Tuesday, June 9, 2015

ලෙඩ්ඩු සහ ඉස්පිරිතාල


අපේ රටේ තරම් ලෙඩ්ඩු වෙන රටවල් වල ඉන්නවාද කියා සිතෙන්නේ රෝහලක් කරා ගිය පසුය.. එය.. රජයේ රෝහල, පුද්ගලික රෝහල... ඩිස්පැන්සරිය කියා වෙනසක් නැත.. නිරන්තරයෙන් ඒවා පිරී ඉතිරී යයි.. විවිධ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට එන රෝගීන්ගෙන් අඩුවක් ඇත්තේම නැත... එහෙත් රෝගීන්ට මෙම ආයතන වලින් නිසි ප්‍රතිකාර ලැබෙනවාද යන්න විමසා බැලිය යුතුය...
පසුගිය සෙනසුරාදා රැයෙහි.. මාගේ පියාණන් තරමක් අසාධ්‍ය තත්වයෙන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කළේ උණ හා කකුලේ තුවාල නිසාය.. මූලික ප්‍රතිකාර ඒකකයට ගොස් සිටින අතර.. එහි සඳහන් පුවරුවක පසුගිය දිනවල ප්‍රතිකාර ගත් රෝගීන් සංඛ්‍යාව සඳහන්ව තිබුණි.. එය දිනකට 250-350 අතර ප්‍රමාණයක් විය.. මේ ප්‍රමාණය.. සායන, බාහිර රෝගී අංශය, වාට්ටුවල ප්‍රතිකාර වලට අමතරව ය.. මේ අනුව බැලූ විට.. රෝගීන් අඩු වශයෙන් 3000ක් වත් දිනක් තුළ.. රෝහලෙන් ප්‍රතිකාර ගන්නවා ඇත.. රෝහලට ඇතුලත් වීමට පෙර.. අප ඩිස්පැන්සරියක් වෙත ගොස් වෛද්‍යවරයෙකු හමුවූ අතර.. ඔහු දිනකට ප්‍රතිකාර කරන රෝගීන් ප්‍රමාණය.. 150-200 අතර වෙයි..මේ ආකාරයට තැන් තැන් වල පුංචි.. පුංචි.. ඩිස්පැන්සරි.. විශාල ගනණක්.. ප්‍රධාන පුද්ගලික රෝහල් තුනක්.. අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇත.. මේ තැන් සියල්ල පාහේ පිරී ඉතිරී ඇති බැවු දක්නට හැක.. මේවායින් ප්‍රතිකාර ගන්නා.. රෝගීන්.. ප්‍රමාණය.. දළ වශයෙන් දිනකට 5000 ඉක්මවනු ඇතැයි සිතිය හැක..
මේ අනුව සමස්ථයක් වශයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පමණක්.. දිනකට රෝගීන් 8000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ගනියි.. එහෙත් ඔවුන්ගෙන් කී දෙනෙක් නිස් පරිදි සුව වනවාද යන පැනයට අපට පැහැදිලි පිළිතුරක් දිය නොහැක..
අප්පච්චිගේ ඇඳට එහා ඇඳට පෙරේදා හවස ආ ලෙඩා සමඟ ඊයේ දහවල් කතා කළෙමි.. ඔහු පැමිණ ඇත්තේ බුලත්කොහුපිටියටත් එහා සිටය..ඔහුට ඇත්තේ කකුලේ තුවාලයකි..
අද බෙහෙත් දාලා ටිකට් කැපුවා.. පුදුම කරුමයක් මේක.. කෑගල්ලෙ ඉස්පිරිතාලෙට ගියා එහෙත් උදේ ආවා හවස ටිකට් කැපුවා.. යන යන තැන ඔහොමයි.. මිසී කෙනෙක්ට කිවුවාම කියනවා.. තමුසෙ වගේ ලෙඩ්ඩු මේකෙ තියාගත්තොත්..ලෙඩ්ඩු කීදෙනෙකුට මැරෙන්න වෙයිද කියලා..
හැන්දෑවෙ අප්පච්චි බලන්ට හිහාම.. අප්පච්චිට ඉන්සියුලින් විදින්ට ආවෙ මගේ මිත්‍රයෙක්.. ඉතිං යාළුවත් එක්ක ටිකක් කතා කරන්න ලැබුණා..
‍ඊයෙ .. අදට වඩා ගොඩක් බිසී නේද? මං ඊයෙ කතා කළේ නැත්තෙ ඔයාලා බිසී නිසා..
ඔවු.. ඊයෙ ලෙඩ්ඩු හොඳටම වැඩියි.. අදත්.. තියටර් ගිය අය 20-30ක් ඉන්නවා.. ආවම පිරෙයි..
වාට්ටුවෙ ඇති වෙන්න නර්සස් ලා ඉන්නවද?
වාට්ටුවෙ ඉන්න ඕනි ගාන නම් ඉන්නවා.. ප්‍රශ්නෙ තියෙන්නෙ ලෙඩ්ඩු වැඩි එක..
එහෙම උනාම ඉතිං හැම ලෙඩා ගැනම බලන්න වෙන්නෙ නෑ නේද?
අනික..දැං ඉතිං කාලයක් මෙතන ඉඳළා ඔයාලට මේවා සාමාන්‍ය දේවල්නෙ..
ඒක තමයි අපි විශේෂයෙන් බලන්නෙ ජීවිතයට අනතුරක් තියෙන අය ගැන විතරයි.. අනිත් ඇය ගැන බලන්න වෙලාවක් නෑ..
ඔන්න ඔහොමයි මිත්‍රයා කිවුවෙ..
ජීවිත අවදානමක් නැත්තං.. එළියෙන්ම බෙහෙත් ගන්න එක දාහෙන් සම්පතයි කියලා ඉතිං අපි තේරුං ගන්න ඕනි..
ඉතිං අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්ට.. ඉස්පිරිතාල හදලා විතරක් වැඩක් නෑ.. ඒවට අවශ්‍ය තරම් හෙද කාර්ය මණ්ඩලයක් බඳවා ගන්නත් ඕන.. ප්‍රතිකාර මීට වඩා ස්ථිර වෙන්ටත් ඕන.. කාර්ය මණ්ඩලය හොඳට උද්‍යෝගිමත්ව තියා ගන්ටත් ඕන..
රෝගාතුරව ඉන්න මගේ අප්පච්චිට වගේ ම රට පුරාම මේ වගේ විවිධ රෝග ආබාධ වලින් දුක් විඳින රෝගීන්ට .. නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා.. පුළුවං නං.. ඔයාලත් එහෙම කරන්ට..

Sunday, June 7, 2015

මහා සවු දන්සැලාක්..!

මහා සවු දන්සැලාක්..!
මහා සවු දන්සැලාක්..!
තමන්ට හැකි උපරිමයෙන් කෑ ගසමින් කොඩි වනමින් පාරේ යන එන වාහන නවත්වන්නට වෙර දරන මගේ පොඩිත්තො දෙන්නා ළඟට කිට්ටු කරපු මං ..
පුතේ.. මෙතන.. මහා සවු... නෑ.. තියෙන්නෙ සවු දන්සැලක්.. කියා කීවේ.. උන්ගේ දිරිය බිඳ දමන්නට නොවේ.. යථාර්තවාදී වීම කියා දෙන්නටයි..
මොහොතකට..
සවු දන්සැලක්.. කියමින් කෑ ගැසූ දෙදෙනා .. යළිත්.. සුපුරුදු වාක්‍ය ඛන්ඩයම කියමින් කෑ ගසන්නට වන්හ..
අපේ රටේ දන්සැල් සියල්ලක්ම නමින් මහා ඒවා වුවත්.. බොහෝ දන්සැල් දන්සැලක අර්ථයෙන් ගත් කළ.. නොසැළකිය හැකි තරම් ඒවා බව මගේ අදහසයි..
මා දකින අයුරින්.. එකී දානය..
නිර්මල ලෙස ඉපැයූ ධනයෙන් සකස් කළ දානයක් විය යුතුයි..
කෙනෙකුගේ කුස පිරවීම.. අරමුණු කරගත්තක් විය යුතුයි..
දායකත්වය දරන්නන් සැදැහැ සිතින්, අදාල දායකත්වය දැරිය යුතුයි..
සෞඛ්‍ය කාරණා වැදගත් වන බැවින් පිරිසිදුව සකස් කළ යුතුයි..
දන්සැල අසල වටපිටාව.. සහ.. ඒ අවට හැසිරීම ප්‍රසන්න, පිරිසිදු හා සිත්ගන්නා සුළු විය යුතුයි..
දානය ලබන්නාට සිදුවන යම් අපහසුතාවයක් වේ නම් එය අවම කිරීම ගැන ප්‍රමුඛත්වයක් දිය යුතුයි..
මාර්ග අවහිර නොවන පරිදි.. වාහන නැවැත්විය හැකි තැනක් තෝරා ගන්නේ නම් හොඳයි..
දන් ලබන්නා ද.. අවශ්‍යතාවය මත පිහිටා දන් ලබා ගන්නේ නම් එය දානයේ වටිනා කම වැඩි කරනු ඇත..
එහෙත්.. අද බොහෝ විට ඇත්තේ කැපී පෙනීම, ෆන් ගැනීම හා පොර වීම, පෙර සිට පැවැත්වෙන නිසා පැවැත්වීම.... වැනි අරමුණු වලින් දන්සැල් පැවැත්වීම බව මගේ අදහසයි..
ඇතැම් දන්සැල් වල මත්පැන් පානය පවා සිදු කෙරෙන බව මා අසා ඇති අතර.. එවන් දන්සැල් බොහෝ විට ආරවුලකින් කෙළවර වේ..
එනයින් බැලූ කල.. මහා දන්සැල් ඇත්තේ අතලොස්සක් විය හැක..
ඒ අතරම දන්සැලකින් සිදුවන අමතර ප්‍රතිලාභ ගැනද අප විමසිලිමත් විය යුතුය..
පිරිස් සමඟ එක්ව පොදු කාරණාවක් උදෙසා සංවිධානය වීම..
දන්නා .. නොදන්නා.. හැමදෙනාට සංග්‍රහ කිරීම තුළින් ලබාගන්නා.. අනන්‍ය වූ සතුට..හා සැනසුම..
අන්‍යෝන්‍ය සුහදශීලීත්වය ගැන රට තුළ මතු කළ හැකි ... ආකල්පමය වෙනස..
මෙවැනි කාරණා මේ අතර වෙයි..
මේ අතර.. අපේ ගමේ.. පොඩියට මොන්ටිසෝරියක් කරගෙන යන ගුරුවරියක් සිටී.. ඇය මෙවර.. පුංචි ළමයින් සඳහා කතන්දර පොත් දන්සැලක් දී ඇති බැවු ආරංචි විය.. පොසොන් පොහොය දින වන්දනාවේ යන දරුවන්ට කතන්දර පොත් වල ඇති ගැලපීම පිළිබඳ ප්‍රශ්නයක් ඇතත්.. ආකල්පමය වශයෙන් ගත් කල ..ඇගේ එම උත්සාහය අගය කළ යුතු බව මගේ අදහසයි..
සියළු දානයන් අතර ධර්ම දානය උතුම් බවත්.. ඊටත් වඩා.. එක සිල්පදයක් රැකීම උතුම් බවත් .. අප බුදුරජාණන් වදාරා ඇති වගක් බණකින් ඇහුණා මතක තිබේ..
කෙසේ වෙතත්.. නැවැත්ම සඳහා වන ධර්මයේ පැවැත්ම සඳහා දානය අත්‍යවශ්‍ය සාධකයක් බව කිව යුතුය..

Friday, June 5, 2015

පෙමට කිසි තහනමක් නොවේ

සිල් බිඳං අපි ලැබූ සුවේ
තාම හිත ආදරෙන් දැවේ
නෑ මෙවන් දෑ තවත් ලොවේ
වෙන් වීම අහඹුවක් නොවේ
  
හිත ද ඒ මේ අතට නැවේ
ඇය ට හිමිවී දිනත් ගෙවේ
එකතු නොම වූ නමුත් බවේ
පෙමට කිසි තහනමක් නොවේ
  
අත් කරන් ජය අරන් ජවේ
මා ඔබෙන් අන් මඟක දිවේ
පාලුවෙන් කිතියකුත් කැවේ
හිත් අහසෙ වැට කඩොළු නොවේ
  
ළබැඳි බව හදවතට පෙවේ
දැන නොදැන පෙම් පවස නිවේ
නොම බැඳුණු කිසි දිනෙක පවේ
සබඳ මිස ඔබ බිරිඳ නොවේ
  

Sunday, May 24, 2015

කෘතවේදී මිනිස්සු.. 2! හදිසි අනතුර



මේක මීට අවුරුදු 10කට කලිං තමයි සිද්ධ උනේ.. එතකොට මගේ විවාහ උත්සවේ වෙනුවෙන් අපේ ගේ පිලිසකර කරන කාලෙ.. අපි තීන්ත ගත්තෙ.. කිරිවන්දල චන්ද්‍රා එකෙන්.. මොනවා හරි අඩුපාඩුවක් ගේන්න අප්පච්චි ගියා.. ඔය කඩේට.. ඔහොම ගිහිං පැයකින් විතර.. ගෙදරට කෝල් එකක් ආවා..

ඒකෙන් කියැවුණේ.. අප්පච්චි අනතුරක් නිසා තුවාල වෙලා අවිස්සාවේල්ලෙ ඉස්පිරිතාලෙට ඇතුල් කළා කියලා.. ආරංචිය ආපු සැනින්.. මං මගෙ හුටු හුටුවෙන්.. සුරුස් ගාලා එතැනට ඉගිල්ලුණා.. ගිහිං බලනකොට.. ඒ වෙනකොටත් කරන්න අවශ්‍ය ප්‍රතිකාර ටික කෙරිලා තිබුණා.. මගේ (ඒ දවස් වල වෙන්ට) බිරිඳගේ අම්මා හොඳ වෙලාවට එතන ඉඳපු නිසා.. බලනකොට.. ලේ වල සීනි මට්ටම ඉතාම වැඩි අගයක් තිබුණේ.. මට මතක විදිහට.. තුන්සිය ගානක් ද කොහෙද..

කොහොමින් කොහොම හරි.. කකුළේ අස්ථි වගයක් පුපුරලත් තිබුණ නිසා.. වාට්ටුවට ඇතුළු කළා.. ඊට පස්සෙ තමයි හොයලා බැලුවෙ.. මොකද්ද උනේ කියලා..

අප්පච්චි තීන්තත් අරගෙන කහ ඉරෙන් පාර පනිද්දි යතුරු පැදියක වැදිලා තමයි මේක වෙලා තියෙන්නෙ.. හැපුණු ගමන් යතුරු පැදි කරු.. ඒ හරියෙම වැටුණට යතුරු පැදිය මීටර් විස්සක් තිහක් ගිහිං තමයි නතර වෙලා තියෙන්නෙ.. හිතා ගත්තැකිනෙ යතුරු පැදියෙ වේගෙ..

යතුරු පැදි කරු.. අවුරුදු 38ක විතර අයියා කෙනෙක්.. මිනිහා හොඳටම බය වෙලා.. ඒ මදිවට මිනිහගෙ කලිසමත් ඉරිලා..

මල්ලි .. මට බ්‍රේක් කරන්නවත් වෙලාවක් තිබුණෙ නෑ.. තාත්තා එක පාරටමනෙ පැන්නෙ.. මිනිහා තටම තටම කිවුව විදිහට මට තවත් දුක හිතුණා..

මං අනික් පැත්ත බලලා.. මේ පැත්තෙන් ආපු ලොරිය ගිය ගමන් පැන්නා.. බයිසිකලේ දැක්කෙ නෑ.. මගේ තමයි වරද.. ඕං අපේ අප්පච්චි වරද පිළිගත්තා.. අර මනුස්සයා ගැන දුක හිතිලද මංදා..

