Friday, September 28, 2012

පුංචි පුතුට ලෝකයක්..


මගෙ පුතේ..
උඹට හෙට ලෝකයක් තියෙයිද කියලා මං දන්නෙ නෑ... මං වෙහෙසෙන්නේ උඹට ලෝකයක් හදලා දෙන්ට නෙවෙයි, ලෝකයක් තිබුණොත්.. එහි ජීවත් වෙන හැටි උඹට කියලා දෙන්ටයි..

අතේ සතේ නැති වුණත්.. අනුන්ට කරදරයක් වෙන්නෙ නැතිව, 
ලොකු ලොක්කො හඳුනනවා උනත් පොඩි එකා අමතක කරන්නෙ නැතිව, 
පිරිමි හැම එකාම වගේ වැරදි කළාට එහෙම කරන්ට හිතන්නෙවත් නැතිව, 
මුළු ලෝකෙම තමන්ට වෛර කරනවා කියලා දැනුණත්.. ඒ කාටවත් වෛර කරන්නෙ නැතිව,
කාට හරි දුකක් කරදරයක් වුණාම.. අනේ අපොයි කියලා හෙමීට මාරු වෙන්නෙ නැතිව, 
ජීවත් වීමේ අරමුණ.. සල්ලි වලට වත්.. මත්ද්‍රව්‍ය වලටවත්.. සූදුවටවත් උකස් කරන්නෙ නැතිව,
තමන්ගෙන් සමාජයට විය යුතු දෑ නොසිතා.. සමාජයෙන් තමාට හිමිවිය යුතු දෑ හොයන්නේ නැතිව ජීවත් වෙන්නෙ කොහොමද කියලා ඔබට කියාදෙන එක ලේසි නැති වෙයි.. 

ඒත්..

අලුත් වෙන ලෝකයේ.. අලුත් අලුත් ප්‍රවණතාත් එක්ක.. අලුත් විදිහෙ යාළුවොත් එක්ක උඹ අලුත් මිනිහෙක් වෙයි.. කාලයක් ගිහිං හරි.. උඹ අලුතිං මොනවා හරි හොයා ගනියි..ඊටත් පස්සෙ ඒ අලුත් දේ උඹ හිතන තරං අලුත් නෑ කියලා උඹට තේරෙයි.. 

පුතේ..

උඹ අලුත් වෙන එකට මං එපා කියන්නේ නෑ.. පුළුවන් නං අලුත් වෙන්න කළියෙං හිතපං .. උඹ අලුත් වෙන්න ඕන ඇයි කියලා.. උඹේ අප්පච්චි අලුත් උනේ නැත්තෙ ඇයි කියලා..කොච්චර අලුත් උනත් කමක් නෑ.. මනුස්සකම අමතක වෙච්ච මිනිහෙක් වෙන්න එපා.. මනුස්සකම තියෙන අන්තිම එකා උඹ උනත්.. උඹ මැරෙණකං වත් මනුස්සකම රැකහං..  

මේ අහපං..

මිනිස්සු කියන්නේ හෝමෝ සේපියන් කියන යන්තරයට නෙවෙයි.. උන්ට හිතක් පපුවක් තියෙනවා.. දුක.. සතුට දැනෙනවා.. උන්ට විළිසංගෙ තියෙනවා.. බොරු කියන්ට ලැජ්ජයි.. මිනී මරන්ට ලැජ්ජයි.. සූදු කෙළින්ට ලැජ්ජයි.. කොටිංම.. පවු කරන්ට ලැජ්ජයි.. ලැජ්ජයි විතරක් නෙවෙයි.. බයයි.. 

මං දන්නවා..

හෙට ලෝකයක් තිවුණොත්.. උඹට මාව තේරුං ගන්ට පුළුහං උනොත්.. බුදුංගෙ සරණිං.. මගේ පුතාට මිනිහෙක් වගේ පොළවේ.. පය ගහලා ඉන්ට පුළුහං වෙයි..

පුතුනි නොදනිම්
තිබේදැයි හෙට
නුඹට ඉන්නට 
ලෝකයක්..
එසේ තිබුණොත්
බලං ඉන්නෙමි
නුඹෙන් මම
මිනිසත් කමක්..
පුතේ දවසක
හිතට දැනුණත්
ලොවේ නුඹ 


අසරණ බවක්..
හිතේ දිරි ගෙන
දරා ඉනු මැන
නොදෙනු මට
අවමානයක්..




Thursday, September 20, 2012

මරණය කලිං දැනෙනවාද..?

මෙය මට විටින් විට ඇසූ කතා නිසා ඇතිවූ ප්‍රශ්නයකි..

මීට අවුරුදු එක හමාරකට පමණ පෙර දවසක.. අපි අපේ ඥාතියෙකු අසනීප වී සිටි නිසා ඔහු බැලීමටම වඩා සිංහල අලුත් අවුරුදු කාලෙට යන අවුරුදු ගමනක් ලෙසින් ඔහුගේ නිවහනට ගොඩ වීමු... ඔහුව රෝහලට ගෙන යන ලෙස ඔහු අපට බැගෑපත් විය.. එහෙත් ඔහුගේ දූ දරුවන් කීවේ.. මීට පෙරත් ඔහු නිතරම එසේ කියන බවත්.. ඔවුන් එසේ රෝහල ට රැගෙන ගිය විට පහුවදා ටිකට් කපන බවත්.. මෙය මොහුගේ හිතේ ලෙඩක් බවත්ය.. එනිසා ඔහුට ඇහුම්කන් නොදෙන ලෙස අපට අවවාද ලැබිණි.. පහුවදා කැළණි පන්සලට යන්නට අවශ්‍ය බව ඔහු කියා තිබේ.. ඔය තරම් අමාරුනම් යන්නේ කොහොමදැයි ඇසූ විට ඔහු තනිවම දෙපයින් සිටගෙන ඔහුට ගමන යා හැකි බව පවසා ඇත.. එහෙයින්ම ඔහුගේ දරුවෝ.. ඔහුව කැළණි පන්සල කරා රැගෙන ගියෝය.. වාහනයේ සිටම කැළණියට නමස්කාර කර ඇති හේ, මේ බුදුන් වැඩි තැනක් නේදැයි පවසා ඇත්තේ ඉතා සතුටිනි.. කැළණි ගොස් ගෙදර ආවේ ඔහුගේ මළ කඳය.. ඔහුට මරණය දැනුණාදැයි විටෙක අපට සිතුණි..

අපේ අප්පච්චි මට මතක කාලයේ සිට.. වයස 49 පසු කරන තෙක්ම.. ඔහු 49න් මිය යන බව තරයේ විශ්වාස කළේය.. එය ඔහු හැම තැනකදීම වාගේ කීවේය.. එයට තිබුණු එකම පදනම ඔහුගේ පියා (අපේ සීයා) වයස 49දී මිය යාමයි.. ඊට පසු ඔහුගේ බාල සොහොයුරෙකු හා සොයුරියක ද ඒ වයස ආසන්නයේදී මිය ගියෝය.. එහෙත් තෙරුවන් සරණින් අප්පච්චීට දැන් වයස 69කි.. ඔහු නිතරම මරණය මෙනෙහි කරන නිසා මරණය ඔහු අසලට ඉක්මණින් නොඑන බව ඇතැමුන් කියනු මම අසා ඇත්තෙමි..

මම ද අවුරුදු 55 ආසන්නයේ දී මිය යනු ඇතැයි මට නිතරම සිතේ.. මගේ ජීවිතේ බොහෝ දෑ සැලසුම් වෙද්දී.. එම අනුමාන වයස යොදන්නට මම අමතක නොකරමි..එම වයස වන විට.. මගේ දුව හා පුතු අවුරුදු 20 ඉක්මවා සිටින බව සිතීමෙන්ම මම සැහැල්ලුවක් ලබමි.. බොහෝ දෙනෙකු මොටෝ සයිකලය පදින්නට එපා කීවත්.. දැන්ම මා නොමැරෙන බවට ඇති විශ්වාසය මත එම අදහස ඉවත දමමි.. ඒ සිතුවිල්ලට කිසිම පදනමක් නැති වුණත්.. මට දැනෙන දේ මම විශ්වාස කරමි..


මරණය ඉතා ආසන්න බව දැනුණාදෝයි හිතෙන.. අපූරු බ්ලොග් පෝස්ටුවක් දිටිමි.. මෙය ඔබ බොහෝ දෙනා දැක තිබෙන්නට පුළුවන.. එහෙත් එසේ නොදැක්කේ නම් නොවරදවාම ගිහිං බලන්න.. එය මිය යන්නට දින 4කට කලිං මරණය සිහි කරමින් පෝස්ටුවක්  ලියූ කුමුදු පිංතු මහතාගේ තම තම නැණ පමණින් බ්ලොගයයි..

