්‍යත්වය හා යහපැවැත්ම නිසාමය.. 

ඉතා සුළු කාල පරාසයක් තුළ ආධ්‍යාත්මික හා භෞතික වශයෙන් ඉතා ඉහල සංවර්ධනයක් ලබා ගත්.. මෙත්පුරය.. මුලු ලොවටම ආදර්ශයකි.. වත්මන් මෙත්පුර නරෝත්තම මෙත් මහ නිරිඳු ට ප්‍රථම රාජ්‍ය කළ 9 වැනි මිහිඳු නිරිඳු සමයෙහි පැවැති ස්වරූපය සහමුලින්ම වෙනස් කිරීමේ කතාන්තරය මෙබඳුය..

මීට කෙටි කලකට පෙර.. මිහිඳු නිරිඳු.. සිය රාජ්‍ය බලය ගැන මහත් සේ උදම්ව.. ගම් නියම් ගම් කොල්ලකමින්ද.. එතනෝල්, කුඩු ආදී.. විපරීත දෑ ජනයාට ඇබ්බැහි කරවමින්ද.. රාජ්‍ය කරනා කල්හි.. දුක් විඳින.. ජනතාව ගැන දැනුණු අප්‍රමාණ ශෝකය නිසා ම.. මිහිඳු නිරිඳු සමඟ ආප්ප කමින් සිටි මෙත් යුව රජ හා එක්ව මන්ත්‍රණය කොට .. බටහිර සහ ඊලාම් සහාය ද ඇතිව.. මිහිඳු නිරිඳු එලවා.. මහ රජ තනතුර මෙත් නිරිඳුට ලබා දීමට කටයුතු කළෝ... පැරකුම් කුමරු ය.. මාස දෙක තුනක කුමන්ත්‍රණය අවසන බලය ලබාගත් මෙත් මහ නිරිඳු වටා ගොඩ නැඟුණු හොර පවුර.. නායකත්ව පවුර ට ත් වඩා ලොකුයැයි කී අයත් සිටිති..

කිසිවෙකුටත් නොයටත්ව.. අදීනව.. තම නුවණ මෙහෙයැවූ මෙත් නිරිඳු.. යුවරජ.. හා පුරෝහිතවරු සමඟ එක්ව මෙපුර.. ශෝභාමත්.. සුන්දර පුරවරයක් කරන්නට ගත් අභීත පියවරයෝ මනස්කාන්ත ය..

පළමුව.. ඔවුහූ පැන යන අයට පැන යන්ට ඉඩ දුන් හ..
දෙවැනුව.. ඉතිරි වූ හොරුන්ගේ සහාය ලැබ ගත්තෝය..
තෙවැනුව..එපුර.. යහ පාලනය ගොඩ නැඟූහ..

දැන් මෙපුර.. වැසියෝ .. බොරු නොකියති..
ප්‍රාණඝාත නොකරති..
කොටින් ම පන්සිල් රකිති..
ඔවුහූ ධනය ට ආශා නැත..
ධනය ඇතිව හෝ නැතිව.. අනෙකාට උදවු වෙති..
රජයේ සේවකයෝ ඉහළ වැටුප් ලබති..
පොලිස් නිලධාරීන්.. ඉතා විනීතය..
පොලිස් ස්ථාන වල.. අපරාධ විමර්ශන, පැමිණිලි හා සුළු පැමිණිලි ඒකක වැසී ගොස් ය.. ඒ අංශ වල සිටි නිලධාරීන්.. සුබසාධක හා සංරක්ෂණ ව්‍යාපෘති වලට අනුයුක්ත කොට ඇත..