ඒ උනාට මහත්තයා.. මෙයා ඇවිත් තියෙන වේගෙ වැඩියි.. එකක් වංගුව.. එකක් කහ ඉර.. පාරෙ වාඩි වෙලා හිටියත් මිනිස්සු යට කරගෙන යන්න බෑ නෙ.. රෝහල් පොලීසියෙ රාලහාමි.. ටිකක් වැඩේ තද කරන්න වගේ කල්පනාව.. කොහොම හරි.. දෙන්නගෙ කට උත්තර ලියා ගත්තා..

දවස් දෙක තුනකින්.. ටිකට් කපාගෙන අප්පච්චි ගෙදර එක්ක ආවා.. තෙල් බෙහෙත් වලින් තමයි .. අර කැඩුණු බිඳුණු තැන්.. සනීප කොරගන්න උත්සාහ කළේ... අනේ ඉතිං අර අයියා හරි හොඳයි.. නිතරම අපේ ගෙදරට කතා කරලා සුව දුක් අහනවා..

ඔය අතරෙ දවසක පොලීසිය අර අයියත් එක්ක.. අපේ ගෙදරට ආවා..

අනේ මල්ලි කොහොම හරි මේක ෂේප් කරලා දෙන්න.. අර අයියා.. බැගෑපත් වෙනවා.. මගේ බයිසිකලෙත් ගන්න දෙයක් නෑ.. ඒක නම් ඕන දෙයක්... කාලෙ... නඩු දැම්මොත් එහෙම මහ ලෙඩක්.. 

හරි.. හරි.. අයියා.. අපේ අප්පච්චිගෙ නෙ වැරැද්ද.. අපි මේක ඇදගෙන යන්න අදහසක් නෑ.. මාත් ඉතිං ෆුල් ෂේප්..

ඔය අතරෙ ආපු අහල පාල නොයෙල් අයියා.. අප්පච්චිට කිවුවෙ..
මේක නිකං අරින්න එපා.. පොඩි වන්දියක් ඉල්ලගන්න.. අඩුගානෙ බෙහෙත් කරන්නවත්.. කියලා.. ඒත්.. ඉතිං අලට වැඩියිනෙ කොස්.. අපේ අප්පච්චිත්.. කියනවා..
චී.. චී.. ඒක හරි නෑ නෙ.. මගෙ වැරැද්දෙන් නෙ හැපුණෙ.. කියලා..

රාළහාමිත් ආයෙ පැහැදිලි කළා.. අප්පච්චි කොයිතරම්.. වැරදි උනත්.. නඩුවක් කිවුවොත් අවාසිය අර බයිසිකල් අයියටම තමයි.. කියලා.. ඒත් ඉතිං අපි ප්‍රතිපත්ති ගරුකයි නෙ.. අන්තිමට රාළහාමිටත් මළ පැන්නා.. එහෙනම් ඕන එකක් කරන්න කියලා.. මිනිහා කට උත්තරය ලියාගෙන වැඩේ අහවර කළා..

අනේ අර අයියා මුව නොසෑහෙන සේ ස්තුති කරලා කාර් එකේ නැගලා යද්දි හෝන් එකකුත් ගැහැවුවා.. ඊට පස්සෙ නිතරම කෝල් කරලා සැප දුක අහන්න ටැලිපෝන් නොම්මරේ නැති වෙන්න ඇති මයෙ හිතේ.. අවිස්සාවේල්ල පැත්තෙ එවෙන්නත් නැතුව ඇති..

අපේ අම්මා තාම ඉඳ හිට මතක් කරන්නෙ.. ලේසියෙන් දේකට එකඟ නොවෙන අප්පයි පුතයි දෙන්නා බොහෝම සමඟියෙන්.. කරපු පරිත්‍යාගය ගැන..ජුගුප්සාජනක හැඟීමකින්.. මටත්.. අප්පච්චියි මායි සමඟියෙන් කරපු වැඩක් හැටියට මුලින්ම මතකෙට එන්නෙ මේ සිද්ධිය.. කොහොම උනත්.. වර්තමානෙ.. අප්පච්චිට ඇවිදීමේ අපහසුවක් ඇති වෙන්නත් ඔය අනතුර බලපාන්න ඇති කියලා පොඩි අදහසක් තියෙනවා..


Friday, May 22, 2015

සබඳ

ආදරය කියන්නේ..
ඔබ මගේ
මම ඔබේ
.......
නෑ ඔබට
හෝ මෙමට
ලැබෙන කිසිවක් ඉබේ...

පාවෙනා වළාකුළු
වලත් දිය බිඳු තිබේ
..........
වාසනාවට සබඳ
ලැබෙන සේරම ලැබේ
........

Wednesday, May 20, 2015

හිරු නැවතත් පැමිණේවි

උඹ අඬපන් තව හයියෙන් මට කඳුළු ...නො ඒවී
ඒ උනත් දෑස බලපන් එය කතා ...............කරාවී
හෙමි හෙමින් නමුත් උඹටත් ටික ටික ..වැටහේවී
ගෙවුණාද නෑ අතීතය සදහට ..................පවතීවී
ගුරු පාර තාර කාපට් උගුලට ....................යටවේවී
අළු කොබෙයි රුව මකා කලු කපුටන් .......මතුවේවී
වැව ගාව නෙළුම් කොළ මත මොණරුන් සැතපේවී
කොයි තරම් දුර ගියත් හිරු නැවතත්........පැමිණේවී

Monday, May 18, 2015

නූලෙන් බේරුණේ..

ලොවම කිවුවා
හැමට රහසින්
ඇයත් මා හට
පෙම් කළායයි..
හොඳ වෙලාවට
මං නොදන්නේ
තව ටිකෙන්
සේරම හමාරයි..

Saturday, May 16, 2015

නුඹ කොහිද

වෙනදාට
මා ළඟම
සෙනෙහසින්
දැවටෙනා..
මටම සරි
සිහිනයක්
ළඟ ඇතැයි
මුමුණනා...
හෙට උදෑසන
ගැනත්
මැසිවිලි ද
අමුණනා....
නුඹ කොහිද
නුඹ කොහිද
මට නිබඳ
සුව දෙනා..

Thursday, May 14, 2015

හරි මඟ

සුන්දර රූ සපු හිමි කාන්තාවන් දෙදෙනෙක්.. හදිසි අනතුරක් නිසා අසාධ්‍ය තත්වයට පත්වුණා.. ඔවුනට පියවි සිහිය නොතිබූ අතර ඔවුන් මරණාසන්න බවයි.. රෝහලේ ඇති උපකරණ පෙන්වා දුන්නේ.. එහෙත් නොපෙනෙන ලෝකය තුළ නොපෙනෙන යමක් සිදු වෙමින් තිබුණා.. මෙම කාන්තාවන් දෙදෙනා.. මෙලොවින් චුත වන්නට නියම වී තිබුණා.. ඔවුන් ගුරු පාරක් දිගේ ඇවිද ගියා.. ඔවුනට හමු වුණේ මංසන්ධියක්.. එහි දොරටුපාලයෙක් විය හැකියැයි සිතිය හැකි කෙනෙකු සිටියා..
මේ පාරවල් යන්නෙ කොහේටද?
කාන්තාවන් විමසා සිටියා.. 
තමන්ලගේ ඊළඟ භවය වෙත..
දොරටුපාලයා රළු විදිහට උත්තර දුන්නා..
අපි කොහොමද හරි පාර තෝරගන්නෙ.. ?
ඊළඟ ප්‍රශ්නය..
ඔබ කර ඇති පිං පවු අනුව සහ වඩවා ගෙන ඇති සිහිය අනුව.. ඔබට නිසි මාර්ගය තෝරාගත හැකි වනු ඇත.. 
මේ.. බැරිද.. පොඩි ඉඟියක් දෙන්න.. ? එක් කාන්තාවක් තොඳොල් වෙමින් පැවසුවා.. 
ඕවා ඉතිං ඕවා නිකං කරන්න බෑ.. 
කාන්තාවන් දෙදෙනාම තමන්ගෙ අත් බෑග පරීක්ෂා කළේ.. මුදල් ටිකක් යහමින් අත මිට මොළවන්ට හිතාන.. ඒත් පසුම්බි හිස් බව තේරුණු කාන්තාවන් පසු බැස්සා.. 
අනික කොච්චර කළත්.. ඔය හුඟක් පාරවල් වලිං වැටෙන්නෙ එක වගේ ම තැන් වලට..
ඉතිං අපි මොකද කරන්නෙ?
මෙතනින් හොඳයි කියලා සිතෙන පාරක් තෝරාගෙන යන්න..ඔබ මෙතන පසු කළ සැණින් ඔබ ගේ වත්මන් භවය නිම වනු ඇති.. 
නැහැ මට මැරෙන්න බෑ.. කාන්තාවන් කඳුළු සලන්නට වුණා..
ඔබ දෙදෙනාම පැවති දිවිය බොහෝ සාර්ථකව ගතකර ඇති හැඩයි..
නැහැ.. මට මොන මාර්ගය තෝරාගන්නද කියා හිතාගන්න බෑ.. මට බයයි..
ඕකට කියන්නේ සංසාර බිය කියා.. ඔබ ක්‍රියා කරද්දී සංසාර බිය ඇතිව ක්‍රියා කළා නම්.. අද බිය වන්නට දෙයක් නෑ.. ඔබ නිසැකයෙන් ම හොඳ මාර්ගයක් තෝරා ගනීවි..
මට ආ මඟින් ආපසු යන්න බැරිද?
ඔබට ආ මඟ සොයා ගත හැකිද? සොයාගත හැකි නම් ඔබට යා හැක..
කාන්තාවන් දෙදෙනාම ආපසු හැරී බැලුවේ තමන් ආ මඟ කුමක්ද කියා..
එහෙත් හැම මඟක් ම එක වගේ.. ආ මඟ සොයන්නට බැහැ.. අඩි සලකුණු.. සටහන් වෙලත් නෑ..
වෙනත් ක්‍රමයක් නැද්ද?
ඔබට සිදු වෙනවා තෝර ගන්නට.. මරණය හෝ රමණය
රමණය? කා එක්කද?
මා පවසන කෙනෙකු සමඟ..
දෑස පියා මඳක් කල්පනා කර මම මරණය තෝරා ගන්නවා.. කියූ එක් කතක්.. තමන් යා යුතු මාර්ගය ලෙස තෝරාගත්තේ.. එතැන තිබූ තරමක් දුෂ්කර බවක් පෙන්වූ මාර්ගයක්..
ඇයි ඔබ මේ මඟ තෝරා ගත්තෙ..?
මං අහලා තියෙනවා.. නිවැරදි මඟ දුෂ්කරයි කියා.. 
ඉතින් වඩාත් ම දුෂ්කර මඟ මෙය නොවෙයි නේද?
ඔවු.. ඒත් මේ පාර.. මගේ ප්‍රමාණයටයි තියෙන්නෙ.. මීට වඩා දුෂ්කර පාරවල් මට ඔරොත්තු දෙන එකක් නෑ.. ඕක වැඩියම හිතලා වැඩක් නෑ.. අපි අභියෝග වලට මූණ දෙන්ට ඕන.. 
ඔබට සිතෙන්නෙ නැද්ද? ආපහු යන්න තිබුණා නම් කියා..?
මට තියෙන හොඳම විකල්පය මේකනෙ..
ඒත් ඔබේ දරුවො.. සැමියා.. දෙමවුපියො.. ?
ඒත්.. ඒ ගොල්ලො ගැන දැං හිතලා වැඩක් නෑ..නේද? මං හිතන්නෙ මෙතැන ඉඳං කොහොමද මං ඊළඟ මරණයට සූදානම් වෙන්නෙ කියලා..
හොඳයි ඔබට සුබ ගමන්.. කියූ දොරටුපාලයා.. අනෙක් කාන්තාව දෙසට සිය දෑස් යොමු කළා..
ඔබ රමණයට සූදානම් ද?
ඔවු.. කිසියම් අසරණ බවකින් මෙන්.. ඇය පැවසුවා.. 
එවන් දේකට යොමු වීම ඔබේ දරුවන්ට... සැමියා ට කරන අසාධාරණයක් නොවේ ද?
මං එයාලා වෙනුවෙන් ආපහු යන්නනෙ එහෙම කරන්නෙ.. 
ආපසු ගිහින්..?
මං එයාලට කියලා දෙනවා.. මරණයට පෙර සූදානම ගැන.. මමත් සූදානම් වෙනවා.. 
මේ රමණයෙන් වින්දනයක් ලබන්ට ඔබේ බලාපොරොත්තුවක් නැද්ද?
රමණයෙන් ලැබෙන වින්දනය තාවකාලිකයි නේද? ඊට වඩා මට වටින්නෙ
මරණයට වන සූදානම..

ඒ සඳහා ඕනම කැප කිරීමක් කරන්න සූදානම්..?
ඔවු ඉතිං.. එහෙම නොවුණොත්.. ඉරණම ඊට වඩා නරක් වෙන්න පුළුවනි නෙ..
එන්න යං..
ඔවුන් යන්නට පටං ගත්තේ.. පළමු කාන්තාව ගිය මඟෙහි ම වීම.. දෙවැනි කාන්තාවට මහත් ගැටළුවක් විය.. 
මුකුත් හිතන්ට එපා.. ඔයාටත් දැං සංසාර බිය දැනිලා නේද තියෙන්නෙ..? අපි අභියෝග බාර ගන්න ඕන.. සමහර වෙලාවට අපට විකල්ප නෑ.. විශ්වාස කෙනෙක්ව විශ්වාස කරන්න වෙනවා..

Tuesday, May 12, 2015

පෑන, නුඹ හා මම

මගේ කුටියෙන් 
නුඹ අරං ගිය
පෑනකින් ලියු
මගෙන් නාසා...
ගොඩ ගැසී ඇත
අඳුරු මුල්ලක
එවූ ලිපි මාසයක්
පාසා...

ජය ලබා රට
නොරට ගොස් ඇත
පෑන නුඹ හා
නැතිව වීසා..

දුක් විඳිමි මම
මට අහිමි වූ
පෑන ගැන
වඩවමින් ආසා..

Sunday, May 10, 2015

සුසර කරනු මැන හදවත හැමදේ හුරුවන්නට



අපි හැමගෙම සතුට නමින් කරගැට ..........පීදිච්චි
ඔය අත් දෙක රිදෙනවාද දැන් මයෙ ........අප්පච්චි
ගත වයසට ගිය වේගය වැඩි වගෙ ........තේරිච්චි
හිතට දුකයි ඒත් ලෝක දහම .........මේක වෙච්චි
මගේ ඇහින් ලොව දකින්න කෙරුවත් නුඹ ආලේ
අපි දෙන්නට හරස් වෙයිද අපි දෙන්නගෙ ..කාලේ
ලංකාවෙම කප් ගැහුවත් ඉලංදාරි .............බාලේ
හැංදෑවට කලුවරමයි උරුම හැබෑ .............තාලේ
සසර දිගයි සිදු වෙනවා ඇති දේ ...........ඉවසන්නට
වසර වසර ගෙවෙනායුරු හැකි වෙද .....සමරන්නට
සුසර කරන් හදවත හැම දේටම ......හුරු වෙන්නට
හසර ඉඩ ලබනු මැන හැකිනම් භව .... ජයගන්නට

පසුගිය අප්‍රියෙල් 21වන දිනට යෙදුණු මාගේ ආදරණීය අප්පච්චිගේ 72වැනි ජන්ම දිනය දා ලියන ලද්දකි..

Friday, May 8, 2015

මිය යන්නෙමි ආදරේ මතින්...