"අපේ ගෙදර ඉස්සෙල්ලාම නැති වුණේ අම්ම. අම්ම තාත්තට වැඩිය වැඩිමල්. ඊළඟට තාත්ත ගියා. පොතේ හැටියට ඊළඟට යන්න තියෙනෙ මට. ඉතින් මගෙ වාරෙ එනකම් ඊළඟ වාරෙ මගෙ කියල මතක් වෙන්නත් එක්ක මිනී මල් වැවුවහම මක් වෙනවද ?"
මේ එම බ්ලොග් ලිපියේ අගට එතුමා එකතු කරලා තිබුණු වදන්.. පුදුමයි නේද?


Wednesday, September 19, 2012

෴෴මා නැඟි කන්ද අහවර බව මට තේරේ෴෴



දෙනෙතින් කඳුළු, මුවඟින් මදහස -----------බේරේ
සිත් මල ඔකඳ වී දරු සෙනෙහස ------------මේරේ
මනමාලියක වී දියණිය ගිය ------------------පාරේ
මා නැඟි කන්ද අහවර බව මට ------------- තේරේ

නුඹෙ නව සොඳුරු නිවහන වෙත පිය -------මනින
දිනයෙදි සුදු දුවේ තව සුරතල් --------------වෙමින
මුදවා කඳුළු යළි නිසි සිහියට -------------- පැමිණ
නොලසා අසනු මැන පිය හිමි බස ---------සොඳින

ඔහු මව දකිනු නුඹ මවටත් වැඩිය --------- පෙමින්
දින දින ඔහු පතන විළසට පුරුදු -----------වෙමින්
නොදොඩනු මැනවි උරණව කිසි කලෙක- නොමින්
සැනසෙනු උරුම සෙනෙහස දරු කැළට --- දෙමින්

තරහා නොවෙමි නාවට මා --------------බලන්නට
කිසිදා නො එමි අයිතිය ගැන ----------- කියන්නට
මතුදා දිනෙක ඉස්සර මා ---------------මියෙන්නට
සිරිපා පුදනු මවගේ පවු -------------- ගෙවෙන්නට

Monday, September 17, 2012

තමන් කවුරුද සොයනු මැනවී..

කිසිවක් නොදන්නා
මහදැනමුත්තො ඉන්නා
පචම හලමින්නා
මුළු රටම පටලවාලන්නා

අනුනට වද දිදී
තම සුවයටම බරදී
කාටත් ඉඩ නොදී
කරයි හැමවිට වැඩම වැරදී

දහමට ගරහනා
පස් පවු නිබඳ කරනා
සැමට දොස් නඟනා
තවත් අය වෙති මෙලොව සරනා

ගුණදම් සුරකිනා
මිනිසත් දහම රකිනා
සැමසිත් පහදනා
සුසිත් මිනිසුන් එමට වෙසෙනා

තමන් දන්නා දේ
සැමට නිති පහදා දේ
යුතුකම් වල බැඳේ
එවන් මිනිසුන් ලොවට සුවදේ

කියවා මෙම කවී
මා හා නොම තරහ වී
සිතා පසෙකට වී
තමා කවුරුද සොයනු මැනවී..


Saturday, September 15, 2012

බැරිදා විග්‍රහය..! පජාතන්තරවාදය හා සද්ද දූසනය..

ලංකා දීපය ගැන කතා කළොත්.. මෙහෙ තියෙන්නේ පජාතන්තරවාදී, සමාජවාදී ජනරජයකි.. අනේ ඒ වුණාට.. හැම තැනම ඕක උල්ලංගනය වෙයි.. මට තේරෙන හැටියට පජාතන්තරවාදය කියලා කියන්නේ.. අනික් එවුන්ට කරදරයක් නොවෙන්ට ඉන්න එකටයි.. ඒත් ඉතිං .. අනික් එවුන්ට කරදරයක් නොවෙන්ට ඉන්නේ කීයෙන් කී දෙනාද..? මිනිස්සුන්ට හපං නොවැ අද ආගමික ඉස්තාන..

අපේ බුද්දාගමේ පංසල් වල උදේට කණ පැළෙන්ට පිරිත් දානවා.. හැන්දෑවට කණ පැළෙන්ට බෝදි පූජා තියනවා.. ඒ විතරක් නම් මදෑ.. සමහර කාල වල දවල් තිස්සෙත් පිරිත් දානවා රටටම ඇහෙන්ට..

ඇයි මේ බුද්දාගමේ අපටම එපා වෙන දේවල් කරන්නේ.. පංසලක නම් පංසලක වපසරිය ඇතුලෙ විතරක් ඇහෙන්ට නොදා යකඩ කටිං මුළු ලෝකෙටම කියන්ට ගිහිං පිරිත හෑල්ලු කරන්නේ ඇයි..?

දවසක් මගේ අප්පච්චිත් එක්ක ඉස්පිරිතාලෙට ගිහිං එන අතරේ බස් එකට නගින්ට කියලා ටවුන්හෝල් එක ඉස්සරහා බලං හිටියා.. කන් දෙකේ ගහන්න ඇබ දෙකක් නොගෙනාපු මෝඩකම් කියලා හිතුණා.. එතන තිබුණු මුස්ලිම් පල්ලියක එයාලගේ ආගම සිහිකරණ වාක්‍ය වගයක් මහ හඬින් කියන්න ගත්තා..

සතුටුයි කියන්න.. හින්දු ආගමිකයන්ගෙන් මෙහෙම අනික් අයට මෙහෙම හිරිහැර වෙනවා මම දැකලා නෑ.. එයාලගෙ චාරිත්‍රානුකූල පෙරහැරවල්, අවුරුදු කාලෙට ගෙන් ගෙට එන (කාමං කුත්තු) කුඩා කණ්ඩායම් වලින් වුණත් අනික් අයට වෙන කරදරය අවමයි..

ඒත් අපේ පෙරහැරවල් පාරවල් වහගෙන හැතැක්ම ගනං වාහන පෝලිං හැදෙන විදිහට නොවැ තියෙන්නේ..


සද්ද දූසනය කියලා කියන්නෙත් අර උඩිං කියපු  දේවල් වලටමයි නේද? ඔන්න ඉතිං කියාවි.. පිරිතෙන් සද්ද දූසනය වෙන්නෙ නෑ.. ඒක හොඳ මිහිරි සද්දයක්ය කියලා.. ඒක කෙසේ වෙතත්.. ඒ මිහිරි සද්දය උනත්.. අහන්න තීරණය කරන අයට, එසේ තීරණය කරන වෙලාවට විතරක් අහන්ට තිබුණොත් තමයි හොඳ..

Friday, September 14, 2012

භව ගමනක සිහිනය (4)


තුන්වැනි කොටසට

ඊයෙ මං මහ අමුතු හීනයක් දැක්කනේ..
කුස්සියේ උය උයා උන්නු මගේ අම්මයි, බිරිඳයි හා කතාවට වැටෙමින් මං කිවුවා..
***************************************************************

ඕක භව දෙක තුනක කතාවක් වගේ.. නේද?
අතීතය මතක් වෙනවද දන්නෙ නෑ..
එතකොට පුතා පෙර ආත්මෙ ඉඳං අපිත් එක්ක ඉන්න කෙනෙක් නෙවෙයිද?
කෙල්ලට මොකක් හරි නරකක් වෙයිද දන්නෑ..

ඔය ආකාරයටයි.. මගේ බිරිඳගේ ප්‍රතිචාර..

අපේ ආච්චි නං ... නැගිට්ට ගමං.. රෙද්දකිං ඔලුව වහගෙන කාටවත් නොපෙනෙන්න ගිහිං පැඟිරි ගහකට හීනය කියනවා..

ඒ අපේ අම්මගේ ප්‍රතිචාරය..

***************************************************************
ඇත්තටම  මට පරණ භව වල මතකයක් ආවද..?
මගේ හිතේ තිබුණු දේවල් ම හීනයක් විදිහට පෙනුණද?
නිකම්ම නිකං හීනයක් විතරද?

මගේ දුව.. පෙර ආත්මෙ තංගමනී ද..? එහෙම වෙන්නත් පුළුවන්..
එතකොට සූරිය ආරච්චි මහත්තයා දීපු පණිවුඩේ....!
හිතට මුලා වෙන්න එපා.. ඒක හුඟක් වැදගත් උපදෙසක්.. විශේෂයෙන් තමන් යම් යම් දේ වලින් ආවරණය වෙලා තියෙන වෙලාවට.. උමඟෙන් සංඛේතවත් කළේ.. අපේ හිතද..? නැත්නම් සිතුව්ලි ද? තීන්දු තීරණ ද?..
සූරිය ආරච්චි මහත්තයා එක එක චරිත වලින් මතු වුණේ ඇයි..? මුල් චරිත දෙකේ උසස් මට්ටමේ ජීවිත ගෙවූ ඔහු අවසන් චරිතයේ.. දුර්වල චරිතයක් වුණේ ඇයි.. ? එතනින් පෙනෙන්නේ... මොන වගේ දෙයක් ද..? භවයේ සැරි සරද්දී.. චරිත වලට වන වෙනස ද?