පාර්ලිමේන්තුවේ අසුන් 225 අසුන් 50 ට අඩු කරමු කියාත්.. වැටුප් මිස .. විශ්‍රාම වැටුප් අවශ්‍ය නැත කියාත්.. පලාත් සභා ඕනෑම නැත කියාත්.. මීළඟ ඡන්දයකදී.. පක්ෂ භේද ඉවත ලා.. ජනතා කැමැත්ත මත.. අදාල සංයුතිය තෝරා ගැනීමටත්  සියලු දේශපාලන පක්ෂ වල එකඟතාවය මත තීරණය කැරිණි.. 

විදේශිකයන් රැකියා වලට බඳවා ගැනීමේදී.. ඔවුන් හට යහපාලනය විශේෂ පුහුණු වැඩමුළු පැවැත්වීමට රජය තීරණය කර ඇත.. 

විදේශිකයින්.. මෙත් එයාර් ගුවන් සේවය භාවිතා කිරීම අත්‍යවශ්‍ය නොවූවත්.. මෙත් එයාර් ගුවන් සේවය.. වඩාත්ම විශ්වාසදායී ගුවන් සේවය බව රජය මඟින් සිදු කළ ස්වාධීන සමීක්ෂණයකින් තහවුරු වී ඇත.. 

පොලොන්නරුවේ.. පිහිටා ඇති.. මෙත්ලක්...ජාත්‍යන්තර ගුවන් තොටුපල.. ලෝකයේ අද්විතීය ගුවන්තොටක් ලෙස සම්මානයට පාත්‍ර වූ අතර.. එහි ගමන් කරන යානා වලට.. මොණරුන්ගෙන් කිසිම ආකාරයක බාධාවක් නැතැයි.. පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි..

මෙත්වාහිණී.. රූපවාහිනී නාලිකාව මඟින් විකාශය වූ.. මෙත්ස්ටාර් නම් රියැලිටි වැඩසටහන මෙත්පුරයෙහි වඩාත්ම ජනප්‍රිය වැඩසටහන වෙයි..

මතු සම්බන්ධයි..

Friday, December 19, 2014

බැරිදා විග්‍රහය..! මිනිස්සුන්ට සල්ලි නැද්ද?

අප රටෙහි ඔය කියන තරම් මුදල් හිඟයක් පවතිනවාද?
හිඟයකට වඩා විෂමතාවයක් තමයි පවතින්නෙ...

අද අපේ රටේ හුඟක් අයට වාහනයක්.. අඩු ගානේ ත්‍රීවීලර් එකක් හරි බයික් එකක් හරි තියෙනවා.. ඒ වගේම දහස් ගණන් අලුත් කාර් නිතරම පාරේ හමු වෙනවා.. එය සමස්ථයගේ ආදායම් තත්වය ඉහළ යෑමක් පෙන්වන සාධකයක් නොවෙයිද?

මිනිස්සු ළඟ වාහන තියෙනවා.. ඒ වාහන වලට ලීසිං තියෙනවා. ලීසිං වලට ඇරියස් තියෙනවා..

මිනිස්සු ළඟ සල්ලි නෑ කීවට.. කේ.එෆ්.සී, මැක්ඩොනල්ඩ්ස්, පීසා හට් වගේ වැඩි වියදම් සහිත තැන් වලට මිනිස්සු පොර කකා යනවා..

මේක කාරණා කිහිපයක එකතුවක්...

1. අපේ රට ඇතුළට මහා දැවැන්ත.. මුදල් සම්භාරයක් ණය විදිහට එනවා.. ඒ මුදල් වලින් ඉතා සුළු ප්‍රතිශතයක් හරි (අඩු ගානේ 10%ක් වත්)  රටේ මුදල් සංසරණ පද්ධතියට එකතු වෙනවා.. (අනික්වා.. අදාල ව්‍යාපෘති කරන විදේශීය සමාගම් හරහා සහ.. කොමිස් කාක්කන්ගේ විදේශීය ගිණුම් හරහා ආයෙමත් පිටරට ට යන බව ලේසියෙන්ම උපකල්පනය කරන්න පුළුවනි..) අන්න එහෙම ලංකාවෙ නවතින මුදල් නිසා.. සමස්ථයක් ලෙස රටේ මුදල් සංසරණය පවත්වාගෙන යන්න පුළුවන් වගේ පේනවා..