සුවඳ මලක් ගෙන නැහැයට ලං කර බලනා ඔබ රුව මවමි ...සිතින්
සුළඟට ඉඩදී මා හැර යන්නට අතීතයට පිය මනිමි ..............ඉතින්
හිරු සඳ හමුවේ වුව අපරාජිත කැලුම් පෙරූ රත්තරන් ......නෙතින්
හෙළු එක් කඳුළක් ඇති මට සතුටින් මිය යන්නට ආදරේ ...මතින්
ඉස්සර කාලෙක ඔබ මා තුරුළුව මැවු සුරතල් ඒ ..................අනාගතේ
තාමත් එහෙමයි කිසි වෙනසක් නෑ පැතුම් මියෙන්නෑ ...........හිතූ මතේ
තිස්සෙම සිහිවෙන එක නම් නුහුරුයි නැහැ දැන් පෙර තෙත තිබූ සිතේ
මා ගැනවත් නිච්චියක් නැතත් මට, ඔබ කොට්ටය ළඟ තවත් .....ඇතේ

Tuesday, April 28, 2015

බැරිදා විග්‍රහය ! 19 කොහොමද?

සිංහල අලුත් අවුරුද්ද ගෙවුනේ ගෙවෙන්න්ට තිබුණාට වඩා තරමක් කරදර කාරී ලෙසය. මගේ පුද්ගලික ප්‍රශ්න නිසා මා හට එසේ දැනුනා වුවද, රටේ බහුතරයකට එසේ නොවන්නට ඇතැයි සිතෙන්නේ.. අවුරුදු සමයේ වෙනදාට සාපේක්ෂව බොහෝ දෑ පහසු මිලට වෙළඳපළේ තිබීම නිසාය. අවුරුදු හමාර කර පැමිණි අපට දක්නට ලැබුණේ.. නව PAYE සංශෝධනයත් සමඟ PAYE  Reports සඳහා සංශෝධන කිහිපයක් දේශීය දෙපාර්තමේන්තුව මඟින් ඉල්ලා ඇති ආකාරයයි.. අපගේ Payroll System එක භාවිතා කරන ආයතන කිහිපයක්ම මෙකී සංශෝධන අප මෘදුකාංගය මඟින් සකසා දෙන ලෙස කරන ලද ඉල්ලීම් නිසා අප ආයතනය බෙහෙවින්ම කාර්ය බහුල වී ඇත.

දහසකුත් එකක් රාජකාරි මධ්‍යයේ වුවද, මාගේ රටට වන්නට යන්නේ කුමක්දැයි දැන ගැනීම පිණිස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියවන්නට වීමි..
ව්‍යවස්ථා සංශෝධන ලියැවිල්ලක් සැදීම කොයි තරම් අසීරු වන්නට ඇතිදැයි මා හට වැටහුණේ ලියා ඇති දෑ එකිනෙක ගලපා තේරුම් ගැනීමට ගත් අපමණ වෙහෙසකින් පසුවය. කෙසේ වෙතත්.. එහි ඇති අපබ්‍රංස අතර වටිනා යැයි කියන කරුණු කිහිපයක් මෙසේ සොයා ගතිමි..

1. තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම
ඕනෑම කෙනෙකු හෝ ආයතනයක් සතු වූ ද, පුරවැසියෙකුගේ අයිතිවාසිකම් රැකගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නා වූ ද යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීමේ අයිතිය.. රටේ ඕනෑම පුරවැසියෙකුට හිමි වේ..

මේක ඉතාම අපූරු මෙන්ම අගනා වගන්තියකි.. එහෙත් ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයන් සැකසිය යුතුය.

2. දෙපාරක් ජනතාව විසින් පත් කළාට පස්සේ ගෙදර යා යුතු බව..
මහින්දට ගහපු කනේ පහරකි... දැලි පිහියක් වන මේ විධායක ක්‍රමය වඳුරෙකු අතට පත්වූවායින් පසුව ජනතාවට වඳුරාගෙන් මිදීමට දුන් තවත් අවස්ථාවකි..

3. ධූර කාලය අවුරුදු 5කට සීමා කිරීම
එතරම් ම ලොකු දෙයක් නොවුනත්.. හැම එකටම 5 නිසා.. මේකටත් 5 මදැයි..

4. ජනපතිවරයා.. පාර්ලිමේන්තුවට වගකියයි..
අත්‍යවශ්‍යම දෙයකි.. එහෙත් වත්මනෙහි ඇති ආකාරයේ පාර්ලිමේන්තුවකට නම් නොවේ..

5. ජනපතිට විරුද්ධව නඩු පැවරිය හැකි/නොහැකි බව ..
මේ හුට්ටප්පරය නම් මට වැටහෙන්නේම නැත.. තේරෙන හැටියට.. මේකාට නඩුවක් දාන එක පෙර පරිදිම කළ නොහැක්කකි..

6. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව..
මෙකී සභාවේ සංයුතිය ගැන විවිධ මත ඇත..
එහි කාර්යභාරය ලෙස..  සෘජුව ජනපති සතුව පැවති.. ලොකු ලොකු තනතුරු වලට පත් කිරීමේ අයිතිය.. මෙකී සභාවේ නිර්දේශ හරහා සිදුවීම සහ ඔවුනගේ ඇතැම් නිර්දේශ .. ලොකු ලොකු නිලධාරීන් හා සාකඡ්ඡා කිරීමෙන් පසුව සිදු කිරීම යන සංශෝධන ද සාධාරණ ක්‍රමයකට මඟ පාදනු ඇතැයි සිතිය හැක. සමස්ථයක් ලෙස.. මෙකී සභාව.. ජනතාව කෙරෙහි සුබවාදී ව බලපාන සුවිශේෂී ම  ආයතනයක් වෙතැයි සිතමි...

7. කැබිනට් මණ්ඩලය 30ක් හා සමස්ථ අමාත්‍ය මණ්ඩලය 70කට සීමාවීම..
ක්‍රියාත්මක වුවහොත්.. තරමක් හෝ හොඳ දෙයකි.. ඉටු වන තුරු විශ්වාස නැත..

කෙසේ වුවත්.. මා බලාපොරොත්තු වූ තරම් ප්‍රබල මට්ටමේ බලය අත්හැරීමක් මෙකී සංශෝධනයෙන් සිදු වන්නේ නැත.. උන්නු හැටියට මළා මදැයි..යන්නට වඩා යමක් සිහි නොවේ.. කොච්චර කයිවාරු ගැහැවුවත් .. අපට සිදු වන්නේ වෙන දේ බලා සිටීමටමය..

Wednesday, April 1, 2015

මාළු කූරි.. බතට එන්නෙ කොහොමද අප්පච්චි

පුතා:
මුහුද මැද්දෙ ඉන්නවාය ......කියලා කියවෙච්චි
මාළු කූරි.. බතට එන්නෙ කොහොමද අප්පච්චි

පියා:
මුහුදෙ ඉඳං අපේ අහට ඇවිදිං කර ....වෙච්චි
පුතේ ඒක දුර ගමනක් කාටත් ....නොදැනිච්චි
පියා:
මුහුද පුරා පීන පීන එක එක යස ................මාළු
දැල් දාලා කොකු දාලා අල්ලගන්න..............මාළු
පුතා:
අඬනවාද දන්නෙත් නෑ මූදෙ වැටුණු............මාළු
ගොඩ ගත්තේ ආදරේට නොවෙයිද ගැන ....මාළු
පියා:
අපි ගොඩ ඉන්නවා වගෙයි උන් මුහුදේ .........ඉන්නේ
ආදරේට නොවෙයි පුතේ මාළුවො ...........අල්ලන්නේ
පුතා:
යස අපූරුවට නොවෙයිද අපි ගොඩබිම .........ඉන්නේ
ගොඩට ආපු නිසා මොකද මාළුවො මිය ........යන්නේ
පියා:
වතුරට වැටුණොත් තේරෙයි කොහොම හුස්ම ගන්නේ
ගොඩ ආවම මාළුන්ටත් ඒක තමයි .............වෙන්නේ
පුතා:
දැන දැන උන් මිය යන බව ඇයිද ගොඩට ගන්නේ
ඉතිං ඊට පස්සෙ අනේ උන්ට මොකද ...වෙන්නේ
පියා:
මැරුණම උන් බෝට්ටුවෙන් වෙරළට ගෙන එනවා
වෙරළෙ ඉන්න වෙළෙන්දන්ට ඉන්පසු ..විකුණනවා
පුතා:
මැරුණු කෙනෙක් එක්කො වළට නැත්නම් පුච්චනවා
වෙළෙන්දො මහ පුදුම අයනෙ මැරුණු සතුන් කනවා
පියා:
එපා පුතේ එක පාරට ඒ තේරුම ...........ගන්න
වෙළෙන්දො ඒවා ගේන්නෙ අප හට විකුණන්න
පුතා:
මහ ලොකුවට රසයි කියල අප හට ....ගිල්ලන්න
මැරුණු සත්තු ඇයි ගෙනාවෙ යමු යමු වළලන්න



Monday, March 30, 2015

බැරිදා විග්‍රහය..! මට නං පිස්සු වගේ..

මහින්ද උන්නැහේ.. ජනපතිවරණය මෙවුවා කොළාත් හරිය.. අපේ එවුන්ට නිච්චි නිනවු නැති ගානය.. රෝ ඔත්තු සේවයත් බටහිර රටවලුත් එක්කහු වෙලා කොරපු කුමන්ත්‍රණය සුළු පටු නොවන බව තේරෙන්නේ දැන් ය..

එක්කෝ මහින්දට බනිනවාය.. නැත්තං රනිල් ට බනිනවාය.. එහෙමත් නැත්තං මෛත්‍රීට බනිනවාය... අඩුපාඩුවට.. නාමල්ට, බැසිල්ට, ගෝඨාට වගේ ම.. විමලට, ගම්මන්පිලට, ජොනියට, ඇස්.බී ට, පවිත්‍රාට, අඛිලට, රවීට, බුද්ධිකට, චම්පිකට, සෝභිත හාංදුරුවන්ට එහෙමත් බනිනවාය.. ඔය අස්සෙ.. කොට්ටක් පනින්ට ගිහිං හෝ වෙනත් කෙරුවාවකට ගිහිං.. පොරෝ පාරක් කාලා වැලි රාජු මළ එකටත් ආණ්ඩුව  ට  බනිනවා ය.. පොරෝ පාර ගහපු එකා පොලීසි අල්ලං ගිය එකට.. පහු වුණු ආණ්ඩුවට බනිනවාය..

මං හිතුවේ.. ඡන්දෙන් පස්සෙ සංහිඳියාව ඇතිවෙයි කියලාය.. ගෙදර ගිය මහින්ද ගෙදර ගොහිං.. ජේ.ආර්, විජේතුංග, චන්ද්‍රිකා උන්නු හැටියට හිටියා නං.. එහෙම වෙන්ටත් තිබුණාය.. එහෙත් හොරු අල්ලන කේස් එකෙන් ඔක්කොම අවුල් ජාලයක් උනාය..

ඒ මෙහෙම ය.. හොරු අල්ලන්ට ආණ්ඩු බලය ඕනෑ ය.. ආණ්ඩු බලය  ගන්නට තිබුණු ආණ්ඩුවේ සපෝට් එක ඕනෑ ය... සපෝට් එක ගන්නට දොල පිදේනි ඕනෑය.. ඒවා ඇමතිකම් හා වරප්‍රසාද හෝ ඊටත් වෙනස් දෙයක් වෙන්ට පුළුවන්ය.. දැං ආයෙත් හොරු අලුත් ආණ්ඩුවේය..

රවී ගේ අය වැය කිසි කමකට නෑ ය.. අඛිලගේ වැඩත් කිසි පිළිවෙලක් නෑ ය.. ජෝන්ගේ කල් මැරිල්ලත් වැඩකට නෑ ය..පාඨලී ගේ ත් මොළේ හොඳ නෑය.. මෛත්‍රීත් හිතපු තරම් දෙයක් කරන්නේ නෑ ය.. රනිල් ගේ පර්සනලිටි එකක් නෑ..ය.. 
නටපු තොවිලෙකුත් නෑ ය.. බෙරේ පලුවකුත් නෑ ය..  ඒත් මහින්ද නම්.. ඕනෑම නෑ ය..

ඇෆ්. බී එන්ටත් එපා වෙනවාය.. හැම උන්දැම කාට හරි බනිනවාය.. බැනලා රටකට හරි යන්නෙ නෑ ය.. රටකට ඕනෑ අපමණ අගයක් ය.. ඒ ඕනෑකම වෙනස් වෙන්නේ ම නෑ ය.. මේක ගන්ධබ්බ කාලයක් ය.. හොඳම හරිය ඒ කාලය නිම උනාම ය..එක රැයින් එලි වෙන්නෙ නෑ ය.. හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට ය..  






Wednesday, March 11, 2015

බැරිදා විග්‍රහය ! නව රජය හා නව අභියෝග

ජනපතිවරණය හමාර වී.. නව ජනපති.. සහ නව ආණ්ඩුව යටතේ දින හැටකට ආසන්න කාලයක් ගෙවී හමාරය..  මෙම ගෙවුණු දින හැට තුළ මෛත්‍රී ට ඡන්දය දුන් අයගෙන් සැලකිය යුතු පිරිසක් වෙසෙන්නේ තරමක කනස්සල්ලකිනි.. 

එයට හේතු වශයෙන්... 
1. නීතිය ක්‍රියාත්මක වීම ඉතා මන්දගාමී වීම.
2. දූෂිත නිලධාරීන් තවමත් යහතින් වැජඹීම
3. අයවැයෙන් දුන් සහන නිසි පරිදි ජනතාව වෙත සම්ප්‍රේශනය නොවීම
4. මෛත්‍රී ගේ හයිය අරගනිමින් රනිල් චන්ඩියා වී සිටීම හා බහුතරයක් නැති පක්ෂයක් ආණ්ඩු කළ ද, ආණ්ඩුවේ අය හෙණ ගැම්මෙන් සිටීම.
5. මෙම ආණ්ඩුවද පරණ පාරේ ම යතැයි සිතීම.
6. පසුගිය ආණ්ඩුව මඟින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති රැසක් අඩාල වීම හෝ නැවතීම.
7. ඉහත කරුණු සියල්ල හා ජාතිවාදය අවුස්සමින් බයියන් නිරන්තරයෙන් නඟන පුහු තර්ක වලත් සත්‍යයක් ඇතැයි සිතීම..

ආදිය දැක්විය හැක..

එහෙත්.. ජනවාරි අට වැනිදාට පෙර.. අප සිටි තත්වය ... හා සසඳන විට රටක් ලෙස ජනතාවක් ලෙස ලබා ඇත්තේ අති විශාල ප්‍රගතියක් බව මගේ අදහසයි.. 
ඒ මෙසේය..
1. හෙමින් වුවත්.. නීතිය සාපේක්ෂ වශයෙන් සාධාරණව ක්‍රියාත්මක වන බව පෙනේ..
2. ඇතැම් දූෂිත නිලධාරීන් තවමත්.. ඇතැම් රජයේ ආයතන වල සිය බලය පතුරුවාගෙන සිටිනවා වුවද.. හුදු ඔලුගෙඩි මාරුවට.. ප්‍රධානත්වයක් නොදී.. නිවැරදි යාන්ත්‍රණයක් සකස් කිරීමේ ක්‍රියා පටිපාටියක් බිහි කිරීම සඳහා අවශ්‍ය නීතිමය හා දේශපාලනමය වටපිටාවක් සකස් කිරීමට රජය යොමුව ඇතැයි පෙනේ.. සම්පූර්ණයෙන්ම කුණු වූ යාන්ත්‍රණයක්.. තිබෙන සම්පත් ඇසුරෙන්ම 100% ක් කාර්යක්ෂම කිරීමට වඩා ශරීරයේ හැම අවයවයක්ම කුණු වූ මිනිසෙකු .. කිසිදු අවයව බද්ධයකින් තොරව සුව කිරීම පහසු වනු ඇත..
3.  අයවැයෙන් දුන් සහන නිසි පරිදි ජනතාව වෙත සම්ප්‍රේශනය නොවීමද යාන්ත්‍රණය පිළිබඳ ගැටළුවකි. මෙම ගැටළුවට පිළිතුරු සෙවීම කෙසේ වෙතත්.. මින් ඉදිරියටවත්.. ආණ්ඩුව ඉදිරිපත් කරණ සියළු ප්‍රතිසංස්කරණයන්.. ජනතාව වෙත සම්ප්‍රේෂණය වීමේ ක්‍රම වේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.. ඒ සඳහා ප්‍රායෝගික කමිටු වාර්තාවක් අවශ්‍ය බව මගේ වැටහීමයි..