මේ වගේ අදහස් ගනණාවක් මගේ හිතේ ඇති වුණා..

මං තීරණය කළා මේක ඔබ හමුවේ තියන්න..

***************************************************************
හීනේ කියන්න පටං ගත්ත ගමං

හුඟක් අයට ප්‍රශ්නයක් උනේ උමඟ.. DDT මල්ලිට තමයි වැඩියෙන්ම එහෙම උනේ..
අපේ.. හිරුයි, හිරු හිමාවියි නං.. අනේ මන්දා.. අනේ මන්දා.. කිය කියා අහගෙන හිටියා.. චන්දි අක්කට ගල්කිස්සෙ පාලමක් මතක් වුණත්.. සූරිය ආරච්චි මහත්තයාගේ අවවාදය ගැන නම් මොනවා හරි තේරුණා වගෙයි පෙනුණේ.. දුකාටත් උමඟ ගැන තමයි අවුල ඇවිත් තියෙන්නේ..
කතාවේ මැද හරියට එද්දී

DDT මල්ලිට.. කතාව ලහිරු පෙරේරාගේ සිංදුවක් තරම් රසවත්ව දැනෙන්න ගත්තා....
මාතලන්ට නං රසයක් දැනිලා තිබුණා..

හීනේ ඉවර වුණාම..
DDT මල්ලිට හරි සතුටක් දැනුණා.. මට හීනෙන්ම පිස්සු නොහැදුණු එක ගැන..
හසිත ගෙයි හිරු ගෙයි ඔළුව මඤ්ඤං වුණු බවකුයි පේන්න තිබුණේ..
හිරු හිමාවියි, යසිරුයි  දෙන්නා කතාව රස වින්ද බවකුයි... පෙනුණේ..

නිමි..

ප.ලි.
මේක ඇත්තටම මං දැක්ක හීනයක්.. කතාවට පුංච්.. පුංචි වෙනස් කම් ටිකක් කළා..



Wednesday, September 12, 2012

භව ගමනක සිහිනය (3)



දෙවැනි කොටසට

ආයෙමත් හැන්දෑවක.. මං මගේ බිරිඳයි මගේ දුවයි එක්ක ඇවිදින්ට යනවා.. ඒක ටිකක් පාළු, ගුරු පාරක්.. රබර් ගස් පාර දෙපැත්තෙන්.. දන්න අඳුනන කෙනෙක් ඉස්සරහට එනවා..

ආ.. මොහොමඩ්.. කොහොමද? මොකද ඔය කට ඉදිමිලා..

මොකද දන්නෙ නේ.. මාතියා.. වෙද මාතියා ඉන්ජෙක්ෂන් එක තමා ගානවා කීවා..

ඉන්ජෙක්ෂන්..!

හොඳයි.. අපි ගිහිං එන්නම්..

වෙද මහත්තුරු ඉන්ජෙක්ෂන් ගහනවද? මගේ පුංචි දුවගෙන් ප්‍රශ්නයක්..
හ්ම්.. දැං ඉන්නවනේ ඉංග්‍රීසි වෙදකමත් දන්න වෙද මහත්තුරු.. එහෙම කෙනෙක් වෙන්න ඇති..

ආයෙත් අර උමඟ..

මොහොමඩ්ගෙ මූණ මට ආයෙත් මැවිලා පෙනුණා.. සූරිය ආරච්චි මහත්තයා.. ඒ මොහොමඩ්ම නේද?

මතකද අපි තුන් දෙනා ජීප් එකක නැඟලා මෙතැනින් ගියා.. අප්පච්චි තමයි ජීප් එක එලෙවුවෙ.. අම්මා මේ පැත්තෙ වාඩි වෙලා ගියා.. පුංචි කෙල්ල තොර තෝංචියක් නැතුව කියවනවා..

සූරිය ආරච්චි මහත්තයාගෙ අවවාදය..

මොනවද මේ විකාර කියවන්නෙ.. ඕක නවත්තන්න .. පොඩි එකීට මගෙන් අණක්..

මොන අණ ද.. කෙල්ල දැං බඩ අල්ලගෙන හිනා වෙනවා.. ආයෙමත් අඬනවා.. හූ කියනවා.. මට හීං දාඩිය දැම්මා.. ඇයි මට මුලින්ම දුවව නවත්තන්න බැරි වුණේ.. මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා... කෙල්ල පරල වෙලා..
දුවේ.. දුවේ.. චූටි දුවේ..
අනේ මගෙ දුවේ.. මගෙ බිරිඳත් විළාප තියන්න ගත්තා..

මගෙත් හදවත නවතින්න යනවා වගේ..

ඕකනේ මම කිවුවේ.. !

සූරිය ආරච්චි මහත්තයා.. එහෙම කියලා.. නොපෙනී ගියා..

මං ගිරිය යටින් කෑ නොගහපු ටික විතරයි.. පපුව ගැහෙන වේගය හොඳටම වැඩි වුණා..

මට ඇහැරුණා..! 


මතු සම්බන්ධයි..

Sunday, September 9, 2012

භව ගමනක සිහිනය 2

පළමු කොටසට
මං මගේ බිරිඳත් එක්ක ගමනක් යනවා.. ජීප් රථයක නැඟලා.. හදිසියේ ගැහැණු කෙනෙක් වාහනයට අත දැම්මා..

මාත්තියා මාව වෙදමාතියා ගාවට එක්ක යන්න.. දෙමළ කාන්තාවගෙන් ආයාචනයක්.. ඇය තරමක අසනීපයෙන් සිටි බවකුයි පෙනුණේ.. දරුණු උණක් ඇයට වැළඳිලා තිබුණා.. ඇයට ජීප් රථයේ පිටුපසින් නඟින්න කිවුවා.. ඇය අප දෙස බැලුවේ, අප හා කතා කළේ බොහොම හිතවත්ව.. ලෙංගතුව... ඇයගේ නම තංගමනී.. ජීප් රථයේ යද්දිත් හම්බ වුණා අර උමඟ... ඒක කොහොමද මෙතැනට ආවේ.. සිතුවිලි දිගින් දිගටම හිතෙන්න ගත්තා.. මට මතක් වුණේ සූරිය ආරච්චි මහත්තයාගේ ඔවදන..


ඔය වංගු තියෙන උමඟ ඇතුලින් යද්දී.. හිතට මුලා වෙන්නෙ නැතුව යන්න..
තංගමනී මේ ළඟමද? හනිකට ඇයගෙන් පැනයක් ඇසුවේ.. ඇයවත්, මගේ බිරිඳවත් දැහැනින් මුදවා ගන්ටයි..

අප තංගමනීව වෙද මහත්තයා ලඟට එක්ක ගියා..වෙද මහත්තයා හිටියේ මිදුලේ... පුදුමයක්.. මේ ඉන්නෙ සූරිය ආරච්චි මහත්තයා නේ..

මං වාහනේ නවත්තලා එතුමා වෙතට ගියා.. මෙයා මට හම්බ වුණේ කොයි කාලෙද..? මට නිනවු නෑ.. එච්චර කාලයක් ගිහිල්ලත්.. ඉස්සර වගේමයි.. අනේ මන්දා..? අර අද්භූත වැඩ කර කර හිටිය මනුස්සයා.. වෙද මහත්තයෙක් වුණේ කොහොමද..?

වෙදමහත්තයාගෙ නම සුරිය ආරච්චි ද?
අනේ නෑ මහත්තයෝ.. මගෙ නම මුදියාන්සෙ..
හ්ම්..
මං නිහඬවම ජීප් රියට ගොඩ වුණා..

ඔයා ඒ වෙද මහත්තයාව අඳුණනවාද? බිරිඳ ගේ පැනයට.. දෙන පිළිතුර මොකක්ද කියලා මට හිතාගන්ට බැරි වුණ නිසා මං නිහඬවම හිටියා..


මතු සම්බන්ධයි..

Thursday, September 6, 2012

෴෴සුබ උපන් දිනක් මගෙ දුවේ෴෴




සහසක් පෙරුම් දම් පුරලා නුඹ           මත්තේ
වෙහෙසක් වෙලා මෙදියත ජය ලැබ    ගත්තේ
රහසක් නොවේ දියණියෙ පවසමි       සත්තේ
පහසක් නුඹෙ වතේ විඳ සතුටකි        ඇත්තේ

හිස් බව නොමැත අපෙ දිවි තුළ එයින්      මතූ
රැස් ලෙස සඳේ සොඳුරුය සිත මැවෙන     සිතූ
තොස් විය නොයෙක් වර අසමින් නුඹගෙ තතූ
පස් වසකුත් ගියා නොදැනිම වසා          නෙතූ

වයසින් වැඩෙයි මෝරයි දැනුමද            යසට
දවසින් දවස හුරුවෙයි පිරිපුන්               බසට
මනසින් උසස් යහපත් දරුවෙකු          ලෙසට
විගසින් වැඩී සේවය කළ මැන               රටට

පස් වැනි උපන් දිනයට අද දින          යෙදෙන
දිස් වනු ඇත නොයෙක සුපැතුම් පිරි      නමන
උස් කොට රැගෙන එපැතුම් ආසිරි       සොඳින
විස්_මය වනු මැනවි අපෙ ලොව එළි     කරන

අපගේ ආදරණීය දියණියගේ පස් වැනි උපන් දිනය වෙනුවෙන් රචිත කවි පෙළකි..