2. ඔය ඉහත කියපු අවන්හල් වලට යන කොට්ටාස කීපයක් ඉන්නවා..
 1. හොඳම සල්ලි කාරයො.. මෙයාලට ඉතිං අවුලක් නෑ .. සල්ලි තියෙන නිසා යනවා..
2. අමාරුවෙන් කීයක් හරි හොයා ගන්න මාස් පඩි කාරයා.. මාසෙකට දෙකකට සැරයක්වත් දරුවන්ට වෙනසක් තියෙන්ට එපැයි කියලා.. දරුවොත් එක්ක ඔය වගේ තැනකට ගිහිං.. බොහොම පරෙස්සමින්.. එහෙත්.. දරුවන්ගෙ බිරිඳගෙ සතුට වෙනුවෙන්..සල්ලි ටිකක් වියදම් කරනවා..
3. එදිනෙදා සල්ලි හොයාගන්න.. උදවිය.. (ත්‍රීවීලර් රියැදුරන්, බස් කොන්දස්තර වරුන් වැනි අය..)  ගතමන්ට් එක ටිකක් හොඳ දවසට.. අර ඉස්සෙල්ලා කට්ටිය වගේ ම සහ ගතමන්ට් එක එච්චර නැති උනත්.. හිතුණොත් ණය වෙලා හරි.. මේවට ගොඩ වෙනවා..

මේ ඔක්කොම ගොඩ රටේ සමස්ථ ජනතාවගෙන් 60%ක් විතර ඇති..
ඒ අතරෙ තව කී ලක්ෂයක් නං මිනිස්සු ඉන්නවා ඇතිද..? මේවයෙ තියෙන්නෙ මොනවද කියලා වත් දන්නෙ නැති..?

කොහොම උනත් මේ කෑම වල ගානයි පොස් කමයි මිසක.. වෙනත් වටිනාකමක් නැති බව නං බොහෝ දෙනා දන්නවා..

Wednesday, December 17, 2014

පවුලේ අයෙකු දේශපාලනය කරන විට ඉතිරි අය කරබාගත යුතු ද?



දේශපාලන ඉතිහාසයේ පවුල් සම්බන්ධතා ඇති වූයේ අද ඊයෙක නොවේ.. සැමියාගෙන් බිරිඳට.. තාත්තාගෙන් පුතාට.. අයියාගෙන් මල්ලීට.. ආදී වශයෙන් විවිධ අයුරින් බලය හුවමාරු වූ අතර.. එකට දේශපාලනය කළ අය ද මේ අතර සුලබ විය.. 

එහෙත් පවුල් පාලනය ගැන මේ තරම් කලකිරීමක් හා තිගැස්මක් ඇති වූ වෙනත් කාලයක් නොවූ බව පැහැදිලිය.. එය කොතරම් උග්‍ර වී ද යත්.. මෛත්‍රීපාල තාත්තා ගැන ඔහු ගේ දියණිය කතා කිරීම, මෛත්‍රීපාල අයියා ගැන.. ඔහු ගේ මල්ලී කතා කිරීම පවුල් පාලනය ට පෙරහුරුවකැයි මැවෙන අපූරු (මඩ) පුවත් අද ඇත.. 

සියල්ලෝම දේශපාලන සත්වයෝ නිසා මෙන්ම.. තමන්ගේ මිනිහා නිවැරදි නම්.. ඔහු වෙනුවෙන් සහයෝගය දැක්වීම තමන්ගේ එවුන්ගේ යුතුකමක් වන නිසා.. මගේ දැක්මට අනුව නම්.. පවුලේ අය සහයෝගය දැක්වීම.. අදහස් දැක්වීම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුත්තකි..