4. මෛත්‍රී ඡන්දය ඉල්ලුවේ තමා ජනපති වූ පසු රනිල්ගේ අගමැති කම යටතේ.. නව ආණ්ඩුවක් පිහිටුවන බවත්... ඒකාධිපති පාලනය හමාර කරන බවත් කියමිනි..  එකී පොරොන්දු දෙකම මෛත්‍රී ඉටු කර ඇති අතර.. ජනපතිවරයා සියල්ලේ බලය හැසිරවූ යුගයක් අවසානයේ සිටින ඇතැම් අයට වත්මන් ක්‍රමයේදී.. මෛත්‍රී ගේ බලතල රනිල් පාවිච්චි කරනවා වගේ දැනීම ඒ කාලයේ ගණිතයේ දී අප උගත් දුස්‍රාවිතා සංකල්පයමයැයි මට සිතේ..

5. අලුත්.. ජනපතිවරයෙක්.. අලුත් .. අගමැතිවරයෙක්.. අලුත්.. ඇමති මණ්ඩලයක්.. අලුත්.. විපක්ෂ නායක වරයෙක්.. අලුත් විපක්ෂයක් සිටින බව හැබෑ වුවත්.. මැති සබය.. පරණ එකමය.. නිලධාරීන් පරණ අයමය.. ඒ තබා.. ජනතාව ද පරණ අයම ය.. අලුත් පාරක යන්නට කොතෙක් උත්සාහ කළත්.. පරණ පාරේ යාමට ඉබේ ම සැලකිය යුතු තල්ලුවක් ලැබීම ඉතාම සාමාන්‍ය සංසිද්ධියකි.. එය ද පෙර කී දුස්‍රාවිතා සංකල්පයම නොවේද?

6. පසුගිය රජය මඟින් ආරම්භ කළ ව්‍යාපෘති බොහොමයකම මූලික අධ්‍යයනයන් හා විගනනයන් නිසි පරිදි සිදු නොකර තිබීම සහ විවිධ අක්‍රමිකතාවයන් සිදුව තිබීම නිසා.. ඒ පිළිබඳ යම් පමණක හෝ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ඇතැම් ව්‍යාපෘති අත්හිටුවන්නට හෝ අඩාල කරන්නට සිදු වීම අරුමයක් නොවේ.. එහෙත් මෙම අධ්‍යයනයන් ඉක්මණින් සිදු කර.. එම ව්‍යාපෘති පිළිබඳ නිවැරදි තීරණයකට එළැඹීම.. එකී ව්‍යාපෘති වලින් අවම පාඩුවක් සලසා ගැනීම සඳහා වැදගත් වනු ඇත.. 

7. බයියන් ගේ වේදනාවට මොනවා කීවද.. සත්‍යයට බයියන් බොහෝ දුර බැවු අප තේරුම් ගත යුතුය.. මෛත්‍රී ජනපති නිසා අපරටට මේ මාස දෙකට ඉතිරි වූ මුදල.. කෝටි ගනණක් බව නොකිවමනා ය.. එක පවුලකට නතුව තිබූ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ බලය.. ඉතාමත්ම සුවිශේෂී ලෙස ස්වාධීන ස්වරූපයක් ගැනීම ම අතිශයින් සතුටුදායකය.. එකී පවුල වටා සහ ඔවුන්ගේ ගෝල බාලයන් වටා බිහි වී තිබූ සුපිරි ධන-බල සංස්කෘතිය සැලකිය යුතු මට්ටමින් කඩා බිඳ දැමීම නිර්ධන-නිර්බල සංස්කෘතියේ හිමිකාරයින් වූ අප .. ලැබූ සුවිශේෂී ම ජයග්‍රහණයයි.. බයියන්ට හෝ ටොයියන්ට.. හොරකම් කිරීමට ඉඩක් නැති යාන්ත්‍රණයක් සකස් කරණ අතර තුර ම.. සමස්ථ රටවාසීන්ගේ වංකත්වය පරාජය කිරීම අප හමුවේ ඇති ප්‍රබලතම අභියෝගයයි..




Friday, February 6, 2015

තවම කල් මදිය..


මෛත්‍රී.. වෙනුවෙන් අයියා කෙනෙක් බඩ ගාලාය.. අතන මෙතන නෙමෙයිය.. කිලෝ මීටර් වලින්ම තුනක් ය.. අපේ යාලු මිත්තරයො හුඟ දෙනෙකුට වගේ උන්දැ ගෙ මොළේ ගැන මගෙ පපු කැනැත්තත්.. හෝස් ගානවාය.. ඒ අස්සෙ මට මෙහෙමත් හිතෙනවාය..  උන්දැ කරන්ට ඇත්තේ උන්දැට තේරෙන හොඳම දේ ය.. මටත් මගේ සතුට කියා පාන්ට ඕනෑ ය..  ඒත් උන්දැට වගේ මට කොරමයක් නැත්තේය.. ඒ අතින් උන්දැ.. මට වඩා පොරක් ය..

දැං ඉතිං ඔහෙලා මට සතුටු මක්කටදැයි අහනවාය.. වෙන මක්කටවත් නෙවෙයිය.. මෛත්‍රී ලොක්කට වඳුරු කුණුහරුප කියලා බැන්නත්.. සුදු වෑන් එන්නෙ නැති එකම ඇතිය... මහතැන වෙලා මේ ගත උනු දවස් ඩිංගට.. උන්දැ හුඟක් දේ කොළා ය.. කොළේ නැතත්.. නොකර ඉඳලා.. රටට ඉතුරු කොළාය..

උන්දැ කරපු දේවල් වලිං .. පත් කොරපු ලේකං කාරයො ටික නං ටිකක් අවුල් වගේය.. ඒත්.. උන්දැ කියන්නෙ.. පතිවත තියෙන එක ලේකං කාරයෙක් හොයා ගන්න එක ට වඩා කලු නික හොයන එක මාර ෆන් කියා ය..

උන්දැගෙ අගමැතිත්.. නරකම නැතිය.. ඒත්.. නායකයෙක් විදිහට හරි මදි ය.. අඩු ගානේ බණක් අහද්දි.. බීන් මහත්තයා වගේ නොහිටියානං ඇති ය.. ඒ මදිවට.. අරවින්ද ද සිල්වා ට වගේ දක්ෂ කම අස්සෙ හැංගිච්ච... මොකද්දෝ හිතුවක්කාර කමක් තියේය.. එවුවා හරි යන්නෙ නෑ.. ය.. කාටවත් සූප්පුවෙන් කිරි පොවන්ට ඕනෑ නැති ය. ඒත්.. කවුරු කවුරුත් යාප්පුවෙන් තියා ගන්ට ඕනෑ ය..

ඉස්සර එපා වෙලා හිටියත්.. සජියා.. මරු ය.. මෛත්‍රී ඇරුණම ගේම් එක හරියට සෙල්ලං කරන්නේ සජියා විතර ය..

ලොකු විස්තරයක් කොරන්ට තවම කල් මදිය.. ඔවු..! තවම කල් මදිය..

Saturday, January 31, 2015

නව රජය එක්ක නව බලාපොරොත්තු

නව ජනපතිවරයෙකු යටතේ .. නව අගමැතිවරයෙකු යටතේ.. දින විස්සක පමණ කාලයක් ගෙවී ඇත.. රටේ වෙනසක් සිදු වී ඇත්දැයි... සිතා බැලිය යුතුයැයි සිතේ..
ආර්ථික වශයෙන් ජනතාව වෙත තිබූ පීඩනයේ කිසියම් අඩුවක් ඇත. විශේෂයෙන්.. පෙට්‍රල්.. ඩීසල් සහනය එයට බෙහෙවින් බලපායි.. එහෙත්.. පසුගිය කාලයේ .. අධික ලෙස මිල ඉහල ගිය.. රතු කැකුළු සහල්.. සහ එළවලු වලට යම් සහනයක් දීමට රජය අපොහොසත් වී ඇත..
මානසික නිදහස අතින්.. පොදු ජනතාව ලද සහනය මෙතෙකැයි කිව නොහැක.. හිටපු ජනපති විසින්.. එක මිට ට ගෙන තිබූ .. ව්‍යවස්ථාදායකය සහ අධිකරණය.. නිදහස ලබමින් තිබේ.. දැන් රජයට හෝ .. ජනපති ට විරුද්ධව කතා කරන්නට ජනතාව බිය නැත.. ඉස්සර.. බෝම්බ ගැහුවත් මුඛ අධෝ මුඛ වසා සිටි අය.. දැන්.. වාතයක් ගියත්.. එයට එරෙහිව කතා කරයි.. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ සාධනීය ලක්ෂණයකි..
තවමත් ඉඳ හිට.. තමන්ගේ ගෝත්‍රික ලක්ෂණ පෙන්වන ඇතැම් පිරිස්.. කලහකාරී ලෙස හැසිරෙති.. ඊට එරෙහිව නිරායාසයෙන් සෘජු පියවර ගැනීමට තවම පොලීසියට පුරුද්දක් නැතුවා විය යුතුය... එහෙත්... පසුව හෝ නීතිය ක්‍රියාත්මක වීම පැසසුම් කටයුතුය..
මේ මෑත කාලීන ඉතිහාසයේ මේ රටේ සිදු වූ අති විශිෂ්ඨතම සමාජ පෙරලියක් ලෙස ඉතිහාසගත වන්නත ඉඩක් නැතැයි මම නොකියමි.. එහෙත් පුරවැසියන් ලෙස සක්‍රීයව හා විවේචනාත්මකව පවතින රජයට.. ප්‍රායෝගිකව සහාය දිය දීම අපගේ වගකීම ලෙස මම දකිමි..
ජනපති තුමනි.. අගමැති තුමනි.. ඔබ දෙදෙනා පිළිබඳ සැකයකින් තොරවම රටේ බහුතරයක් විශ්වාසය තබා ඇත.. එම විශ්වාසය පළුදු නොකිරීම ඔබ සතු යුතුකමකි.. ඒ පමණටම.. ඔබගේ ඇමති මණ්ඩලය ගැන විවිධ.. සැක සංකා අපට ඇත.. දින සියයේ වැදගත්ම කටයුත්ත ලෙස මා දකින්නේ.. වඩාත් ප්‍රායෝගික.. වඩාත් කාර්යක්ෂම මැතිවරණ ක්‍රමයක්.., පාර්ලිමේන්තු ව්‍යූහයක්, ස්වාධීන වූ අධිකරණයක් සහ පොලීසියක්.. නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සහ සමාජ වටපිටාව නිර්මාණය කිරීමයි.. ඒ මතින්.. දින සියයෙන් පසුව.. බොහෝ යහපත් දෑ රටට දායාද කළ හැකි වනු ඇත.. ඒ සඳහා පුරවැසියන් වූ අපට ඇති වගකීම නම්.. නායකත්වයේ යහපත් සංකල්ප මත පිහිටා.. රටේ දියුණුව හා සංවර්ධනය සඳහා.. අවශ්‍ය ආකල්පමය වෙනස සක්‍රීය කිරීමත්.. කිසි ලෙසකින්.. තෝන් ලනුව අත නොහැරීමත් ය..
වෛරී දේශපාලනය තුරන් වෙමින් තිබීම.. රටේ වාසනාවකි.. මරා කඳවුරේ අනාතයින් ඉතා සුළු පිරිසක් පමණක් බියකරු සිහින දකිද්දී.. මුළු රටම.. ජනතා ජයග්‍රහණයක් වෙනුවෙන් පෙළ ගැසී සිටීම.. අගය කළ යුතු අතර.. එම ක්‍රමය.. පෝෂණය කරමින් ශක්තිමත් කළ යුතුය..

Monday, January 19, 2015

මෙත් පුරය..1



මෙත්පුරය වනාහී.. අතිශයින්ම සුන්දර වූ හැඟීම් වලින් පිරිපුන් වූ මිනිසුන් පිරිසක් වෙසෙන පුරවරයකි. එය ලෝකයේ සංස්කෘතික රාජ්‍යයක් ලෙස නම් කෙරුණේ .. එපුර වැසියන්ගේ සභ්‍යත්වය හා යහපැවැත්ම නිසාමය.. 

ඉතා සුළු කාල පරාසයක් තුළ ආධ්‍යාත්මික හා භෞතික වශයෙන් ඉතා ඉහල සංවර්ධනයක් ලබා ගත්.. මෙත්පුරය.. මුලු ලොවටම ආදර්ශයකි.. වත්මන් මෙත්පුර නරෝත්තම මෙත් මහ නිරිඳු ට ප්‍රථම රාජ්‍ය කළ 9 වැනි මිහිඳු නිරිඳු සමයෙහි පැවැති ස්වරූපය සහමුලින්ම වෙනස් කිරීමේ කතාන්තරය මෙබඳුය..

මීට කෙටි කලකට පෙර.. මිහිඳු නිරිඳු.. සිය රාජ්‍ය බලය ගැන මහත් සේ උදම්ව.. ගම් නියම් ගම් කොල්ලකමින්ද.. එතනෝල්, කුඩු ආදී.. විපරීත දෑ ජනයාට ඇබ්බැහි කරවමින්ද.. රාජ්‍ය කරනා කල්හි.. දුක් විඳින.. ජනතාව ගැන දැනුණු අප්‍රමාණ ශෝකය නිසා ම.. මිහිඳු නිරිඳු සමඟ ආප්ප කමින් සිටි මෙත් යුව රජ හා එක්ව මන්ත්‍රණය කොට .. බටහිර සහ ඊලාම් සහාය ද ඇතිව.. මිහිඳු නිරිඳු එලවා.. මහ රජ තනතුර මෙත් නිරිඳුට ලබා දීමට කටයුතු කළෝ... පැරකුම් කුමරු ය.. මාස දෙක තුනක කුමන්ත්‍රණය අවසන බලය ලබාගත් මෙත් මහ නිරිඳු වටා ගොඩ නැඟුණු හොර පවුර.. නායකත්ව පවුර ට ත් වඩා ලොකුයැයි කී අයත් සිටිති..

කිසිවෙකුටත් නොයටත්ව.. අදීනව.. තම නුවණ මෙහෙයැවූ මෙත් නිරිඳු.. යුවරජ.. හා පුරෝහිතවරු සමඟ එක්ව මෙපුර.. ශෝභාමත්.. සුන්දර පුරවරයක් කරන්නට ගත් අභීත පියවරයෝ මනස්කාන්ත ය..

පළමුව.. ඔවුහූ පැන යන අයට පැන යන්ට ඉඩ දුන් හ..
දෙවැනුව.. ඉතිරි වූ හොරුන්ගේ සහාය ලැබ ගත්තෝය..
තෙවැනුව..එපුර.. යහ පාලනය ගොඩ නැඟූහ..

දැන් මෙපුර.. වැසියෝ .. බොරු නොකියති..
ප්‍රාණඝාත නොකරති..
කොටින් ම පන්සිල් රකිති..
ඔවුහූ ධනය ට ආශා නැත..
ධනය ඇතිව හෝ නැතිව.. අනෙකාට උදවු වෙති..
රජයේ සේවකයෝ ඉහළ වැටුප් ලබති..
පොලිස් නිලධාරීන්.. ඉතා විනීතය..
පොලිස් ස්ථාන වල.. අපරාධ විමර්ශන, පැමිණිලි හා සුළු පැමිණිලි ඒකක වැසී ගොස් ය.. ඒ අංශ වල සිටි නිලධාරීන්.. සුබසාධක හා සංරක්ෂණ ව්‍යාපෘති වලට අනුයුක්ත කොට ඇත..