Monday, September 3, 2012

භව ගමනක සිහිනය 1

සූරිය ආරච්චි  මහත්තයා මට හමු වුණේ දවසක හැන්දෑවක අසිරිය බලන්න මුහුදු වෙරළක ඉන්නැද්දී.. එතුමා බොහොම සරලව සැහැල්ලුවෙන් හැඳ පැළඳගෙන මාත් එක්ක සිනාමුසුව ඒ හැන්දෑව ගත කරද්දී තමයි මම දැනගත්තේ එතුමා ගුරුකම් කරන ඇදුරෙක් බව. එතුමා හැබැයි බොහොම සාධාරණව රස්සාව කරන කෙනෙක්.. එතුමාගේ හදේ රැඳුණු කතාවක් මට මෙහෙම කීවා..

දවසක් මගේ ගාවට ආවා... එක පිරිමි කෙනෙක්.. එයාට ඕන වෙලා තිබුණේ ගෑණු දරුවෙකුගේ සම්බන්ධයක් නවත්ත ගන්න.. ඒත් මට තේරුණා මෙතැන මොකක් හරි හොරයක් තියෙනවා කියලා.. මම දැරිවිට සෙතක් වෙන විදිහට ගුරුකම කළා.. ඒ නිසා එයාලගේ සම්බන්ධය දිගටම පැවතුණා.. ඒත් පස්සේ  ආරංචි වුණා ඒ දැරිවියි, එයාගෙ පෙම්වතයි, අර මා ලඟට ආව මනුස්සයයි.. ගැටුමකින් පස්සෙ මියෑදිච්ච බව.. ඒ විතරක් නෙවෙයි.. ඒ මනුස්සයා.. අර දැරිවිගේ බාප්පා කෙනෙක්.. බාප්පා මේ දැරිවිව බලෙන් අඹුව විදිහට තියාගන්ට තමයි උත්සාහ කරලා තියෙන්නේ.. අවසානයේ මරණ තුනකින් තමයි මේක කෙළවර වුණේ..

මේක අහද්දි මං හිතුවේ බාප්පලාට මෙහෙම වෙන්න පුළුවන් ද කියලා.. ඒ වගේම සූරිය ආරච්චි මහත්තයා කොයි තරම් හොඳ යතිවරයෙක් ද කියලා හිතුණා.. අපි කතා කරමින් මාවතක් දිගේ ඇවිද ගියා.. අපි දෙන්නා වෙන් වෙන තැනදී එතුමා මට උපදෙසක් දුන්නා..

ඔය වංගු තියෙන උමඟ ඇතුලින් යද්දී.. හිතට මුලා වෙන්නෙ නැතුව යන්න..

මං උමඟ ඇතුලින් යද්දී.. සිතුවිලි වල යම් වෙනසක් ඇති වුණා.. එක දිගටම එකම සිතුවිල්ලක් ඔස්සේ දිගටම හිතෙන්න ගත්තා..

සූරිය ආරච්චි මහත්තයගෙ උපදෙස මතක් වුණ නිසා.. ඒ සිතුවිලි වලින් මිදෙන්න මට පුළුවන් වුණා..

ඒත් එක්කම මගේ ඔළුවේ බර ගතියක් ඇති වෙලා නැති වුණා.. අපේ ජීවිතත් එක්ක අද්භූත දේවල් වල තියෙන සම්බන්ධය මොන වගේද කියලා උමඟින් පිටවුණාට පස්සේ මං හිතන්න ගත්තා..


මතු සම්බන්ධයි..

Monday, August 27, 2012

සුබස දැන් නැද්ද? අලුත් තැනක ඇද්ද?


පරිගණකය ඇසුරු කරගෙන සිංහල බසින් ලියැවෙන ලිපි, නිර්මාණ ආදියෙහි අක්ෂර වින්‍යාසය හෙවත් අකුරු විනිස නිවැරදිදැයි දැන ගැනීමට අපට තිබූ කදිම මෙවලමකි.. සුබස අකුරු විනිස පිරික්සුව..

වැඩි විස්තර මේ ලිපියෙන්  දැන ගත හැකි වනු ඇත...

එහෙත් අවාසනාවකට මෙන් පහු ගිය කාලයේ එම මෙවලමට අදාළ දිගුව ක්‍රියාත්මක වූයේ නැත.. එයට හේතුව කුමක් වුවත්.. ඒ ගැන අපි බොහෝ සේ කණගාටු වූයෙමු.. 100% නිවැරදියැයි විශ්වාසයක් නොවූවද.. වඩාත් හොඳම විකල්පය ලෙස අපි සුබස තෝරාගෙන සිටියෙමු.. එපමණක් නොව.. බොහෝ දුරට නිවැරදි වීමට සුබස මා හට නම් බොහෝ සේ උපකාරී වී ඇත.. ඒ නිසාම දැන් ඉස්සර තරම් වරදින්නේ නැත..


සුබස දැන් අලුත් තැනක ඇති බව දැකීමෙන් ඉතා සතුටට පත් වූ මම.. ඒ සතුට ඔබ හැම දෙනා සමගම මෙසේ බෙදා හදා ගන්නට සිතුවෙමි.. එහෙත් ඇතැම් විට ඔබට මෙය අලුත් ප්‍රවෘත්තියක් නොවනු ඇත..

හැකිතාක් නිවැරදිව සිංහල බස ඉදිරියට ගෙන යාමට උර දෙන සුබසට මගේ ප්‍රණාමය..



මේ තියෙන්නෙ අලුත් තැන..

Tuesday, August 21, 2012

ආල ගැටේ හෙවත් ප්‍රේම ගිවිසුම..!(4)

තුන්වැනි කොටසට




මම මේ පාර නම් ගයාත්‍රී කියන යෙහෙළියවත් හිතින් අමතක කළේ, එහෙම නොවුනොත් මගේ තීරණය ක්‍රියාත්මක කරන්න බැරි වෙන බව දැනගෙනයි.. හැබැයි ඔයාට අවශ්‍ය ඕනම වෙලාවක උදවු කරණවා කියලා මං තීරණය කරලා තිබුණේ..


ඒත් ඔයා ගේ හැසිරීම නම් එන්න එන්නම නරක අතට හැරුණා... ඔයා මගෙත් එක්ක පැටලෙන්නමයි බැලුවේ.. මට මතකයි ඔයා මගේ ලඟ තිබුණු අපේ පිංතූර වගයක් ගෙනත් දෙන්න කියලා කිවුවා.. මං මුලින්ම එකක් ගෙනත් දුන්නා.. ඔයා ඒක මට පේන්නම ඉරලා කුණුබක්කියට දැම්මේ මට මූණට දමලා ගහනවා වගේ.. ඉතුරු ටිකත් ගෙනත් දෙන්න කියලා ඔයා කිවුවහම මං ඒ ටික ගෙදරදිම ඉරලා දාන්නම් කියලා මං කිවුවේ.. ඇත්තටම ඒවා මෙහෙ ගෙනැල්ලා ඉරලා දාන එකෙත්, එහෙදිම ඉරලා දාන එකෙත් වැඩි වෙනසක් නැති නිසා.. ඒත් මට තිබුණ ප්‍රශ්නේ ඔයාට ඔය පිංතූර ටික ගැන ඔය තරම් බයක් දැනුණේ ඇයි කියන එක..

ඔය අතරේ තමයි මට සිසිර මුණගැහෙන්නෙ.. මාත් මගේ හොඳ මිතුරෙක් වුණ නිමලුත් කැරම් සෙල්ලම් කරද්දී සිසිරත් එනවා එතැනට.. ඔයා හොඳටම කලබල වෙලා වගේ වෙන යෙහෙළියක්ව එවලා මාව එතැනින් ඉවත් කරගන්නවා.. ඒත් මම පස්සෙයි දැනගන්නේ ඒ ඔයාගේ කලිං පෙම්වතා බව. මං එහෙම දෙයක් ගැන ඔයාගෙන් ඇහුවෙත් නෑ.. ඔයා මට කිවුවෙත් නෑ..  ඒත් සිසිර නිමල් එක්ක කියලා තිබුණා ගොඩක් නරක දේවල්.. ඔයා ගැන.. කොටින්ම ඔයාගේ ගන්න දෙයක් නැති බව.. මේක ඇහුවාම මට තේරුණා ඔයා පිංතූර ටික ගැන ඔයහැටි වද වෙන්නේ ඇයි කියලා.. සිසිර ඔයාව පිංතූර පෙන්නලා අපහසුතාවයට පත්කරන්න ඇති.. මං සිසිර වගේ හාල්පාරුවෙක් නෙවෙයි කියලා ඔයාට හිතෙන්න නැතුව ඇති..