ගැටලුව ඇත්තේ එතැන නොවේ.. එකී පවුලේ උදවිය.. සටන අවසන.. හයිකාරකම් පටන් ගන්නේද... එසැණින් ගැටළු පැටැලෙන බව කිව යුතුය.. 

තාත්තා ජනපති වූ පමණින්.. පුතා.. ඡන්දය ඉල්ලා මන්ත්‍රී වීම ගැටලුවක් නැත..
එහෙත්.. ජාතික රගර් කණ්ඩායමේ නායකයා වූවා නම් ගැටලු සහගතය.. 
තනිවම සීත කාමර වල සිට.. හොරට විභාග ලියා..  පට්ටම් ලැබුවා නම් ගැටලු සහගතය..
ලැම්බෝගිනි ගෙන්වන්ට ඕන කමට .. ලැම්බෝගිනි බද්ද අඩු කරනවා නම් ගැටලු සහගතය..

ඇමතිවරුන්ගේ ලිපියට රැකියා දෙන එක වැරදිය.. ඇමති මොනවා කීවත්.. ජනපතිගේ පුතා රැකියාවේ අවසාන භාරකාරයා වීම.. ඊටත් වඩා කුජීතය.. 

මේ විදිහට කුජීත වුණු ගැටලු එමටය.. ඒත් දිගින් දිගටම ඕවා කතා කිරීම ඵලක් නැත්තේ.. "කිසි වාසියක් නෑ ඒ වුණත් අපි මරාටයි ඡන්දේ " නිසා ය. 

පවුලත් එක්ක සංවිධානාත්මකව ගහපු ගේම් මෛත්‍රී ගේ දේශපාලනයේ නැත.. ඒ නිසා මැද මුලනේ පවුලෙන් තරම් සංගදියක් පොලොන්නරුවේ පවුලෙන් නොවන බව සක්සුදක් සේ පැහැදිලිය.. 

ඒත්... එය සුපිරිසිදු එකක් වන්නේයැයි.. සිතන්නේ නම්.. එය සිහිනයක්.. එහෙත් ඉඳ හිට සැබෑ වන එවන් සිහින ද ඇත..

Thursday, December 4, 2014

කැත ම උනත් ඇත්ත කතා..


කාලය.. ආසන්න වශයෙන් 1997 වසර..
අවස්ථාව .. රජයේ රූපවාහිනි නාලිකාවක.. සැටලයිට් නෝනා සමඟ කළ සාකඡ්ඡාවක්..
නිවේදකයා.. පාලිත පෙරේරා (ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරක)
ප්‍රශ්නය : මීට ඉස්සර කොටි බෝම්බ පුපුරුවද්දි.. එක්කෙනෙක් ඇවිත් තමයි පිපිරෙවුවෙ.. ඒත් දැන් කණ්ඩායම් වශයෙන් පැමිණීමේ ප්‍රවනතාවයක් තියෙනවා නේද? එයින් තේරෙන්නෙ ඔබගේ පාලනය යටතේ ආරක්ෂාව දුර්වල වෙලා කියන එක නේද?
(ඒ කාලයේ කණ්ඩායම් වශයෙන් ඇවිත් පිපිරවීම් 2-3 ක් කළා.. මහ බැංකු බෝම්බය වගේ)
පිළිතුර : නැහැ.. දැන් රටේ ආරක්ෂාව වැඩි වෙලා තියෙනවා.. ඒ නිසා එක්කෙනෙකුට ඇවිත් ඉස්සර වගේ විනාශයක් කරන්නට ඉඩක් නෑ.. ඒ නිසයි ඔවුන් කණ්ඩායම් වශයෙන් පැමිණෙන්නෙ..

මේක රටේ ඉහළ පෙලේ නායකයෙකු/ නායිකාවක විසින් කියන ලද අමු ම අමු ගොන් ම කතාව ලෙස මගේ හදවතේ සදාතනිකව තැන්පත්ව ඇත..