පාර්ලිමේන්තුවේ අසුන් 225 අසුන් 50 ට අඩු කරමු කියාත්.. වැටුප් මිස .. විශ්‍රාම වැටුප් අවශ්‍ය නැත කියාත්.. පලාත් සභා ඕනෑම නැත කියාත්.. මීළඟ ඡන්දයකදී.. පක්ෂ භේද ඉවත ලා.. ජනතා කැමැත්ත මත.. අදාල සංයුතිය තෝරා ගැනීමටත්  සියලු දේශපාලන පක්ෂ වල එකඟතාවය මත තීරණය කැරිණි.. 

විදේශිකයන් රැකියා වලට බඳවා ගැනීමේදී.. ඔවුන් හට යහපාලනය විශේෂ පුහුණු වැඩමුළු පැවැත්වීමට රජය තීරණය කර ඇත.. 

විදේශිකයින්.. මෙත් එයාර් ගුවන් සේවය භාවිතා කිරීම අත්‍යවශ්‍ය නොවූවත්.. මෙත් එයාර් ගුවන් සේවය.. වඩාත්ම විශ්වාසදායී ගුවන් සේවය බව රජය මඟින් සිදු කළ ස්වාධීන සමීක්ෂණයකින් තහවුරු වී ඇත.. 

පොලොන්නරුවේ.. පිහිටා ඇති.. මෙත්ලක්...ජාත්‍යන්තර ගුවන් තොටුපල.. ලෝකයේ අද්විතීය ගුවන්තොටක් ලෙස සම්මානයට පාත්‍ර වූ අතර.. එහි ගමන් කරන යානා වලට.. මොණරුන්ගෙන් කිසිම ආකාරයක බාධාවක් නැතැයි.. පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි..

මෙත්වාහිණී.. රූපවාහිනී නාලිකාව මඟින් විකාශය වූ.. මෙත්ස්ටාර් නම් රියැලිටි වැඩසටහන මෙත්පුරයෙහි වඩාත්ම ජනප්‍රිය වැඩසටහන වෙයි..

මතු සම්බන්ධයි..

Friday, December 19, 2014

බැරිදා විග්‍රහය..! මිනිස්සුන්ට සල්ලි නැද්ද?

අප රටෙහි ඔය කියන තරම් මුදල් හිඟයක් පවතිනවාද?
හිඟයකට වඩා විෂමතාවයක් තමයි පවතින්නෙ...

අද අපේ රටේ හුඟක් අයට වාහනයක්.. අඩු ගානේ ත්‍රීවීලර් එකක් හරි බයික් එකක් හරි තියෙනවා.. ඒ වගේම දහස් ගණන් අලුත් කාර් නිතරම පාරේ හමු වෙනවා.. එය සමස්ථයගේ ආදායම් තත්වය ඉහළ යෑමක් පෙන්වන සාධකයක් නොවෙයිද?

මිනිස්සු ළඟ වාහන තියෙනවා.. ඒ වාහන වලට ලීසිං තියෙනවා. ලීසිං වලට ඇරියස් තියෙනවා..

මිනිස්සු ළඟ සල්ලි නෑ කීවට.. කේ.එෆ්.සී, මැක්ඩොනල්ඩ්ස්, පීසා හට් වගේ වැඩි වියදම් සහිත තැන් වලට මිනිස්සු පොර කකා යනවා..

මේක කාරණා කිහිපයක එකතුවක්...

1. අපේ රට ඇතුළට මහා දැවැන්ත.. මුදල් සම්භාරයක් ණය විදිහට එනවා.. ඒ මුදල් වලින් ඉතා සුළු ප්‍රතිශතයක් හරි (අඩු ගානේ 10%ක් වත්)  රටේ මුදල් සංසරණ පද්ධතියට එකතු වෙනවා.. (අනික්වා.. අදාල ව්‍යාපෘති කරන විදේශීය සමාගම් හරහා සහ.. කොමිස් කාක්කන්ගේ විදේශීය ගිණුම් හරහා ආයෙමත් පිටරට ට යන බව ලේසියෙන්ම උපකල්පනය කරන්න පුළුවනි..) අන්න එහෙම ලංකාවෙ නවතින මුදල් නිසා.. සමස්ථයක් ලෙස රටේ මුදල් සංසරණය පවත්වාගෙන යන්න පුළුවන් වගේ පේනවා..

2. ඔය ඉහත කියපු අවන්හල් වලට යන කොට්ටාස කීපයක් ඉන්නවා..
 1. හොඳම සල්ලි කාරයො.. මෙයාලට ඉතිං අවුලක් නෑ .. සල්ලි තියෙන නිසා යනවා..
2. අමාරුවෙන් කීයක් හරි හොයා ගන්න මාස් පඩි කාරයා.. මාසෙකට දෙකකට සැරයක්වත් දරුවන්ට වෙනසක් තියෙන්ට එපැයි කියලා.. දරුවොත් එක්ක ඔය වගේ තැනකට ගිහිං.. බොහොම පරෙස්සමින්.. එහෙත්.. දරුවන්ගෙ බිරිඳගෙ සතුට වෙනුවෙන්..සල්ලි ටිකක් වියදම් කරනවා..
3. එදිනෙදා සල්ලි හොයාගන්න.. උදවිය.. (ත්‍රීවීලර් රියැදුරන්, බස් කොන්දස්තර වරුන් වැනි අය..)  ගතමන්ට් එක ටිකක් හොඳ දවසට.. අර ඉස්සෙල්ලා කට්ටිය වගේ ම සහ ගතමන්ට් එක එච්චර නැති උනත්.. හිතුණොත් ණය වෙලා හරි.. මේවට ගොඩ වෙනවා..

මේ ඔක්කොම ගොඩ රටේ සමස්ථ ජනතාවගෙන් 60%ක් විතර ඇති..
ඒ අතරෙ තව කී ලක්ෂයක් නං මිනිස්සු ඉන්නවා ඇතිද..? මේවයෙ තියෙන්නෙ මොනවද කියලා වත් දන්නෙ නැති..?

කොහොම උනත් මේ කෑම වල ගානයි පොස් කමයි මිසක.. වෙනත් වටිනාකමක් නැති බව නං බොහෝ දෙනා දන්නවා..

Wednesday, December 17, 2014

පවුලේ අයෙකු දේශපාලනය කරන විට ඉතිරි අය කරබාගත යුතු ද?



දේශපාලන ඉතිහාසයේ පවුල් සම්බන්ධතා ඇති වූයේ අද ඊයෙක නොවේ.. සැමියාගෙන් බිරිඳට.. තාත්තාගෙන් පුතාට.. අයියාගෙන් මල්ලීට.. ආදී වශයෙන් විවිධ අයුරින් බලය හුවමාරු වූ අතර.. එකට දේශපාලනය කළ අය ද මේ අතර සුලබ විය.. 

එහෙත් පවුල් පාලනය ගැන මේ තරම් කලකිරීමක් හා තිගැස්මක් ඇති වූ වෙනත් කාලයක් නොවූ බව පැහැදිලිය.. එය කොතරම් උග්‍ර වී ද යත්.. මෛත්‍රීපාල තාත්තා ගැන ඔහු ගේ දියණිය කතා කිරීම, මෛත්‍රීපාල අයියා ගැන.. ඔහු ගේ මල්ලී කතා කිරීම පවුල් පාලනය ට පෙරහුරුවකැයි මැවෙන අපූරු (මඩ) පුවත් අද ඇත.. 

සියල්ලෝම දේශපාලන සත්වයෝ නිසා මෙන්ම.. තමන්ගේ මිනිහා නිවැරදි නම්.. ඔහු වෙනුවෙන් සහයෝගය දැක්වීම තමන්ගේ එවුන්ගේ යුතුකමක් වන නිසා.. මගේ දැක්මට අනුව නම්.. පවුලේ අය සහයෝගය දැක්වීම.. අදහස් දැක්වීම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුත්තකි..

ගැටලුව ඇත්තේ එතැන නොවේ.. එකී පවුලේ උදවිය.. සටන අවසන.. හයිකාරකම් පටන් ගන්නේද... එසැණින් ගැටළු පැටැලෙන බව කිව යුතුය.. 

තාත්තා ජනපති වූ පමණින්.. පුතා.. ඡන්දය ඉල්ලා මන්ත්‍රී වීම ගැටලුවක් නැත..
එහෙත්.. ජාතික රගර් කණ්ඩායමේ නායකයා වූවා නම් ගැටලු සහගතය.. 
තනිවම සීත කාමර වල සිට.. හොරට විභාග ලියා..  පට්ටම් ලැබුවා නම් ගැටලු සහගතය..
ලැම්බෝගිනි ගෙන්වන්ට ඕන කමට .. ලැම්බෝගිනි බද්ද අඩු කරනවා නම් ගැටලු සහගතය..

ඇමතිවරුන්ගේ ලිපියට රැකියා දෙන එක වැරදිය.. ඇමති මොනවා කීවත්.. ජනපතිගේ පුතා රැකියාවේ අවසාන භාරකාරයා වීම.. ඊටත් වඩා කුජීතය.. 

මේ විදිහට කුජීත වුණු ගැටලු එමටය.. ඒත් දිගින් දිගටම ඕවා කතා කිරීම ඵලක් නැත්තේ.. "කිසි වාසියක් නෑ ඒ වුණත් අපි මරාටයි ඡන්දේ " නිසා ය. 

පවුලත් එක්ක සංවිධානාත්මකව ගහපු ගේම් මෛත්‍රී ගේ දේශපාලනයේ නැත.. ඒ නිසා මැද මුලනේ පවුලෙන් තරම් සංගදියක් පොලොන්නරුවේ පවුලෙන් නොවන බව සක්සුදක් සේ පැහැදිලිය.. 

ඒත්... එය සුපිරිසිදු එකක් වන්නේයැයි.. සිතන්නේ නම්.. එය සිහිනයක්.. එහෙත් ඉඳ හිට සැබෑ වන එවන් සිහින ද ඇත..

Thursday, December 4, 2014

කැත ම උනත් ඇත්ත කතා..


කාලය.. ආසන්න වශයෙන් 1997 වසර..
අවස්ථාව .. රජයේ රූපවාහිනි නාලිකාවක.. සැටලයිට් නෝනා සමඟ කළ සාකඡ්ඡාවක්..
නිවේදකයා.. පාලිත පෙරේරා (ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරක)
ප්‍රශ්නය : මීට ඉස්සර කොටි බෝම්බ පුපුරුවද්දි.. එක්කෙනෙක් ඇවිත් තමයි පිපිරෙවුවෙ.. ඒත් දැන් කණ්ඩායම් වශයෙන් පැමිණීමේ ප්‍රවනතාවයක් තියෙනවා නේද? එයින් තේරෙන්නෙ ඔබගේ පාලනය යටතේ ආරක්ෂාව දුර්වල වෙලා කියන එක නේද?
(ඒ කාලයේ කණ්ඩායම් වශයෙන් ඇවිත් පිපිරවීම් 2-3 ක් කළා.. මහ බැංකු බෝම්බය වගේ)
පිළිතුර : නැහැ.. දැන් රටේ ආරක්ෂාව වැඩි වෙලා තියෙනවා.. ඒ නිසා එක්කෙනෙකුට ඇවිත් ඉස්සර වගේ විනාශයක් කරන්නට ඉඩක් නෑ.. ඒ නිසයි ඔවුන් කණ්ඩායම් වශයෙන් පැමිණෙන්නෙ..

මේක රටේ ඉහළ පෙලේ නායකයෙකු/ නායිකාවක විසින් කියන ලද අමු ම අමු ගොන් ම කතාව ලෙස මගේ හදවතේ සදාතනිකව තැන්පත්ව ඇත..

එහෙත් මේ කතාවට තරඟයක් දිය හැකිදැයි සලකා බැලිය හැකි කතා දෙක තුනක් පසුගිය දින කීපය තුළ මගේ ඇස ගැටිනි..
1. මට වඩා ගන්ට ගෙනාව දරුවෙක්.. වයස මාස 8 ක් විතර ඇති.. තාම අම්ම තාත්තා කියලවත් නෑ.. අපෙ හාන්දුරුවනේ.. මේ දරුවා එක පාරටම කිවුවා.. (දෑත් දෙපසට කර පෙන්වමින්..) ජයවේවා..! කියලා..
2. මං කියන දේ කරන මිනිහෙක් .. කරන දේ කියන මිනිහෙක්.. අපෙ හාන්දුරුවනේ..(අතකින් පපුවට ගසාගනී..)

ප.ලි
 (අවුරුදු 9 ට ඉස්සර කියපුවා වත් තවම කොළේ නෑ.. අනික වැඩියෙන්ම කොළේ.. කියපු ඒවා නෙවෙයි... කියලා අපට අමතකයි හිතලා වෙන්ටැ එහෙම කිවුවෙ.. )

Thursday, November 27, 2014

බැරිදා විග්‍රහය.. පොදු සිරා!

ජනාධිපතිවරණය.. නීත්‍යානුකූල ද? කියන ප්‍රශ්නෙදි.. අපිට ලැබෙන්නෙ.. ඔවු කියන උත්තරේ.. මොකද අද පවතින්නෙ.. මරා නීතිය නිසා..
ඒ නිසා එය නීත්‍යානුකූල නැහැයි කියලා ගේ ම ඉල්ලන එක තේරුමක් ම නෑ..
මරා ට වඩා සිරා හොඳයි ද? කියන ප්‍රශ්නෙදි.. අපට කට උත්තර නැතිවෙන ගතියකුත් තියෙනවා.. එහෙම වෙන්නෙ.. මරා ගෙන් සිරා ට එල්ලවෙන මඩ ප්‍රහාරත් එක්ක.. එයිටත් වඩා මරා ගෙ සහෝදර ගැන්සියට වඩා දෙතුන් ගුණයක් ලොකු සිරාගෙ සහෝදර ගැන්සිය දැක්කාම බය හිතෙන්නෙ නැද්ද හෆ්ෆා.. මරා ට වඩා පොදු බූරුවෙකුත් හොඳයි කියලා වරක් අපේ සහෘදයෙක් කියලා තිබුණා..
ඒ කතාව ඇත්ත.. පොදු බූරුවෙක් හොඳ උනාට පොදු සිරා .. බූරුවෙක් නෙවෙයි නේ....
මගෙ පපු කැනැත්තට දැනෙන විදිහට.. ගියපාර ගෙනාපු ඇස් ඇෆ් එක්ක සිරා ව සංසන්දනය කරලා බැලුවම.. මට හිතුණේ සිරා ඇස්. ඇෆ් තරං මේ වැඩේ ට සුදුසු නෑයි කියලා.. ඒත් ඇස් ඇෆ්.. ඡන්දෙ පැරදිලා.. හිරේ ගිහිං.. තමන්නෙ සබ්බ සකලමනාව ම නැති කරගත්තට පස්සෙ ආයෙමත් දේශපාලනේ ට ආපු එක ගැන මට ටිකක් අවුල්.. මොකද .. උන්නැහැ කිවුවෙ.. ජනාධිපති වෙලා.. විධායකය අහෝසි කරලා.. දිරාමාරු වෙලා යනවා කියලනෙ.. එහෙවු උන්දැ දැන ගන්ට ඕන.. උන්දැට ආයෙ කවදාවත්.. අවස්ථාවක් නැති විත්තිය..
එක්කො උන්දැ හිතන්ට ඇති.. මං පැරදිලා මාරු වෙන එක මගේ තත්තෙට හරි නෑ කියලා.. නැත්තං හිතෙන්ට ඇති.. ළිඳට වැටුණා නං ලිං කටෙන් ම ගොඩ එන්ට ඕන කියලා.. එහෙමත් නැත්තං.. පෘතග්ජනයෙක් වෙච්ච උන්දැට හිතෙන්ට ඇති.. දේශපාලනේ කියන්නෙත්.. ලොවන්ටම වටින ලොලිපොප් එකක් කියලා..
දැං මට තියෙන පස්නෙ.. එහෙවු ඇස් ඇෆ් මහත්තැනුත්.. ලොලිපොප් එකට වහ වැටුණා නං.. සිරා මාමා ගැන අහවල් කතා ද? කියන එකයි..
කොයි හැටි වෙතත් මගේ තරාදිය තාමත් බර.. සිරා ගෙ පැත්තට.. ඒ අර අපේ සහෘදයෙක් කියලා තිබුණා වගේ හතුරු මිතුරු තියරියෙන්..
රට මගේ මිතුරා ය .. මරා රටේ හතුරා ය.. එනිසා මරා මගේ හතුරා ය..
මරා මගේ හතුරා ය... සිරා මරා ගේ හතුරා ය.. එනිසා සිරා මගේ මිතුරා ය..