ඔය කාලෙම වගේ මට හමුවුණා අපේ මිතුරෙක්ව.. එයා මාව දැක්කෙ ගමං ඇහුවේ ඔයා ගැන.. ඒ සම්බන්දෙ දැං ඉවරයි මචං කියලා කිවුවහම.. ඌ කිවුවෙ.. ඒක හොඳයි මචං.. ඒකි උඹට ගැලපෙන්නෙ නෑ.. මට කියන්න විදිහක් නැතුවයි හිටියේ.. කියලා.. මට දවසක් එයාලගෙ ටවුන් එකේදි ගයාත්‍රීව මුණගැහුනා.. එදා තමයි මං තේරුම් ගත්තේ.. උඹට ඒකි හරියන්නෙ නෑ..(කියපු ටික මෙහි පළ කිරීම බලධාරියා විසින් කපා හරින ලදී.)

ඔයාට මතකද සුදාරි ඔයාලගෙ ගෙදර ගිහිං ඉඳලා ආපු දවසක... ඔයාලගෙ ගෙවල් ලඟ මල්ලි ගැන.. ඇති වෙච්ච කතාව..

ඔයා: අනේ සුදාරි මෙන්න මෙයාට කියන්න අපේ මල්ලි කොහොමද කියලා..
සුදාරි : හරි ෂෝක් අනේ..

ඒත් මේ සම්බන්දෙ නැවතුනාට පස්සේ සුදාරි කියනවා.. අනේ ඔයා ඒක නවත්තපු එක ලොකු දෙයක්.. එයාගෙ ගෙවල් ලඟ මල්ලිත් එක්ක වුණත් එයා හැසිරෙන විදිහ හරි නෑ.. ඒ විතරක් නෙවෙයි සමන් කියලා මල්ලි කෙනෙක් ඉන්නවා.. අපි එයාලගෙ ගෙදර ගියා.. ඒ ළමයගෙ අම්මත් ඉන්නැද්දි.. ඒ ළමයගෙ කරේ නැඟලා.. බෙල්ල බදාගෙන.. මට ලැජ්ජාවෙත් බෑ.. ඒ කරපු වැඩ ටිකට..

එතකොට මට මතක් වුණා ඔය සමන් මල්ලිව.. ඔයාට එයා එවපු ලියුමක් දවසක් මොකකට හරි ඔයාගෙ පොතක් අවුස්සනකොට හම්බවුණා මතකද? මං බැලුවේ ඒකේ ආමන්ත්‍රණය විතරයි... "ආදරණීය ගයා" .. එහෙමයි ආමන්ත්‍රණය තිබුණේ.. ඒ වෙලාවෙ මං ඒකට හිනාවුනා මතකද? ඔයා මල්ලි..මල්ලි.. කිවුවට මිනිහා ඔය ආදරණීය ගයා කියලා නෙ කියලා තියෙන්නේ.. කියලා..

ඒත් එක්කම මට මතක් වුණා... අපි සිරීපාදෙ ගිය ට්‍රිප් එක.. ඒකෙදිත් ඔයාගෙ තනියට එක්කරගෙන ආවෙ.. අහල පහල මල්ලි කෙනෙක්.. මිනිහගෙ නම් වරදක් පෙනුණෙ නෑ.. ඒත් ඔයාගෙ ගෙදර පරිසරය ගැන මට ඒකෙන් හිතාගත්තෑකි.. ඒත් මං ඒ දවස් වල ඒවා නොසලකා ඇරියේ ම්ට ඒවා නොතේරුණු නිසා නෙවෙයි.. සම්බන්ධය රැක ගන්න නම් ඔයවගේ දේවල් ඉවසන්න වෙනවා කියලා හිතුණු නිසා..

හැම කෙනාම ඔය වගේ ගොඩක් දේවල් මට කිවුවා.. කවුරුවත් අපරාදෙ උඹ ඒ සම්බන්දෙ නැවැත්තුවෙ කියලා කිවුවෙ නෑ..

මටත් තේරුණා මං බේරුණේ ලොකු උගුලකින් කියලා.. සුදාරිගේ වචනයට තවත් අරුතක් එක්කරමින්.. ඔයා සමන් ව කසාද බැන්දා... මට පොඩ්ඩක්වත් දුක නෑ.. ඇත්තටම මට සතුටුයි.. ඒ මර උගුලින් ගැලවුණු එක ගැන.. මං විතරක්යෑ.. අපේ රොෂාන්..


නිමි.

Monday, August 20, 2012

ආල ගැටේ හෙවත් ප්‍රේම ගිවිසුම..!(3)


දෙවැනි කොටසට




එදා ඔයාව මුණගැහෙන්න එන අතරතුර මට ඔයාගෙන් වෙන්වීම ඇරෙන්න වෙන කිසිම විසඳුමක් ඇති බවක් හිතුණෙ නෑ.. ඒත් මට තිබුණු එකම බය ඔයා මේ හින්දා ඉගෙනීම කඩාකප්පල් කරගනීද කියන එක..

ඔයා සම්බන්දෙ නවත්වන්න බෑ කියනකොට මං කිවුවෙ වෙන කරන්න දෙයක් නෑ අමාරුවෙන් හරි අපි මේ තීරණය ගමු.. ඉස්සර හිටියා වගේම යාළුවෝ විදිහට ඉමු කියලා.. අවසානයේදී ඔයා ඒකට එකඟ වුණේ වෙන කරන්න දෙයක් නොතිබුණු හිංදා වෙන්න ඇති.. මමත් ඒ තීරණය ගත්තේ වෙන කරන්න දෙයක් නොපෙනුනු හිංදා මයි..

ඒත් ටික දවසක් යද්දී ඔයා බලාගත්තු අතේ බලාගෙන ඉන්න ගත්තහම මටත් ඒක දරාගෙන ඉන්න අමාරු වුණා... අවසානයේ මං තීරණය කළා අපේ ගිවිසුම අලුත් කරන්න.. ඔවු.. හැබැයි අලුත් වගන්තියක් එකතු වුණා..  ඔයාගේ අම්මා මගේ දෙමවුපියන්ගෙන් සමාව ගන්න ඕනි කියලා.. ඒකට ඔයා මාස තුනක් කල් ඉල්ල ගත්තා..

ආයෙමත් අපි සාමාන්‍ය විදිහට සතුටින් හිටියා.. මාස තුන ගතවෙලා ඉවර වෙනකලුත් ඔයා ඒ ගැන කිසිම පියවරක් අරගෙන තිබුණේ නෑ.. මට ඒක අමතක වෙයි කියලා ඔයා හිතුවද දන්නෙ නෑ.. ඒත් මට ඒක හොඳට මතක තිබුණා.. මං ඔයාගෙන් ඇහුවා ඒ ගැන මොකද කරන්නේ කියලා.. ඔයා හරි උත්තරයක් දුන්නෙ නෑ.. මං තීරණය කළා ඔයාව අතහරින්න.. ඒත් ඒ වෙනකොට අපේ වර්ෂාවසාන විභාග ලං වෙලා තිබුණේ.. විභාග ඉවරවෙන්න තව මාස තුනක් විතර තියෙනවා.. එහෙම වෙලාවක ඔයාට මේක කියන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.. ඉතිං මගෙ ජීවිතයේ ප්‍රථම වතාවට රඟපාන්න මං තීරණය කළා...

මං සුදාරිට මගේ තීරණය ගැන කිවුවා....සුදාරිගෙන් මං ඉල්ලුවේ පුළුවං තරං ඔයාට ලං වෙලා ඔයාගෙ හිත හදන්න කියලා.. සුදාරි ඒ වගකීම බාරගත්තු එක මට ලොකු සහනයක් වුණා.. විභාග ඉවර වෙනකල් ඔයත් එක්ක සාමාන්‍ය විදිහට ඉන්න එක ලොකු සටනක් වුණා.. මගේ රඟපෑම අසාර්ථකම නැතුව ඇති මයෙ හිතේ..

විභාග ඉවර වෙලා මං ඔයාව මුණගැහිලා මගේ තීරණය ඔයාට කිවුවා.. මේ පාර ආත්මාර්ථකාමී වෙන්න මං හිත හදාගෙන හිටියේ.. 


මතු සම්බන්ධයි..

Saturday, August 18, 2012

ආල ගැටේ හෙවත් ප්‍රේම ගිවිසුම..!(2)

1 වැනි කොටසට


මං එදා ගෙදර ආව මොහොතේ ඉඳං කල්පනා කළේ මං කරපු වැඩේ හරිද කියලා.. යාළුවන්ට කොහොමද මේක කියන්නේ කියලා.. මට, ඔයාට ඇත්තටම ආදරේ කරන්න පුළුවන්ද කියලා..