එහෙත් මේ කතාවට තරඟයක් දිය හැකිදැයි සලකා බැලිය හැකි කතා දෙක තුනක් පසුගිය දින කීපය තුළ මගේ ඇස ගැටිනි..
1. මට වඩා ගන්ට ගෙනාව දරුවෙක්.. වයස මාස 8 ක් විතර ඇති.. තාම අම්ම තාත්තා කියලවත් නෑ.. අපෙ හාන්දුරුවනේ.. මේ දරුවා එක පාරටම කිවුවා.. (දෑත් දෙපසට කර පෙන්වමින්..) ජයවේවා..! කියලා..
2. මං කියන දේ කරන මිනිහෙක් .. කරන දේ කියන මිනිහෙක්.. අපෙ හාන්දුරුවනේ..(අතකින් පපුවට ගසාගනී..)

ප.ලි
 (අවුරුදු 9 ට ඉස්සර කියපුවා වත් තවම කොළේ නෑ.. අනික වැඩියෙන්ම කොළේ.. කියපු ඒවා නෙවෙයි... කියලා අපට අමතකයි හිතලා වෙන්ටැ එහෙම කිවුවෙ.. )

Thursday, November 27, 2014

බැරිදා විග්‍රහය.. පොදු සිරා!

ජනාධිපතිවරණය.. නීත්‍යානුකූල ද? කියන ප්‍රශ්නෙදි.. අපිට ලැබෙන්නෙ.. ඔවු කියන උත්තරේ.. මොකද අද පවතින්නෙ.. මරා නීතිය නිසා..
ඒ නිසා එය නීත්‍යානුකූල නැහැයි කියලා ගේ ම ඉල්ලන එක තේරුමක් ම නෑ..
මරා ට වඩා සිරා හොඳයි ද? කියන ප්‍රශ්නෙදි.. අපට කට උත්තර නැතිවෙන ගතියකුත් තියෙනවා.. එහෙම වෙන්නෙ.. මරා ගෙන් සිරා ට එල්ලවෙන මඩ ප්‍රහාරත් එක්ක.. එයිටත් වඩා මරා ගෙ සහෝදර ගැන්සියට වඩා දෙතුන් ගුණයක් ලොකු සිරාගෙ සහෝදර ගැන්සිය දැක්කාම බය හිතෙන්නෙ නැද්ද හෆ්ෆා.. මරා ට වඩා පොදු බූරුවෙකුත් හොඳයි කියලා වරක් අපේ සහෘදයෙක් කියලා තිබුණා..
ඒ කතාව ඇත්ත.. පොදු බූරුවෙක් හොඳ උනාට පොදු සිරා .. බූරුවෙක් නෙවෙයි නේ....
මගෙ පපු කැනැත්තට දැනෙන විදිහට.. ගියපාර ගෙනාපු ඇස් ඇෆ් එක්ක සිරා ව සංසන්දනය කරලා බැලුවම.. මට හිතුණේ සිරා ඇස්. ඇෆ් තරං මේ වැඩේ ට සුදුසු නෑයි කියලා.. ඒත් ඇස් ඇෆ්.. ඡන්දෙ පැරදිලා.. හිරේ ගිහිං.. තමන්නෙ සබ්බ සකලමනාව ම නැති කරගත්තට පස්සෙ ආයෙමත් දේශපාලනේ ට ආපු එක ගැන මට ටිකක් අවුල්.. මොකද .. උන්නැහැ කිවුවෙ.. ජනාධිපති වෙලා.. විධායකය අහෝසි කරලා.. දිරාමාරු වෙලා යනවා කියලනෙ.. එහෙවු උන්දැ දැන ගන්ට ඕන.. උන්දැට ආයෙ කවදාවත්.. අවස්ථාවක් නැති විත්තිය..
එක්කො උන්දැ හිතන්ට ඇති.. මං පැරදිලා මාරු වෙන එක මගේ තත්තෙට හරි නෑ කියලා.. නැත්තං හිතෙන්ට ඇති.. ළිඳට වැටුණා නං ලිං කටෙන් ම ගොඩ එන්ට ඕන කියලා.. එහෙමත් නැත්තං.. පෘතග්ජනයෙක් වෙච්ච උන්දැට හිතෙන්ට ඇති.. දේශපාලනේ කියන්නෙත්.. ලොවන්ටම වටින ලොලිපොප් එකක් කියලා..
දැං මට තියෙන පස්නෙ.. එහෙවු ඇස් ඇෆ් මහත්තැනුත්.. ලොලිපොප් එකට වහ වැටුණා නං.. සිරා මාමා ගැන අහවල් කතා ද? කියන එකයි..
කොයි හැටි වෙතත් මගේ තරාදිය තාමත් බර.. සිරා ගෙ පැත්තට.. ඒ අර අපේ සහෘදයෙක් කියලා තිබුණා වගේ හතුරු මිතුරු තියරියෙන්..
රට මගේ මිතුරා ය .. මරා රටේ හතුරා ය.. එනිසා මරා මගේ හතුරා ය..
මරා මගේ හතුරා ය... සිරා මරා ගේ හතුරා ය.. එනිසා සිරා මගේ මිතුරා ය..