Monday, November 3, 2014

බැරිදා විග්‍රහය ! යූ ඇන් පි ය ආවොත්..1

මට මතකයි.. මීට ටික දොහකට කලිං.. ඉදිරි යූ ඇන් පී ආණ්ඩුවකින් අපි බලාපොරොත්තු වෙන දේවල් ගැන අහලා තිබුණා.. ඉතිං ඕක කෙටියෙං කියන්ට ඇහැක? මං හා කියලා විතරක් නිකා හිටියා.. ඒත් දවසින් දවස.. ඔය බලාපොරොත්තු ගොන්න ලැයිස්තු ගත කොරන්ට පමා උනා.. ඉතිං අද හිතුණා පුළුවං හැටියට.. ඔයි වැඩේ අහවරක් කරලා දාන්ට..
1. නීතිය ස්ථාපිත කොට යුක්තිගරුක සමාජයකට අඩිතාලම දැමීම..
ක්‍රම ක්‍රමයෙන් පිරිහෙමින් පැමිණ.. අද වන විට සෙත්ත පෝච්චි වෙන්ට ඔන්න මෙන්න තියෙන නීතිය යළි ස්ථාපිත කිරීම මා ඉදිරි ආණ්ඩුවකින් බලාපොරොත්තු වන පළමු කාරණයයි.. එහිදී නීතියේ ඇති හිස්තැන් කෙරෙහි අවධානය යොමු කිරීමත්.. නීතිය ගැන ජනතාවගේ විශ්වාසය ඇති කිරීමත්.. නීතිය ආරක්ෂා කිරීමට සිටින නිළධාරීන්ගේ විනය ගරුක බව හා අවංක භාවය වර්ධනය වන අයුරින් ආකල්පමය හා මානසික සංවර්ධනය වැනි කරුණු ද ඇතුළුව ඊට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමත් මූලික කරුණු යැයි සිතමි.
2. නීතිය ගැන වර්ධනය වන විශ්වාසය ඇති ජනතාව ආකල්පමය වශයෙන් ශක්තිමත් හා ගුණ දහම් අතින් පිරිපුන් මිනිසුන් බවට පත් කිරීමේ පූර්වාදර්ශය.. පාර්ලිමේන්තුව තුලින් ම අරඹමින්.. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු.. දූෂිත දේශපාලනඥයින් පුනුරුත්ථාපනය කිරීම.. (නීතිය ගැන හැබෑ පැහැදීමක් ඇති වීමට නම්.. පක්ෂ විපක්ෂ බේධයකින් තොරවම.. වැරදි කරුවන් නීතිය ඉදිරියේ නිරුවත් කළ යුතුය.) විශේෂයෙන් පසුගිය යූ ඇන් පී ආණ්ඩු ඇති වූ පසු සන්ධාන ඡන්ද දායකයින්ට ඇතිවුණායැයි කියන තාඩන පීඩන මෙවර ඇති නොවන බවට සහතිකයක් දිය යුතුය.. 
3. පැහැදිලි හා නිදහස් ජන මාධ්‍ය ප්‍රතිපත්තියක් ඇති කළ යුතු අතර.. ඒ සඳහා අවශ්ය ප්‍රායෝගික වට පිටාව සකස් කිරීම ඉතා වැදගත්ය..
4. ජාතීන් හා ආගම් අතර සංහිඳියාවක් ඇති කිරීම සඳහා සියළු පාර්ශව සතු සැබෑ ප්‍රශ්න දෙස නිර්භය හා සාධාරණ මැදිහත් වීමක් අත්‍යවශ්‍යය. උදාහරණ වශයෙන්.. පකිස්ථානය ඇතුළු මුස්ලිම් රටවල් වලින් මෙහි පැමිණෙන මුස්ලිම් සංක්‍රමණිකයින් හරහා වර්ධනය වන අපරාධ රැල්ල (කුඩු, සොරකම්..... ) මෙන්ම .. සංස්කෘතික මංකොල්ලයන් දැක්විය හැක.
5. දුම්වැටි සපුරා තහනම් කිරීම හෝ දැනට ඇති නීති තව දුරටත් තදින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන්නේ.. මුලු මහත් සමාජයටම දුම් වැටිය මහත් වූ පිළිලයක් වන්නා සේම බොහෝ දුරාචාර වලට මූලික අඩිතාලම වන බැවිනි.. වත්මන් රජය මේ පිළිබඳ ගත් පියවරයන් ගැන සාපේක්ෂව සතුටු වෙමි..
6. නිශ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම.. නව අවස්ථා බිහිකිරීම හා තිබෙන අවස්ථා වැඩි දියුණු කරගැනීම ආදී වශයෙන් විවිධ ආකාරයෙන් කළ යුතු අතර.. නව තාක්ෂණය හා සම්පත් භාවිතයේ ප්‍රශස්ථ විශ්ලේශණයක් සිදු කළ යුතුය..
7. සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ගෙන් බදු අය කිරීමේ ක්‍රියාවලිය තුළ ඔවුන් විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සංශෝධනය කර වඩාත් සමාජ හිතකාමී සාධාරණ ක්‍රියාවලියක් හරහා ඔවුන් ද ජාතික ආදායම් ක්‍රියාවලියට සම්බන්ධ කොට ගත යුතුය..
ඉතිරිය.. පසුවට..

Friday, October 17, 2014

ද්‍රෝහිකම..

යාළු මිත්‍රයන්ට.. දෙමවුපියන්ට.. සහෝදර සහෝදරයින්ට.. දරුවන්ට වගේම ඕනම කෙනෙකුට.. උදවු නැතුවම බැරි වෙලාවට උදවු කරන්ට.. හැබැයි ඕනවට වඩා එයාලා ගැන හොයා බලන්ට යන්ට එපා.. එහෙම හොයා බලන එක එයාලට කරන ද්‍රෝහි කමක්..

අර ඉහත කියපු කස්ටිය ඇතුළුව තමන්ව ආස්සරේ කරන හෝ නොකරන ඕනම කෙනෙක්ගෙන් බැරිම වෙලාවක උදවුවක් ඉල්ලන්ට.. හැබැයි.. පුංචි පුංචි දේවල් වලට එයාලට කරදර කරන්ට එපා.. එහෙම කරදර කරන එක ඔයාලටම කරගන්න ද්‍රෝහි කමක්..

Monday, September 29, 2014

ස්වීප් ටිකට්

පුංචි කාලෙ ඉඳං ස්වීප් ටිකට් කියන්නෙ මට හුරු දෙයක්. අපේ අප්පච්චි සතියකට 10-15 ක් ගන්ට අමතක කරන්නෙ නෑ. රුපියල් 50 කට වඩා ඇදුණු දවසක් මතකත් නෑ. ඒත්.. අප්පච්චි අතාරින්නෙම නෑ. මං ස්වීප් ටිකට් වලට වඩා වෛර කළේ.. අප්පච්චි බොන සිකරැට් වලට විතරයි.. ඇයි සිකරැට් වලට අපට වියදං කරන්ට තියෙන සල්ලි වගේ ම අප්පච්චිගෙත් අපෙත් ජීවිතත් පිච්චෙනවනෙ. සිස්සත්තෙ පාස් උනොත් අප්පච්චිව කැමති කරගන්ට පුළුහං වෙයි.. මට එහෙම හිතුණා.. සිස්සත්තෙ පාස් වෙලා තෑග්ගට මං ඉල්ලුවෙ.. ඔය කරුමක්කාරයො දෙන්නා එක්ක තියෙන ඇයි හොඳයිය නවත්තන්ට කියලා.. මාසෙකට විතර නවත්තපු අප්පච්චි ආයෙම පටං ගත්තා..

උසස් පෙළ පාස් උනාමත් මං ඉල්ලුවෙ සිකරැට් සහ ස්වීප් ටිකට් නවත්තන්ට කියලා.. ඒ පාර නං.. අප්පච්චි සිකරැට් බීම නං නැවැත්තුවා.. ඒත්.. ස්වීප් ටිකට් වලට නං සමු දෙන්ට අප්පච්චිට හිතක් නෑ. 

දැං මං ලොකුයි රස්සාවක් කරන වයස. අප්පච්චි  කිවුවෙ මට තව ඉගෙන ගන්ට කියලා.. මටත් හිතුණා තව ටිකක් ඉගෙන ගන්ට ඕනි කියලා. මං පරිගණක පාඨමාලාවක් හදාරන්ට තීරණය කළා.. මං දන්නවා අප්පච්චිට ලොකු සල්ලියක් නෑ කියලා.. විභාගයක් ලියලා පොඩි ගානක් ගෙවලා කරන්ට පුළුහං පාඨමාලාවක් තමයි මං තෝර ගත්තෙ. අප්පච්චි ඔය ස්වීප් ටිකට් වලට වියදං කරපු සල්ලි තිබුණා නං.. මට හොඳ කෝස් එකක් කරන්ට තිබුණා.. මං එහෙම කිවුවා නෙවෙයි කියැවුණා.. 

මං පොඩි රස්සාවකට ගියා.. එතැන මට හොඳයි. මට වෘත්තිමය සුදුසුකමක් ලැබුණෙ එතැන දී. දන්නෙම නැතුව බඳින වයසත් ඇවිත්... මං කසාද බැන්දා.. ළමයි ලැබුණා.. අප්පච්චි තාම ස්වීප් ගන්නවා..

අපරාදෙනෙ අප්පච්චි.. මොකටද දැන් ස්වීප් අරගෙන..
මට කරන්ට තව වැඩ ගොඩක් තියෙනවා.. අප්පච්චි කියනවා..


චූටි මල්ලිට 150,000/=
ලොකු නංගිට 100,000/=
................
................

ඔය වගේ අපේ හිතවත් ම කට්ටියකගේ නං දාලා ලියපු ලැයිස්තුවක්..මං දැක්කා අහම්බෙන්..

මොකද්ද අප්පච්චි මේ..?
හෙක්.. හෙක්.. ඔය මගෙ ස්වීප් එක ඇදුණාම දෙන්ට කියලා...
මෙයාලගෙන් අප්පච්චි ණයට එහෙම ගත්ත ද?
නෑ නෑ ළමයො.. එයාලට හරියට බැරි අමාරුකම් නෙ..
අපි පුළුවං විදිහට උදවු කරමුකො අප්පච්චි.. ඔය ස්වීප් ගැනිල්ල දැංවත් නවත්තන්ටකො..
අනේ උඹලගෙ කෙරුවාව... කියලා අප්පච්චි මගෙ දිහා සරදම් බැල්මක් හෙළුවා..

===============================================
ඉතුරුවක් නැති උනත්.. මේ වෙද්දි අපි ජීවත් වෙන්ට ඇති තරං හම්බු කළා. අනාගතේ ගැන හිතලා ජීවිත රක්ෂණයකුත් ගත්තෙ.. මළත්.. අඹු දරුවන්ට සහනයක් වෙනවනෙ කියලා හිතාගෙන. ඒත්.. ප්‍රියානි.. මගේ බිරිඳ නිතරම හිටියෙ හරිම බයෙන් මගෙ ජීවිතේ ගැන. දැං ඉතිං බය වෙන්ට දෙයක් නෑ මැරුණොත් ලක්ෂ දහයක් හම්බු වෙනව නෙ.. මං හිනාවෙවී කිවුවට ප්‍රියානි කිවුවෙ.. ලක්ෂ දහයෙන් මක් කරන්ටද මිනිහ නැතුව.. ළමයින්ට අප්පෙක් නැතුව.. කියලයි.. 

ඔය අතරෙ තමයි මං භාවනා පංතියකට ඇතුළු වුණේ.. මිනිස් සිත මහා පුදුමාකාර ශක්තියක් තියෙන දෙයක් කියලා අහලා තිබුණට.. අත් විඳින්ට ලැබුණෙ එහෙ ගියාට පස්සෙ.. බැඳීම් වලින් නිදහස් වෙන්ට වෙන්ට හිතට ලැබෙන ශක්තිය හරිම පුදුමයි.. ඒක විඳින්ට මිසක් කියන්ට බැහැ. මට මේ ගෙවන ජීවිතෙන් චුට්ටක් ඈත් වෙන්ට හිතුණෙ අඹු දරුවො කෙරෙහි අබ මල් රේණුවක තරම්වත් අහිතකින් නෙවෙයි.. ඒක ආත්මාර්ථකාමී හැඟීමක් වෙන්ට ඇති.. 

ඔහොම ගිහිං.. අභිනිශ්ක්‍රමණය කරයි ද දන්නෙ නෑ.. මං ගැන ඕන නෑ.. මේ ළමයි කොහොමද ලෝකෙට මූණ දෙන්නෙ..? 

සිදුහත් කුමාරයා අබිනික්මන් කරපු වෙලාවෙ.. රාහුල කුමාරයා ට කිසි අවුලක් උනා යෑ..? 

ඇයි ඔයාගෙ අප්පච්චි සුද්ධෝදන රජ්ජුරුවොද? ඔයාට ඕන තැනක යන්ට... හැබැයි මාවයි ළමයින්වයි අනාත කරන්නෙ නැතුව.. ඇයි වදේ එක්කො නොබැඳ ඉන්ට ඕන..

හරි හරි.. ඉතිං මං නො එන්ටම යනවා කීවයෑ..? මාසෙකට විතර භාවනා කරන්ට නෙ යන්නෙ..

========================================
අප්පච්චි.. මීට පස්සෙ ටිකට් ගන්නකොට මටත් එක්ක ගන්ට.. මං පොකැට්ටුවෙන් ගත් නෝට්ටුව අප්පච්චි අතේ ගුලි කළේ.. මිදුලේ දඟ කරන පොඩිත්තන් දෙස නෙත් යොමු කරමින්..



Wednesday, September 17, 2014

මං එච්චර හොඳ නෑ


ඊයේ වන තුරු මං හිතාගෙන හිටියේ.. මං මාර හොඳ එකෙක් කියලා.. ඒත් .. හැම දවසෙම රෑ ජාමෙට.. එදා දවස තුළ මං අනුන් වෙනුවෙන් කරපු එක හොඳ වැඩක් මෙනෙහි කරන්ට ඊයෙ මං තීරණය කළා... මෙන්න මේ ලිපිය කියෙවුවහම තමයි .. එහෙම කරලා බලන්න හිතුණෙ..
කිවුවට විශ්වාස කරන්ට සහෝදරවරුණි.. ඊයෙ දවස තුළ.. විතරක් නෙවෙයි.. මේ වන තුරුම .. මම පොයින්ට්ලස්.. 


ඒ විතරක්ය.. හිතට එන නරක සිතුවිළි ගැනත් මං පොඩ්ඩක් ඇහැ ගහගෙන හිටියා.. රාග, ද්වේශ සහ මෝහ.. කියන සිතුවිළි 10-15ක් වත් අඩුගානේ මට මාට්ටු.. 

මං එච්චර හොඳ නෑ.. බොලවු..

Sunday, September 14, 2014

එක්තරා කතාවක් 2..! කෙහෙල් ඇවරිය

එක්තරා කාන්තාවක් එක්තරා පළතුරු කඩේකට ගියේ කෙහෙල් ඇවරියක් මිළට ගන්නට ය.
ගනුදෙනුව අවසන් කරමින් ඇයට කෙහෙල් ඇවරිය පත්තර පිටුවක ඔතා දුන් එහි සිටි එක්තරා සේවකයෙක්  එම පත්තර පිටුවේ පිටුපස රාජ තේජසින් බබලන එක්තරා මහරජ කෙනෙක් ගේ පින්තූරය දැක මෙසේ කීවේය.