රොෂාන් වගේම හිටපු හොඳම යාළුවෙක් වුණු ගිහාන් ට ඔය කතාව කිවුවට ඌ පිළිගත්තෙම නෑ.. ඌ කිවුවේ.. මගේ හිතේ කලිං ඉඳන්ම ඔය අදහස තියෙන්ට ඇති කියලා.. මං ඒක පිළිගත්තේ නැති එකට තරහා වෙලයි අන්තිමට ඌ ගියෙ.. පස්සෙ මං කතා කරලා කිවුවා.. උඹ කිවුව එක ඇත්ත වෙන්න ඇති.. කොහොම වුණත් දැං වුණ දේ වෙලා ඉවරයිනේ.. කියලා.. ඔන්න එකෙක් ෂේප්..

ඊ ලඟට ඔයා ඇරෙන්න අපේ කණ්ඩායමේ හිටපු එකම ගෑණු පරානේ.. සුදාරි.. එයාට නම් වැඩිය විස්තර අවශ්‍ය වුණේ නෑ.. ලේසියෙන්ම පිළි ගත්තා..

අනික් යාළුවෝ ටිකත් ලොකුවට මොකුත් කිවුවෙ නෑ..

ඔය අතරෙ තමයි සුදාරියි එයාගෙ පෙම්වතා වන කැළුමුයි ට්‍රිප් එකක් දාගත්තේ.. ඉතිං අපි දෙන්නත් යන්න සෙට් වුණා.. රොෂානයා ඊට ඉස්සරින්දා කෝල් එකක් දුන්න වෙලාවේ මං ගමන ගැන කිවුවා.. මෙන්න මේකත් සෙට් වුණා ගමනට.. ඌ දන්නෙ නෑ නොවැ මේ කිසිම දෙයක්.. අනික් යාළුවො වත් ඌට මේක කියලා නෑ.. උගේ හිත රිදෙයි කියලා.. මටත් ඌව නිවී හැනහිල්ලෙ හම්බ උනේම නෑ මේ ගැන කියන්න..ඌ තාම ඔයාට ට්‍රයි එක.. පවු... ඒත් මොනවා කරන්නද..?

ඌ වෑන් එකේ යද්දිත් මගේ ලඟින්ම වාඩි වෙලා ගියේ මගෙත් එක්ක තිබුණු ෆිට් එකටමයි.. ඔයා දන්නවද මං ඒ හැම මොහොතෙම හිතින් විඳවපු තරං.. ? හදවතට එකඟව වැඩ කරන එකෙක් විදිහට මට කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ..

වැව ලඟ ඉඳං පින්තූර ගනිද්දි.. ඒ අමාරු මොහොත මං කොහොම පහු කළා ද මංදා.. සුදාරි.. අපි දෙන්නව එකට තියලා පිංතූරයක් ගත්තා.. මට ඔයාගේ කරට උඩින් අතක් දාන්න කිවුවා.. ........
හපොයි.. රොෂාන් ගේ මූණ.. අනේ ඌට කොහොම දැනෙන්න ඇත්ද? මට හිතාගන්න බැරි වුණා.. ඊට පස්සේ ගමන ඉවර වෙනකං රොෂාන් අපි ගාවට ආවේ නෑ..

අපි අතරෙ තිබුණු බැඳීම මොන වගේ එකක්ද කියලා මං නිතරම හිතුවා.. ඒක රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය එකක් නම් නෙවෙයි.. අවසර ලද ඇසිල්ලක සිප ගැනීම් ආදියෙන් අපි මුසපත් වුණා.. කසාද බැන්දට පස්සේ කරන්න තියෙන වැඩ, කලින්ම කරන්න මගේ කැමැත්තක් තිබුණේ නෑ.. ඔයත් එහෙම වෙන්න ඇති..  ඒත් මට නිතරම හිතුණු දෙයක්.. පෙම්වතියක් විදිහට වඩා ඔයා යෙහෙළියක් විදිහට සාර්ථකයි.. ඒ වගේම මට සමීපයි කියන එක..

ඔයා වැඩිපුරම ආශ්‍රය කළේ පිරිමි යාළුවෝ..මට ඔයාව වෙනස් කරන්න ඕන වුණා..  අඩු ගානේ ඔයා සුදාරිව වත් වැඩිය මායිම් කළේ නෑ.. ඒත් මගේ පිරිමි යාළුවන්ව ඕනවටත් වඩා ලඟින් ඇසුරු කළා..

"මං මේ දවස් ටිකේ සුමේධත් එක්ක ලයිබ්‍රරියට ගිහිං පාඩම් කරන්නද?"
ඔයාට මතකද... මං වැඩිය කැම්පස් නොඑන කාලෙක.. ඔයා මගෙන් මෙහෙම ඇහුවා..?
ඒත් මං ඔයාට එපා කිවුවා.. මං එහෙම කිවුවේ ඇයි කියලා මගේ හිතත් එක්ක පස්සේ මං සෑහෙන්න තර්ක කළා.. මං එහෙම කිවුවේ ඉරිසියාව හිංදා නෙවෙයි කියලා තමයි මං අදටත් හිතන්නේ..

ඔයාගේ මං දැකපු හොඳම ගතිය තමයි.. පරෝපකාරී බව.. ඔයා හිත හොඳ කෙල්ලෙක් කියලා මගෙ යාළුවො මා එක්ක නිතර කියලා තියෙනවා.. ඒක නම් ඇත්තම ඇත්ත.. ඔයා හිත හොඳ කෙල්ලෙක්..ඒ වගේම ඔයා අඳින්නේ සරල සංවර ඇඳුම්..

ඔයාගේ අම්මට අපි ගැන ආරංචි වෙලා.. පළමු පියවර විදිහට කරලා තියෙන්නේ මං හිටපු බෝඩිමේ ඥානා ආන්ටිට කතා කරලා.. ඔයාට ඒක කිවුවාම ඔයා කිවුවේ.. ඕක ඔතනින් නවතියි කියලා.. ඒත් ඒක නැවතුනේ නෑ..

එයා අපේ ගෙදට්ටත් කතා කරලා.. බොහොම පහත් විදිහට.. හරියට මං ඔයාව රවට්ටගෙන ඉන්නවා වගේ..

මං ඒක දැන ගත්ත වෙලේ ඔයාගේ ගෙදරට කෝල් කළේ අම්මට හොඳවයිං දෙකක් කියන්න.. ඒත් කෝල් එක ගත්තේ ඔයා.. අපේ ගිවිසුම ඉවරයි..! මං කිවුවේ දැඩිව හා ස්ථිරව..! ඔයාගේ දුක මට නොතේරුනා නෙවෙයි.. ඒත් ඔයාගේ අම්මා ඉදිරියේ.. මගේ දෙමවුපියෝ බිංදුවක් වත් හෑල්ලු කරන්න මට ඕන නෑ..

ඔයා ගේ බලවත් ඉල්ලීම නිසා මං ඔයත් එක්ක අන්තිම වතාවට මේ ගැන කතා කරන්න  ඔයාව මුණගැහෙන්න එකඟ වුණා.. !


මතු සම්බන්ධයි..!


Friday, August 17, 2012

ආල ගැටේ හෙවත් ප්‍රේම ගිවිසුම..!(1)



මගේ යාළුවෝ ටිකත් එක්ක එකතු වෙන්න හිතාගෙන මං වෙනදා යාළුවෝ හැමෝම එකතු වෙන බෙන්ච් එකට ආවේ යාළුවෝ හමු වීමේ සතුට විඳගන්න.. ඒත් බෙන්ච් එකේ ඔළුව තියාගෙන හිටියේ ඔයා විතරයි.. මං මගේ අත ඔයාගේ ඔළුවට ගෙනාවේ පුංචි තට්ටුවක් දාන්න.. ඒත් ඔයා මගේ අත අල්ලා ගත්තා..

ඇයි මට මගේ අත ආපහු ඇදලා ගන්න හයියක් නැති වුණේ..?
මගේ හිත තාමත් මට දොස් කියනවා..

වෙනදා හැමතැනම සිටි යාළුවෝ අද කොහේ ගිහිං ද..? මගේ හිතේ ප්‍රශ්නයක්..
ඔඩිටෝරියම් එකේ ෆිල්ම් එකක් පෙන්නනවලු.. උත්තරේ එතනින් ගිය නංගිලා දෙන්නෙකුගෙන් ලැබුණා..

ඒ නිමේශයෙන් ඔයා කොහොමද මගේ තුරුළට ආවේ.. ? ඇත්තටම මට ඒ ගැන වැටහීමක් නෑ..

මගේ අත ඔයාගේ අතෙන් ගැලවෙනකොට අපි දෙන්නා හිටියේ බස් එකක..

ඇයි මොකද වුණේ..? ඔයා ඇහුවේ මෙච්චර වෙලා මොකුත් නොවුණා වගේ..