Monday, November 3, 2014

බැරිදා විග්‍රහය ! යූ ඇන් පි ය ආවොත්..1

මට මතකයි.. මීට ටික දොහකට කලිං.. ඉදිරි යූ ඇන් පී ආණ්ඩුවකින් අපි බලාපොරොත්තු වෙන දේවල් ගැන අහලා තිබුණා.. ඉතිං ඕක කෙටියෙං කියන්ට ඇහැක? මං හා කියලා විතරක් නිකා හිටියා.. ඒත් දවසින් දවස.. ඔය බලාපොරොත්තු ගොන්න ලැයිස්තු ගත කොරන්ට පමා උනා.. ඉතිං අද හිතුණා පුළුවං හැටියට.. ඔයි වැඩේ අහවරක් කරලා දාන්ට..
1. නීතිය ස්ථාපිත කොට යුක්තිගරුක සමාජයකට අඩිතාලම දැමීම..
ක්‍රම ක්‍රමයෙන් පිරිහෙමින් පැමිණ.. අද වන විට සෙත්ත පෝච්චි වෙන්ට ඔන්න මෙන්න තියෙන නීතිය යළි ස්ථාපිත කිරීම මා ඉදිරි ආණ්ඩුවකින් බලාපොරොත්තු වන පළමු කාරණයයි.. එහිදී නීතියේ ඇති හිස්තැන් කෙරෙහි අවධානය යොමු කිරීමත්.. නීතිය ගැන ජනතාවගේ විශ්වාසය ඇති කිරීමත්.. නීතිය ආරක්ෂා කිරීමට සිටින නිළධාරීන්ගේ විනය ගරුක බව හා අවංක භාවය වර්ධනය වන අයුරින් ආකල්පමය හා මානසික සංවර්ධනය වැනි කරුණු ද ඇතුළුව ඊට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමත් මූලික කරුණු යැයි සිතමි.
2. නීතිය ගැන වර්ධනය වන විශ්වාසය ඇති ජනතාව ආකල්පමය වශයෙන් ශක්තිමත් හා ගුණ දහම් අතින් පිරිපුන් මිනිසුන් බවට පත් කිරීමේ පූර්වාදර්ශය.. පාර්ලිමේන්තුව තුලින් ම අරඹමින්.. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු.. දූෂිත දේශපාලනඥයින් පුනුරුත්ථාපනය කිරීම.. (නීතිය ගැන හැබෑ පැහැදීමක් ඇති වීමට නම්.. පක්ෂ විපක්ෂ බේධයකින් තොරවම.. වැරදි කරුවන් නීතිය ඉදිරියේ නිරුවත් කළ යුතුය.) විශේෂයෙන් පසුගිය යූ ඇන් පී ආණ්ඩු ඇති වූ පසු සන්ධාන ඡන්ද දායකයින්ට ඇතිවුණායැයි කියන තාඩන පීඩන මෙවර ඇති නොවන බවට සහතිකයක් දිය යුතුය.. 
3. පැහැදිලි හා නිදහස් ජන මාධ්‍ය ප්‍රතිපත්තියක් ඇති කළ යුතු අතර.. ඒ සඳහා අවශ්ය ප්‍රායෝගික වට පිටාව සකස් කිරීම ඉතා වැදගත්ය..