අක්කේ බලාගෙන .. පින්තූරෙ උනත් විශ්වාස නෑ.. කෙහෙල් ඇවරියත් කයි..!

Friday, September 12, 2014

එක්තරා කතාවක් 1 - ඒ බරත් අපට නෙ..

එක්තරා කතාවක්
එක්තරා පුද්ගලයෙක්..
එක්තරා දරුවෙක් හුරතල් කරමින් උඩ දමනු දුටු
තවත් එක්තරා පුද්ගලයෙක්..
ඔහොම කරන්ට එපා..
එක්තරා මහරජෙකුටත් ඉස්සර එක්තරා දූ කුමාරියක් ඉඳලා
උඩ දාන්ට ගිහිං වැටිලා මැරුණලු..
දන්නවා නේද කතාව.. යැයි ඇසීය..

අර සරම කැඩිලා ළමයා අතහැරුණු සංගදිය නේදැයි...
තවත් එක්තරා පුද්ගලයෙක් කතාවට සම්බන්ධ විය...

මෙය අසා සිටි එක්තරා කාන්තාවක්..
අනේ ඇත්තට වෙලාව තමයි නේද? අද හිටියානම්.. යැයි කියමින් සිය අත කම්මුලේ තබා ගත්තාය.

මඳ සිනහවක් නැඟූ එතැන සිටි තවත් එක්තරා පුද්ගලයෙක් මෙසේ පැවසුවේය..
අද හිටියානම්.. හප්පේ ඉතිං.. ඒ බරත් අපට නෙ..!

Thursday, September 11, 2014

කලකින් හමු වූ ජූලී

                     
බෙහෙත් ගන්ට කියා මාව නංවාගෙන රියේ
මහත්තයෙක් ළඟට යළිත් දක්කාගෙන ගියේ
පහත්වෙලා බලා මදෙස අත ගා හිස මයේ
යළිත් එන්න කියපි දෙකක් ඉන්ජැක්සොන් තියේ
  
බොන්ටනොවේ දෙන්නෙ බෙහෙත්, ඇඟට තදින් විදී
ඉන්ට හිටින්ටත් බැරි වී, බෙරිහන් දෙමිරිදී
කන්ට ගෙනෙමි පීස' එකක් හිටු බෙරිහන් නොදී
යන්ට යන ගමන් පැවසෙයි ඉවසුම මගෙ මදී
  
පෝලිමෙ පිටුපස ඉන්නා කෙනා දැකල' හුරුයි
වේලි වේලි ඉන්නෙ නමින් අඬ ගසනා තුරුයි
පාලි මොටද මගෙ ඇස් වල වදන් කෝසෙ සරුයි
ජූලි නේද මේ ඉන්නේ, ඈ මට සඳ හිරුයි
  
වැඩිය වෙලා නැති මුත් හනි හනික කතා කළා
නඩය අපේ සී සී කඩ ගිය බැවු සිහිකළා
වඩය නිසා වුණු රණ්ඩුව ගැන ඉඟි බිඟිකළා
කුඩය යටින් යන නෝනගෙ ගමන පමා කළා
  
සැමී, ලිසී දෙන්නම දැන් කොයිබද ඉන්නේ
නිකී, විකී මිය ගිය බව ළඟදිනෙදන්නේ
ෂැගී හරිම සැර, නැත කිසිවක් ඉවසන්නේ
දුගී වෙලා ඇති බව වික්ටර්පවසන්නේ
  
මතක් කළා කියන්න අපෙ යාළුවොදුටුවෝතින්
හිතක් මටත් හිතයි එන්න වටයක් ලැබුණෝතින්
නෙතක් දිදී ජූලිට මගෙ වලිගයවැනුවෝතින්
සෙතක් නොවනු ඇත ඇය මා සෙනෙහෙන්බැඳුණෝතින්
  
අමතක කර පරණ මතක සෙනෙහෙන් අපබැඳුණූ
මොහොතක සුවයම සොයනෙමි මෙදියත් තුළදරුණූ
අහසක එක ඉර ද සඳ ද පායයි විට හිතුණූ
පහසක මහ රසක් කොහිද හිතවත් කම බිඳුණූ
  

Wednesday, August 13, 2014

සුනිල් අන්නාසි වික්ක හැටි..

නිමල් අන්නාසි ව්‍යාපෘතියක් පටන් ගත්තේ මහත් බලාපොරොත්තු සහිතවය. ඔහු තම හිතවතුන් කිහිප දෙනෙකු ද හවුල් කරගෙන හොඳ අන්නාසි වර්ග කිහිපයක් හොඳ ඉඩ කඩක වගා කළේය. හොර බොරු නැතිව, වස විස නොයෙදූ අන්නාසි වගාව සරු වී අස්වනු නෙලන්නට පටන් ගත්තද, අන්නාසි වලට බලාපොරොත්තු වූ තරම් ඉල්ලුමක් නොමැති බැවු දැනගත් නිමල් මෙම ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට නම්.. හොඳ තැරැවුකරුවෙක් නොහොත් මාර්කටියර් කෙනෙක් අවශ්‍ය බැවු තේරුම් ගත්තේය. දක්ෂ නිර්මාණශීලී තරුණයෙකු මෙන්ම තමන් තරමක් හොඳින් දන්නා හඳුනන සුනිල් අභියෝගාත්මක රැකියාවක් හොයන බව ආරංචි වූ නිමල්, සුනිල් ඇමතුවේ.. සුනිල්ටත්, නිමල්ටත් දෙදෙනාට ම යහපතක් වනු ඇතැයි සිතමිනි..
ඉතාම මිත්‍රශීලීව නිමල් හා සුනිල් දෙදෙනා සිය අදහස් හුවමාරු කරගත්තේ මෙසේ ය..
නි: මල්ලි ඔයා රස්සාවක් හොයනවා කියලා ආරංචි වුණා.. ඔයා දැනට රස්සාවක් කරනවා නේද?

සු: ඔවු අයියා.. දැං සෑහෙන කාලෙක ඉඳං මං අහවල් තැන වැඩ කරන්නෙ.. පඩි නම් ටිකක් අඩුයි.. ඒ ඇරෙන්න එතනින් අයිං වෙන්න මට කිසිම හේතුවක් නෑ.. ඒත් මට හිතෙනවා මට මීට වඩා දෙයක් කරන්න පුළුවං කියලා..

නි: හොඳයි මල්ලි.. ඔයා දන්නවනෙ.. මං අන්නාසි ව්‍යාපාරයක් කරනවා.. හොඳ අන්නාසි වර්ග ටිකක් මගෙ ගාව තියෙනවා.. ඒත් මේක තව ටිකක් සමාජගත කරන්න ඕන කියලා මං හිතුවා.. මල්ලිට පුළුවන්.. මුලින් ඔයා කරන රස්සාව කරන ගමන් ම මගේ ව්‍යාපාරය ට උදවු කරලා.. වෙළඳාම සරු උනහම .. මගෙත් එක්ක ස්ථිරවම එකතු වෙන්න.. 

සු: අයියා කෙසෙල් වගා කරන්නෙ නැද්ද? අන්නාසි වලට වඩා දැං කෙසෙල් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා.. ආනමාළු, ඇම්බුං වගේ ඒවාටත් වඩා ඇඹුල්, සීනි විකුණන්න පුළුවන්.. ඒවා වගා කරන විදිහ අවශ්‍ය නම් මං කියලා දෙන්නම්..

නි: හොඳයි මල්ලි.. අපි දවසක හමු වෙලා කතා කරමුකො.. තෙරුවන් සරණයි..!

ප.ලි
ෂෝයි.. සංවාද පොඩ්ඩ නේද?

Tuesday, August 5, 2014

සුබ ගමන්..!

මං සමනොල කන්ද මුදුණින් ඉපැදුණේ මගේ උවමනාවට කියලා එහෙම හිතන්ට එපා.. 
මං පහලට ගලාගෙන ගියේ ඉහලට ගලන්ට මට ආසාවක් ඇති වුණේ නැති නිසා නොවෙයි.. අනෙක මං ගලපු පාර වුණත්.. මං ආසා කරපු පාර ම නෙවෙයි.. 
වංගු අතරින්.. ගල් වල වැදි වැදී.. මං ගියෙ දුෂ්කර ගමනක් විතරක් නෙවෙයි.. මට යන්ට කිසිම උවමනාවක් නොතිබුණු ගමනක්... 
ඒත් මිනිස්සු නම් කියන්නෙ.. එහෙම යනකොට මං හරි ලස්සනයි කියලා.. පහලට ගලං යන්ට යන්ට.. මං ලොකු උනා.. ශක්තිමත් උනා.. 
ඒත් මට.. මට ඕන දේ කරන්ට නම් ඉඩක් ලැබුණේම නැති තරම්.. 
ඔයාලා හිතනවද මට ඕන උනා කියලා.. අහිංසකයින්ගෙ ගෙවල් කඩලා දාන්න..? 
මට ම මාව පාලනය කරගන්ට බැරි වුණු නිසයි එහෙම දේවල් සිදු වුණේ.. 
තව තවත් දුරට යද්දි මගේ ගැඹුර සහ පළල දෙක ම වැඩි වුණා.. 
ඊළඟට මට ලුණු රහ දැනෙන්ට ගත්තා.. මං දැන ගත්තා මගේ ගමනාන්තය කිට්ටුයි කියලා.. 
මට හඬන්ට කඳුළු වත්.. හෙලන්ට සුසුම් වත් තිබුණෙ නෑ.. මං මගේ ගමන හමාර කළා.. 
දැං මට තියෙන්නෙ අලුත් තැනක්.. එතැනට කිවුවෙ මුහුද කියලා.. 
මට ආයෙමත් ගඟට එක්කාසු වෙන්ට නං කාලාන්තරයක් යයි.. 
ඒ අතර කොයි කොයි ඉසවු වලට යන්ට වෙයි ද? අනේ මංදා..!

ඔවු.. ඔයාට එක එක විදිහෙ තැන් වලට යන්ට වෙයි.. 

කැමැත්තෙන් හරි අකැමෙත්තෙන් හරි ඔයාට ඒ තැන් වලට යන්ට වෙනවා.. 
සමහර විට.. ලුණු ලේවායකට.. එතැනින් අහසට.. අහසින් පොළොවට.. පොළොව යටට.. ඇල, දොල, ගංගා.. ලිං, පොකුණු.. කක්කුස්සි, මඩ වගුරු.. තව කොච්චර තැං තියෙනවද? 
ඔයාට තිබුණා උත්සාහ කරන්ට.. ගඟ වෙලා උන්න කාලෙ.. මේ ගමන ඉවරයක් කරන්ට.. 

එහෙම කරන්ට පුළුවංය?

ඇයි බැරි..? ඒත් ඒකට අවස්ථාව එන්ට ඕන.. එහෙම කරන ක්‍රමය දැන ගන්ටත් ඕන.. ඔයා උත්සාහ කරන්ටත් ඕන..හරි පාරට වැටෙන්ටත් ඕන.. 

හපොයි.. එහෙනං ඒක කරන්ට බැරි දෙයක්..

නෑ.. කරපු අය ඉන්නවා.. විශ්වාසය අත්‍යවශ්‍යයි.. බාග විට ඔයාට ඉදිරියෙදි මඟ පෙන්වන්නෙක් හමු වෙන්ටත් පුළුවනි.. 


සුබ ගමන්..!

Friday, June 20, 2014

බැරිදා විග්‍රහය! කැමතිද එක්ව නැඟිටින්නට?

සතියක දෙකක ඉඳං අපේ රටට ආයෙමත් යුධ වාතාවරණයක් ඇති වෙලා වගේ දැනෙනවා.. හිතලා බැලුවොත්.. යුධ වාතාවරණයක් ඇති වුණා කියනවට වඩා ගැලපෙන්නෙ.. තිබුණු තත්වය පොඩ්ඩක් උග්‍ර උනා කියන එකයි.. මේ ගැන මාත් තැං තැං වල සුට්ට සුට්ට කතා කළා තමයි.. ඒත් මේ ටිකත් කියන්ටම ඕන ටිකක්..
ඔන්න අපි ඉගෙන ගත්තු ඉතිහාසයට අනුව.. අපි විජය රජ්ජුරුවන්ගෙ ආගමනයෙන් ඇති වුණු ජාතියක් ලු නෙ.. (එතකොට ඊට ඉස්සර හිටපු කට්ටියට මොකද උනේ කියන පස්නෙකුත් එනවා..) කොයි හැටි වෙතත්.. විජය රජ්ජුරුවොත් එක්ක මෙහෙ ආපු ඔළු ගානට වඩා ඔළු ගානක් මෙහෙ තියෙන්ට ඇතිනෙ.. ඉතිං ඔය දෙගොල්ල කලවං වෙවී.. කවලං වෙවී නෙ අපේ රටේ හෙළයො.. නොහොත් සිංහලයො හැදෙන්ට ඇත්තෙ.. එතකොට අපේ වැඩිපුර ඇත්තෙ උතුරු ඉන්දියාවෙ ජාන ද? නැත්නම්.. ආදි ලංකා වාසීන්ගෙ ජාන ද?
ක්‍රි.ව අට වැනි සියවසේ විතර තමයි අරාබි වෙළෙන්දො ටිකක් ලංකාවට ඇවිත් තියෙන්නෙ.. මේ අය සිංහල කාන්තාවො ඉස්ලාම් ආගමට හරවගෙන විවාහ කරගත්ත බවත්.. කියැවෙනවා.. පහලොස්වැනි සියවස වෙනකොට ආසියාකරයෙ මුස්ලිම් වෙළෙන්දො සෑහෙන බලයක් පතුරෝගෙන ඉඳලා තියෙනවා.. එහෙම වෙළඳාමට ආපු කස්ටිය තොග පිටින් ලංකාව ඇතුළු ආසියාතික රට වල පැලපදියම් වුණා විතරක් නෙවෙයි එයාලගෙ ආගම පතුරුවන්නත් වැඩ කටයුතු සිද්ධ කරලා තියෙනවා.. ඔය අවු අස්සෙ නෙ 16 වැනි සියවසේ පෘතුගීසි කාරයා මෙහෙට එන්නෙ.. කොහොම උනත් මෙයාලා.. රටේ අනෙක් වැසියො එක්ක බොහොම දක්ෂ විදිහට චාටුවෙන් තමන්ගෙ කර්තව්‍ය කරගෙන ගියා මිසක.. බල පුළුවන්කාරකම් පෙන්නන්න ගියේ නෑ.. මං කියන්න ගියෙ අරාබි රට වලින් ඇවිත් තියෙන්නෙ පිරිමි විතරයිනෙ.. එතකොට එයාලා කළවං උනෙත් කවලං උනෙත්.. ලංකාවෙ හිටපු හෙළ කාන්තාවො එක්ක නෙ.. ඊට පස්සෙ මෙයාලා ව්‍යාප්ත වෙන්ට වෙන්ට.. තව තවත් කවලං උනේ අපේ රටේ උන්නු අයත් එක්කමනෙ.. එතකොට මෙයාලගෙ වැඩිපුර තියෙන්නෙ කාගෙ ජාන ද?
එතකොට තවදුරටත් මෙයාලා මේ රටේ ආගන්තුකයො ද? මට නං එහෙම හිතෙන්නෙ නෑ.. මෙයාලා අපේ ම මිනිස්සු..
අපේ මුතුන්මිත්තො ඉන්දියාවෙන් ආවය කියලා.. අපි හිතන්නෙ නෑ .. අපේ මවු රට ඉන්දියාවයි කියලා.. අපිට මේක අපේ වගේ දැනෙනවා.. මේ ඉන්න මිනිස්සු හැමෝම (මුස්ලිම් හා දෙමළ ඇතුළුව).. අපේ වගේ දැනෙනවා.. අනේ ඒත්.. ඇයි මුස්ලිම් මිනිස්සුන්ට එහෙම දැනෙන්නෙ නැත්තේ.. එයාලාගෙන් වැඩි දෙනෙක් තාමත් එයාලගෙ මවු රට විදිහට සලකන්නෙ.. එක්කො අරාබිය.. නැත්නං.. පකිස්ථානය . එයාලා අපේ සංස්කෘතියට බද්ධ වෙනවා.. අනුගත වෙනවා වෙනුවට.. පකිස්ථානයේ හෝ අරාබියේ සංස්කෘතියක් මෙහෙ ස්ථාපිත කරන්ට හදනවා.. අපටත් එතකොට දැනෙන්ට ගන්නවා.. මුං පිට එවුං කියලා.. ඒක වරදක්ද?
ඇයි මුං ට හලාල් නැතුව කන්ට බොන්ට බැරි.. (අවුරුදු දහස් ගානක් පුළුවං උනු දේ අවුරුදු 10-15 ඉඳං තමයි බැරි..)
ඇයි මුන්ට සාමාන්‍ය විදිහට අඳින්ට පළඳින්ට බැරි.. (මීට අවුරුදු 10-15 කට කලිං ඇන්දා වගේ) නින්ජා කිට් එක මොකටද? උන්ගෙ ගැට්ට පෙන්නන්ට නෙවෙයි ද?
ඇයි.. මුං අඩියෙන් අඩියට පල්ලි හදන්නෙ..? ඇයි.. හදා ගත්ත පල්ලියෙ නිහඬව යාඥා කරලා එන්නෙ නැතුව.. මුළු රටටම ඇහෙන්ට අඳෝනා දෙන්නෙ ? මේ පෙන්නන්නෙ උන්නෙ ආධිපත්‍යය.. නෙවෙයිද?
ඇයි.. මුංගෙ කඩ වලිං අපි කිසි වෙනසක් නැතුව ගනු දෙනු කරද්දි.. මුං සිංහල, දෙමළ කඩ මඟ හැරලා උංගෙ කඩ වලටම රිංගන්නේ.. ? මේ පෙන්නන්නේ තමන්ගේ කුහක කම නොවෙයි ද?
කියන්ට කාරණා එමටයි.. ඔය විදිහට.. තමන් ලංකාවෙ කොටසක් වෙනවා වෙනුවට.. ලංකාව පකිස්ථානයක් නැත්නම්.. අරාබි රටක් කරන්ට හදන හිංදයි අපට අවුල්..
අරාබියෙන්.. ලංකාවට ආධාර කරනවාලු.. හැබැයි ඒ ආධාර සියළු ජන කොටස් වලට බෙදෙනවද? නෑ මුස්ලිම් අයට විතරයි..
ඉන්දියාවෙන් ආධාර කරනවාලු.. කාටද? දෙමළ අයට විතරයි..
සිංහල අයට විතරක් තෝරලා ආධාර කරන මොකක් හරි රටක් තියෙනවද? එහෙම එකක් නෑ..
ඒ ඔක්කොම ගියාවෙ.. අපි තාමත් කැමතියි.. එක රටක සහෝදරයො වගේ... එක ජාතියක් වගේ ජීවත් වෙන්ට..
උඹලා කවදාවත් කැමති වෙයිද?