මෙච්චර වෙලා මොකද වුණේ..? මට තිබුණේ ඒ ප්‍රශ්නේ විතරයි..

ඔයා මගේ හොඳ යෙහෙලියක් විතරක් විදිහටයි මම හිතුවේ..
මගේ හොඳම යාළුවාගේ බලාපොරොත්තුව උදුරගන්න මට කොහෙත්ම ඕන වුණේ නෑ..

ඒ විතරක් නෙවෙයි.. මට ඔයා ගැන අදහසක් ඇති වෙලා තිබුණෙත් නෑ..

දැං ඉතිං ඕවා කාට කියන්නද?

රොෂාන් ඔයාට කැමැත්තෙනුයි ඉන්නේ.. මං ඔයාට කිවුවේ මගේ අසරණ කම කියන්න..

මට ලඟදී හම්බවුණු සාස්තර කාරයෙක් කිවුවා.. මට දෙන්නෙක් අතරින් කෙනෙක් තෝර ගන්න වෙනවා කියලා.. ඒ ඔයා තමා..

ඔයා කිව්වේ ඇත්තක්ද කියලා නම් මං දන්නෙ නෑ..

මං වික්ෂිප්ත වුණේ නං ඇත්තටමයි..

ඔයා මට සතියක් ඇතුළත උත්තරයක් දෙන්න.. ඔයා බෑ කිවුවොත් මං කැම්පස් එක දාලා ආච්චිලාගෙ ගෙදර යනවා..

ඔයා මාව ගිරයට අහුවුණු පුවක් ගෙඩියේ තත්වෙට පත් කළා..

රොෂාන්ව කොහොම හරි ෂේප් කරගන්නවා.. හ්ම්.. මං හිත තද කරගත්තෙ මගෙ ගොංකමටම වෙන්න ඇති..

ඔයාගෙ අම්මා මට කැමති වෙයිද?  මං ඇහුවෙ තීරණයක් ගන්නමයි..

ඔයාට අකමැති වෙන්න හේතුවක් නෑ.. ඔයා කිවුවෙ විශ්වාසයෙන්..

හොඳයි එහෙනම් ඔයා ඔයාගෙ පැත්තෙන් යුතුකම් ඉටු කරන්න.. මං මගේ පැත්තෙන් යුතුකම් ඉටු කරන්නම්..

ඔයත් එක්ක මං ප්‍රේම ගිවිසුම ගැහුවේ එහෙමයි..

ඒත් මගේ යාළුවෝ මං ගැන මොනවා නොහිතයි ද?  මට හිතාගන්නවත් බැරි වුණා..

මතු සම්බන්ධයි..

Wednesday, August 15, 2012

ජීවිතේ දිනයක්..!


අළුයම  සෙල්ලමින් දඟ කරමින් උන්නා
අරුණළු සමඟ දැනුමට සිත යොදවන්නා
දහවල ජය පතා සිරුරම වෙහෙසන්නා
හැන්දෑ කොරේ නිති ජොලි කරමින් යන්නා

ඇඳිරිය එද්දි හිරු අවරින් බැස යද්දී
දිනයක නිමාවට සිත ගත හුරු වෙද්දී
දහමට යොමු වුණා බෑ කළුවර එද්දී
රෑ බෝ වෙද්දි හිටියා යහනෙහි පැද්දී

ප.ලි..
අන්තර්ජාලයේ සැරි සැරීමෙන් ඉහත පිංතූර සොයාගතිමි.. ඒ පිංතූර වල අයිතිකරුවන්ට පිං සිදු වේවා..

Friday, August 10, 2012

බැරි දා විග්‍රහය!සූදු කෙළ පැරදුණෙමි...!

මං ඉතිං සුරාවෙන් සූදුවෙන් තොර හාදයා වුණාට.. අවුරුදු ගානකට සැරයක් හරි.. මේවයෙ යෙදෙනවා.. ඔන්න කාලෙකට පස්සෙ මට සූදු කෙළින්න හිතුනේ මගේ අල්ලක් කහන්න ගත්තැයින් පස්සේ..

ඒත් අවාසනාව කියන්නේ අල්ල කහපු දාට පහුවෙනිදා තමයි මට සූදු කෙළින්න වාසනාව පෑදුණේ..

ඔන්න ඉතිං මං ගැන ඔය හැටි හිත කලකිරවා ගන්නවා හෙම නෙවෙයි ඕං.. මං සූදු අන්තුවෙක් නං ලංකාවේ ඉන්න 90%ක් විතර අය මට වඩා දරුණු සූදු අන්තුවෝ.. මං කළේ සුවිප් ටිකැට් දෙකක් හූරපු එකයි.. හත්තිලවුවට ගහපු මොකක්ද එක කිවුවලු.. දෙකම පරාදයි.. රුපියල් හතලිහකට සුවිප් එක ඇදුනා.. දැං එක ටිකැට් එකක් විස්සයි නොවැ..

ඉස්සර වගේ නෙවෙයි දැං හූරන ටිකැට් බොහොම හිඟයි.. ඒ වගේ ම ඒවා ඇදෙන්ට තියෙන චෑන්ස් එකත් අවමයි.. ඉතිං කවුරුත් බලන්නෙ මහජන සම්පත, ශනිදා වාසනාව වගේ අදින ටිකැට් ගන්න.. මං ඒවට ආසා නැත්තේ.. ඒවා ඇදිලද කියලා බලන්න මතක් වෙන්නෙ නැති හිංදා..

ඔය ජාතියෙ අදින ටිකැට් එකක් ඇදෙන්න තියෙන චෑන්ස් එක මොන වගේද කියලා අපේ සුමේධ සෑර් සංකරණ හා සංයෝජන කියන අනු විෂය උගන්නද්දී කියලා දුන්නා මතකයි.. මට මතක විදිහට ඒ අගය 1/382637520 වගේ අගයක්.. ඒත් පහු කාලෙක ඉංගිරීසි අකුරකුත් එකතු වුණාට පස්සෙ ඒ චෑන්ස් එක තවත් අඩු වුණා.. මුල් තෑග්ග ඇදෙන්න තියෙන චෑන්ස් එක එච්චර අඩු වුණාට අනෙකුත් තෑගි ඇදෙන්න තියෙන චෑන්ස් එක ඔයිට වැඩිය චුට්ටක් වැඩියි.. මේකෙ තියෙන නරකම පැත්ත තමයි.. ප්‍රතිඵලය බලද්දි අපිට මේක නූලෙන් මිස් වුණේ කියලා හිතෙන එක.. ඇයි ඔක්කොම ඉලක්කම් මිස් වෙලා තියෙන්නේ එකෙන් දෙකෙන් නේ.. ඉතිං ආයෙ ගන්නවා.. අපේ අප්පච්චි ආරෝග්‍යශාලා ලොතරැයිය තියෙන කාලෙ ඉඳං ගත්තු ටිකැට් වලට වියදං කොරපු සල්ලි එක්කහු කළා නං අද අපිටත් ප්‍රාඩෝ, ඉන්ටර්කූලර් වල යන්න තිබුණා.. (හැක.. හැක..). කොහොම වුණත් හැමෝටම ලැබෙන මුලු තෑගි මුදල ටිකැට් විකුණලා ලැබෙන මුලු ආදායමින් ඉතා සුළු මුදලක් බව පැහැදිලියි..

කොහොම උනත් රාජ්‍ය අනුග්‍රහය ඇතුව ගජරාමෙට කෙරෙන මේ සූදුව හිංදා අනාත වුණු පවුල් ගනන ගැන කවුරුත් කටක් අරිනවද?

Saturday, July 28, 2012

මිනිසත් කමේ පොහොසත්කම නොහොත් සූරාගෙන කෑම

මීට වසර දෙකකට පමණ කලින් දිනයකි.. මහරගම නගරය මැදින් ඉඳහිට ගමන් කරන මට නිතර දකින්නට ලැබුණු දැන්වීමක් වූයේ මිනිසත්කමේ පොහොසත් කම නිසාම මිනිසුන්ට සල්ලි දෙන ආයතනයක් ඉදිරියේ ය. එම දැන්වීමෙන් කියැවුණේ 1% පොළියට රන් බඩු උකසට ගෙන ඉහලම මුදලක් ලබා දෙන බවයි.. මේ කාලයේ රජයේ හෝ පුද්ගලික බැංකුවක රන් භාන්ඩ පොළිය 14% ක් පමණ විය.. ඒ නිසා මා සිතුවේ මේ 1% යනු මාසික පොළිය බවයි.. ඒ අනුව බැංකුවේ තියන එකට මේ ආයතනයේ උකස් තබන එක වඩා ලාබ දායී යැයි මට සිතුණි.. (මීට වසර ගනණාවකට උඩදී මට අවුරුදු 19 දී පමණ බැංකුවක් සමඟ රන් භාන්ඩ ගනුදෙනුවක් කිරීමට ගොස් කෙලවරක් නැති ප්‍රශ්න ඇසීම නිසා මට බැංකු එපා වෙලා තිබුණි)

ඔය අතර හදිසි අවශ්‍යතාවයක් මතු වී උකස් තැබීමේ වාරය එළැඹුණි.. මා තෝරා ගත්තේ ඉහත කී ආයතනයයි.. උකස් තැබීමට පෙර මම ප්‍රශ්න කීපයක් යොමු කළෙමි..