4. ජාතීන් හා ආගම් අතර සංහිඳියාවක් ඇති කිරීම සඳහා සියළු පාර්ශව සතු සැබෑ ප්‍රශ්න දෙස නිර්භය හා සාධාරණ මැදිහත් වීමක් අත්‍යවශ්‍යය. උදාහරණ වශයෙන්.. පකිස්ථානය ඇතුළු මුස්ලිම් රටවල් වලින් මෙහි පැමිණෙන මුස්ලිම් සංක්‍රමණිකයින් හරහා වර්ධනය වන අපරාධ රැල්ල (කුඩු, සොරකම්..... ) මෙන්ම .. සංස්කෘතික මංකොල්ලයන් දැක්විය හැක.
5. දුම්වැටි සපුරා තහනම් කිරීම හෝ දැනට ඇති නීති තව දුරටත් තදින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන්නේ.. මුලු මහත් සමාජයටම දුම් වැටිය මහත් වූ පිළිලයක් වන්නා සේම බොහෝ දුරාචාර වලට මූලික අඩිතාලම වන බැවිනි.. වත්මන් රජය මේ පිළිබඳ ගත් පියවරයන් ගැන සාපේක්ෂව සතුටු වෙමි..
6. නිශ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම.. නව අවස්ථා බිහිකිරීම හා තිබෙන අවස්ථා වැඩි දියුණු කරගැනීම ආදී වශයෙන් විවිධ ආකාරයෙන් කළ යුතු අතර.. නව තාක්ෂණය හා සම්පත් භාවිතයේ ප්‍රශස්ථ විශ්ලේශණයක් සිදු කළ යුතුය..
7. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ගෙන් බදු අය කිරීමේ ක්‍රියාවලිය තුළ ඔවුන් විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සංශෝධනය කර වඩාත් සමාජ හිතකාමී සාධාරණ ක්‍රියාවලියක් හරහා ඔවුන් ද ජාතික ආදායම් ක්‍රියාවලියට සම්බන්ධ කොට ගත යුතුය..
ඉතිරිය.. පසුවට..

Friday, October 17, 2014

ද්‍රෝහිකම..

යාළු මිත්‍රයන්ට.. දෙමවුපියන්ට.. සහෝදර සහෝදරයින්ට.. දරුවන්ට වගේම ඕනම කෙනෙකුට.. උදවු නැතුවම බැරි වෙලාවට උදවු කරන්ට.. හැබැයි ඕනවට වඩා එයාලා ගැන හොයා බලන්ට යන්ට එපා.. එහෙම හොයා බලන එක එයාලට කරන ද්‍රෝහි කමක්..

අර ඉහත කියපු කස්ටිය ඇතුළුව තමන්ව ආස්සරේ කරන හෝ නොකරන ඕනම කෙනෙක්ගෙන් බැරිම වෙලාවක උදවුවක් ඉල්ලන්ට.. හැබැයි.. පුංචි පුංචි දේවල් වලට එයාලට කරදර කරන්ට එපා.. එහෙම කරදර කරන එක ඔයාලටම කරගන්න ද්‍රෝහි කමක්..