එක රට තුළ ම බෙදි බෙදි දවසින් .....දවස
දුක අප බැඳෙන එක සසරට එක .....විළස
රැක ගත යුතුය දිවයින මෙම මතු නොලස
අක මැති නොවී එලපන් සාමයෙ ...පළස

ප.ලි.
සර්වාගමික, සර්ව ජාතික උමතුවෙන් බෙරිහන් දෙන මහත් වූ බුද්ධිමතුන්ටත් මේ ටික වැටහේවා...

Friday, June 13, 2014

සිතාරා -1

මට මතකයි.. ඒ කාලකන්නි හැන්දෑව. ප්‍රියංගිත් මාත් අත් පටලගෙන ආවෙ කවි මඩුවක සුන්දර අසිරිය විඳින්ට හිතාන. මටත් කවි කියන්ට ආරාධනා ලැබුණනෙ. ප්‍රියංගි කොහොමටත් මගේ රසිකාවියක්. වැඩේ නැගලා ගියා... ඉතා උණුසුම් සංවාදයක්.. සිතාරා.. මට වඩා දෑවුරුද්දක් බාල වුණත්.. ඈ.. හරි අපූරුවට මගෙත් එක්ක වාද කළා.. මටත් නොදැනීම.. මගේ මුවින් මෙවන් කවියක් පිටවුණා..

කවුරුන් කොහොම වැවුවත් මල්, මල් ...........වත්තේ
බමරුන් නොවෙද ලද මොහොතෙදි රොන් ....ගත්තේ
තිසරුන් රඟන මානස විල .......................ඉස්මත්තේ
පැවරුන් නියම ලෙස මම කරලයි .................ඇත්තේ

හොපොයි.. කට.. සිතාරට කට උත්තරත් නෑ.. අනේ ඒකි වේදිකාවෙන් බැහැලා ගියා අඬාගෙන.. ප්‍රියංගි.. එයත් අඬන්න පටං ගත්තා.. 

එදා දවස නිමා උනා.. ප්‍රියංගි.. දැඩි ලෙස මාව ප්‍රතික්ෂේප කළා.. මට දැනුණ හිත් වේදනාව නං එසේ මෙසේ එකක් නෙවෙයි.. මං ප්‍රියංගිට කොයි තරම් ආදරය කළා ද? කොයි තරම් අපේ අනාගතය ගැන සිහින මැවුවද? 

සුමේධ.. බාගෙකුත් අරං කාමරේට සැට් වුණේ මගෙ දුක නිවන්ට..

මචං.. මාර කේස් එක නේද? අරකි ඇඬුවෙ නැත්තං වැඩේ ඔච්චර දුර දිග යන්නෙ නෑ මචං.. දැං ඉතිං උඹට තියෙන්නෙ ඒකිට සෙට් වෙන්ට.. 


උඹට පිස්සුද බං? මට මුගේ කතාවට තියෙන කේන්තිය තවත් වැඩි වුණා.. විහිළු නෙවෙයි බං.. ඒකි ප්‍රියංගිට වඩා ලස්සනයි.. උඹටම හරියන්ට කවිකමත් තියෙනවා.. ඔක්කොටමත් වැඩිය.. උඹට ප්‍රියංගිව නැතිවුණේ ඒකි හින්දනෙ..

ඔවු බං ඒ කතාවත් ඇත්ත.. ඒත් ඒකි කැමති වෙයිද?

.... මතු සම්බන්ධයි..

Thursday, May 29, 2014

බැරිදා විග්‍රහය..! පිරිමි සංගම් නැත්තේ ඇයි... ?

මේ ලිපිය ලියන්න පාදක වුණේ ටික දවසකට කලින් බස් රථයක සිදු වුණු සිද්ධි කිහිපයක්.. ඔන්න ඉතිං මං ගෙදර යන්ට කියලා කොළඹ - අවිස්සාවේල්ල පුද්ගලික බස් රථයකට නැංගා කියමුකො. බස් එකේ ප්‍රමාණයට වැඩියම නොවුණත්.. එකිනෙකා තෙරපෙන්න තරමට සෙනඟ. 

හෝමාගම හරියෙදි ඉඳගෙන හිටපු අවුරුදු 45 පැනපු ගෑණු කෙනෙක් ඒ අසලම හිටගෙන හිටපු තරුණයෙකුට බණිනවා ඇහුණා.. ඒ ගැහැණියට ඉස්සරහින් ඉඳගෙන හිටපු තරුණයෙකුත් නැගිටලා අර තරුණයට බැන්න බව පෙනුනා. පිටිපන හරියෙදි අදාල තරුණයා බස් එකෙන් බැහැලා ගියා.  ඊට පස්සෙ එතනම හිටපු තරමක් වයසක පිරිමියෙකුත්..තවත් තරුණයෙකුත් අර කාන්තාවත් ඉඳගෙන හිටපු තරුණයාත් මොනවද කතා වුණා... දැක්කා.. "අපිට ඒ වෙලාවෙ කියන්න එපෑ. එහෙමනම් අල්ලලා පොලීසියට බාර දෙනවනේ"  කියලා අර වයසක පිරිමි කෙනා කියනවා ඇහුණා.. 

පාසැල් නිල ඇඳුම ඇඳගත්තු ගැහැණු දරුවෙක් ඔය බස් එකට නැංගා.. මං හිතන්නෙ හෝමගම හරියෙදි වෙන්ට ඇති. කොහොම හරි මේ දරුවට අල්ලගන්ට අයිනක් තිබුණෙ නෑ.. හරිම අපහසුවෙන් ඉන්න බව පෙනුණත් කවුරුවත් පොඩි ඉඩක් දෙන්න ඉදිරිපත් වුණෙත් නෑ.. ටික ටික සෙනඟ අඩු වෙද්දි මීගොඩ හරියෙදි.. මට ලැබුණු අයින කතා කරලා ඒ ළමයට දුන්නෙ වින්ද අපහසුතාවය දැක්ක නිසා..

පහත්ගම හරියට එද්දි මටත් සීට් එකක් ලැබුණා.. කලු අග්ගල හරියෙදි මට එහාපැත්තෙ සීට් එකත් හිස් වුණාම .. එතැන ඉඳගත්තෙ.. අර මුලින් කියපු වයසක පිරිමි කෙනා.. එයා මගෙත් එක්ක කතාවට වැටුණා..."මේ බස් වල පුතා පුදුම අසාධාරණකම් වෙන්නෙ. අර අතන සීට් එකේ වාඩි වෙලා හිටපු ගෑණි කොල්ලෙක් ඇඟට හේත්තු වුණා කියලා ඒ කොල්ලට හොඳටම බැන්නා. ඊට ඉස්සරහ සීට් එකේ හිටියෙ එයාගෙ පුතෙක් හරි කවුරු හරි.. මිනිහත් ඒකට බැන්නා.. අන්තිමේ අර කොල්ලා යන ගමන නවත්තලා බැහැලා ගියා.. මේ බස් වල තියෙන තදබදෙත් එක්ක ඇඟේ ගෑවෙන්නෙ නැතුව යන්න හරි අමාරුයි. මම නං කොහොම හරි නැග්ග ගමන් පිරිමියෙක් ගාවට යනවා.. මොනවා උනත් ආත්ම ගෞරවය ඔක්කොටම වඩා වටිනවනෙ.." මගේ හූ මිටි අස්සෙ මේ මහත්තයා කියෝගෙන යනවා..
"සමහර විට ඌ ඇත්තටම හේත්තු වුණා වෙන්නත් ඇති.. එහෙමනම් ඒක කියන විදිහක් තියෙනවනෙ.. මල්ලි පොඩ්ඩක් එහාට වෙලා ඉන්න කිවුවා නම් හරි නෙ.. කොල්ලා බැහැලා ගියාට පස්සෙ මං කිවුවා ඔහොම තමයි බස් වල යනකොට තෙරපෙනවා... කියලා.. එතකොට මේ ගෑණි කියනවා ඌ සිපර් එක ඇරගෙන හිටියලු.. එහෙම නම් එවෙලෙ කියන්න තිබුණනෙ..එහෙම කිවුවා නම් අපි අල්ලලා පොලීසියට බාර දෙනවනෙ.. මේ ගෑණිගෙ කතාවෙ හැටියට මට නං සුවර් මේකි පට්ට **යක්.. ඔය වගේ කතා කිවුවම අපේ පිරිමිත් හොයන්නෙ බලන්නෙ නැතිව ගෑණිගෙ පැත්ත අරගන්නවා.. මං නං කවදාවත් ගෑණියෙකුට සීට් එකක්වත් දෙන්නෙ නෑ.. ළඟ ගෑණියෙක් හිටියොත් බහිනකොට පිරිමියෙකුට කතා කරලා සීට් එක දීලා යනවා.. මගෙ අම්මත් ගෑණියෙක් තමයි.. ඒ වුණත් මේවයෙ යන්නෙ වැඩි හරියක් **යො. අපේ ඇඟට ගෑණු කොච්චර හේත්තු වෙනවද? ඒවට අපි ඔහොම බැන්නොත් කොහොම තියෙයිද?  මං නං ගෑණියෙක්ගෙ බෑග් එකක්වත් ගන්නෙ නෑ. දාන්න කියනවා උඩ තියෙන රැක් එකෙන්.. හිටපු ගමං අපට පිරිමින්ගෙනුත් කරදර වෙනවා.. හොඳ රස්සාවල් කරන හොඳට ඇඳ පැළඳගත්තු අය ඇවිත් හේත්තු වෙනවා.. එහෙන් මෙහෙන් අල්ලනවා.. හැබැයි හොඳින් කිවුවාම ආයෙ එන්නෙ නෑ.. පිරිමි අපට වෙන අසාධාරණකම් ගැන කතා කරන්න කවුරුත් නෑ.. මට නම් තියෙන්නෙ හරිම කලකිරීමක්"

කලින් ලිපියකත්  මං ඔය වගේ අපට විඳින්න වෙන කරදර ගැන පොඩියක් කතා කළා.... ඇත්තටම මේ සමාජයේ පිරිමි අපටත් හරියට අසාධාරණකම් වෙනවා.. ඒක නිසා කාන්තාවො හිංසනයට ලක් විය යුතු නෑ..  ඒත් මීට වැඩිය අවබෝධයකින් හා අවධානයකින් හැමදෙනාම කටයුතු කළ යුතුයි කියලයි මට හිතෙන්නෙ.. නං නැතුවට පිරිමි සංගම් නං ඕන තරං .. නැද්ද මං අහන්නෙ..? වඩේ එකයි .. ගල් බෝතලෙයි තමයි ආයුදේ....:D


Wednesday, April 23, 2014

බැරිදා විග්‍රහය !අපිත් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නු මිනිස්සු..

අපිත් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නු මිනිස්සු..! ඇයි අපට මෙහෙම කරන්නෙ..? පොලීසියෙන් බැට කා ඔලුව පලාගත් පුද්ගලයා අසන්නේ මහත් සංවේගයෙනි.. ඔහුට පහරදීම වැරදි බව අමුතුවෙන් කිව යුතු නැත. මා මේ කතා කරන්නේ ඒ ගැන නොවේ.. 

ඔහු ආණ්ඩුවට ඡන්දය දීම නිසා ඔහුට විශේෂ වරප්‍රසාදයක් ඇති බවක් ඔහුගේ කතාවෙන් ගම්‍ය වීම ගැනයි.. ආණ්ඩුවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය දුන්නත්, ඡන්දය කටු ගෑවත්, ඡන්දය නොදා ගෙදර හිටියත්.. අප සැවොම එක සමානව නිකරුණේ ගුටි නොකන්නට අයිතිය ඇත්තෝ වෙමු.. මේ තිබෙන්නේ පොදු පෙරමුණු කාරයාගේ ආණ්ඩුවක් හෝ යූ ඇන් පී කාරයාගේ ආණ්ඩුවක් නොව සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ ම ආණ්ඩුවක් බව පාලකයෝත්.. ජනතාවත් තේරුම් ගන්නා තාක්.. මේ බලකාමය.. මේ ම්ලේඡ්ඡත්වය.. මේ තුඡ්ඡ බව කෙළවර නොවනු ඇත..

Sunday, April 20, 2014

සයිබර් අවුරුදු උළෙල - 2014 - මේ පාර නම් යනවා..


බැරිවුණි එන්න සයිබර් උළෙලට     පෙරදී
දුකකිණි අත්හැරියෙ කාලයෙ අණ     පරිදි
මොකටද කතා දුරු කර ලමු පෙර      වැරදි
නැඟ ගමි හැකි විගස දඬුමොණරෙට බර දී

අකුරක හැඩය හරි හැටියට දැන        ගන්න
බල බල හැඩ ද වැඩ රස ලොව   පිහිනන්න
තුඩ තුඩ සතුට රැවු පිළිරැවු            පතුරන්න
අද එමි මොහොතකට හෝ ඔබ දැක ගන්න