1. මේ 1% පොළී ප්‍රතිශතය මාසයක් සඳහාද?
පි: ඔවු. හැබැයි දවස් දහයකට සැරයක් පොළිය ගෙවුවොත් විතරයි 1% වෙන්නේ.. එහෙම නැත්නම් සීයට තුනයි දශම ගානක් වෙනවා..

2. කොච්චර මුදලක් මේ වලල්ලට ගන්න පුළුවන්ද?
පි: රු. 25,000/= ක් විතර ගන්න පුළුවන්..( ඒ කාලේ පවුම දැන් තරම් ගණං නැත.)

3. මට දවස් දහයට කලිං ඇවිත් වුණත් පොළිය බඳින්න පුළුවන් නේද?
පි: ඔවු..

දවස් දහයකට පෙර ඇවිත් පොළිය බඳිමැයි සිතා මාත් රුපියල් 25,000/= ත් රැගෙන පිටත්ව ගියෙමි..
රිසිට් පත බැලූ විට එහි තිබුණේ උකස් අත්තිකාරම රු.25,252/= යනුවෙනි.. මේ අනුව මාසයකම පොළිය මුලින්ම අය කර ගන්නට ඇතියැයි අනුමාන කරගෙන නිහඬ වීමි..
යළිත් තවත් දින 8 කින් පමණ එතැනට ගොස් පොළිය ගෙවීමට සූදානම්ව, පොළිය කීයදැයි විමසීමි.. පොළිය රු.250/= ක් බව පවසා එය අය කරගෙන. යළිත් 25,254/= වැනි මුදලකට රිසිට් පතක් නිකුත් කෙරිණි.. එවර එය පරීක්ෂා කළ මට වැටහුණේ කාගේ හෝ ගනණයක යම් දොසක් ඇති බවයි.. එනිසා ඔවුන් ගෙන් මෙසේ ඇසුවෙමි..

ප්‍ර: දැන් මේ පොළී ප්‍රතිශතය මාසයකට කිවුවා නේද? .. එහෙනම් මේ 25,000/= ට මාසයකට අදාල පොළිය මුලින්ම අය කරගෙන තියෙනවා නේද? මා දැන් ගෙවූ මුදල මූලික මුදලින් අඩු විය යුතුයි නේද?

පි: නෑ මේ 1% කියන්නේ දවස් දහයක පොළිය..

මා මෝඩයා වී හමාරය.. දවස් දහයක් සඳහා ගෙවා තිබිය දී අටවන දවසේ අලුත් කිරීමෙන් තවත් දවස් දෙකක් නැති කර ගත්තා පමණි..

එපමණක් නොව.. දවස් දහයට 1%ක් යනු අවුරුද්දට 36% ක පොළි ප්‍රතිශතයකි (වා.ස.පො. අනුපාතිකය සැලකුවොත් ඊටත් වැඩිය).. ඒ කියන්නේ බැංකුවකට සාපේක්ෂව 250% කටත් වඩා වැඩි වීමකි..

ඒ 250/=ත් ගියාවේ කියා සිතා ඊලඟ දවස් දහය සම්පූර්ණ වීමට ආසන්නයේ වලල්ල නිදහස් කරගෙන ගොස් බැංකුවේ තැබුවෙමි.. එහිදීත් මට 25,000/= ක මුදලක් ලබාගන්නට හැකි වීම විශේෂයකි.. එනම් ඇතැම් අය සිතන්නේ ඔය වැනි ආයතනයක දෙන තරම් මුදලක් බැංකුවක නොදෙන බවයි.. එහෙත් සත්‍යය නම්.. ඒ වෙනස එතරම් ලොකු නොවන බවයි.. ඒ වගේම කාලෙකට පෙර මගෙන් ඇහුවා වගේ අතොරක් නැති ප්‍රශ්න අහන්නේ ද නැත..

දැන් බොහෝ බැංකු වල (විශේෂයෙන් සම්පත් හා ජා.ඉ.බැ) පවතින නීති, රීති කීපයක්  සහ ක්‍රමෝපායන් කීපයක් මතක් කරන්නම්..

1. පළමු සති දෙක සඳහා (ඊට කලිං බේරා ගත්තත්) අනිවාර්‍යයෙන් පොළි අය කරයි.
2. ඉන් පසු පොළිය ගනණය කරන්නේ දවස ගානේය..
3. බේරා ගැනීමේ දී රු. 25/= ක මුද්දර ගාස්තුවක් අය කරයි.. (මෙය පුද්ගලික බැංකු වල පමණක් යැයි කියයි..)
4. ගෙවිය යුතු අවසාන මුදල ආසන්න රු.10/= ට රවුන්ඩ් අප් කරයි..(මේක සම්පත් බැංකුවේ තමයි මං දැක්කේ...)

** නිතර රන් බඩු වල වටිනාකම වැඩි වන නිසා.. ඉඳ හිට බැංකුව පැත්තේ ගොස් වැඩිපුර ගානක් ඉල්ලා ගෙන ඒමෙන් (ගිවිසුම අලුත් වන නිසා) සින්න වීමේ අවධානම මඟ හරවා ගත හැක.. එහෙත් දැන් දිනෙන් දින පොළී ප්‍රතිශතය ඉහල යන නිසා අලුත් කිරීම මඟින් ඔබගේ පොළී ප්‍රතිශතය ඉහල යා හැක..

පහු ගිය කාලයේ සම්පත් බැංකුවේ දිනකට නිකුත් වන නොම්මර ගනණ 70 ක් පමණ තිබුණ ද.. ඊයේ පෙරේදා වන විට එය 55-60 ක් පමණ දක්වා අඩු වී තිබුණි..

මිනිස්සු රන් බඩු උකස් තියන්නේ නැතිවාද?
ඔක්කොම උකස් තියලා නිසා තියන්න දෙයක් නැතිවාද?

ආදී වශයෙන් මෙයට නොයෙක් හේතු සිතිය හැක..  දැන් පොළී ප්‍රතිශතය වැඩි වීම නිසා මම ද ඒ පැත්තේ යන වාර ගනණ ටිකක් අඩු කළෙමි..

ප. ලි.

මිනිසත් කමේ පොහොසත් කම ට නම් හසු නොවන ලෙස ඉල්ලමි..

Tuesday, July 24, 2012

බබලන් සඳක් ලෙස...!


සිත මගෙ චංචලයි නැත කිසි සැනසීම
ගත මගෙ දුර්වලයි පෙන්වයි වැනසීම
වත ඔබෙ පෙම්බරයි මට නම් පෙර සේම
මත_කයෙ රැවුනැඟෙයි පෙම් සිතුවිලි තාම


මල් පිබිදුණා මාවත් වල අප යෙනෙන
සිල් බිඳි ඇතැම් දන කළෙ ගැරහුම එදින
ගල් කුළු ලෙසින් ඉවසා සිටි මුදු දෙදෙන
වල් වැදි ලොවක ප්‍රේමය කරමුද කුමන


මවු පිය කැමැත්තට හා ලෝ සිරිත ගරූ
පවු නොකරම අපිත් අපටම කළෙමු බොරූ
සිවු පසයටම සළකා කර හෙළය හුරූ
දැවු_නෙමු සිතින් පැතුවෙමු මතු භවයෙ සරූ


ඔබ දැන් මවකි මම දැන් සොඳ පිය තුමෙකි
සැබ_වින් සුහද ලෝකය මහ පුදු_මයෙකි
නොබ_ලන් මදෙස යළි මට එය මහ දුකෙකි
බබ_ලන් සඳක් ලෙස දරුකැළ මැද සුරැකි

Tuesday, July 17, 2012

බැරිදා විග්‍රහය! ඉතිං මොකෝ..?

ගෑස් මිල බැස්සා.. එකසිය පනහකින්.. ළදරු කිරිපිටි රුපියල් 2 කින්...පරිප්පු, සැමන් එහෙමත් අඩුවෙලා.. මේවා චන්ද ගුන්ඩු.. 


ඉතිං මොකෝ..?
ඒකත් ඇත්ත.. චන්ද හැමදාම තියලා හරි මොකද බඩු ලාබ වෙනවා නම්..
==================================
ඒක නෙවෙයි කෙළිය.. අන්න ලබන මාසෙ.. උද්ධමනය දෙගුණ වෙනවාලු..

ඉතිං මොකෝ..?

ඒකත් ඇත්ත.. උද්ධමනය කන්ට යැ..

==================================

කවුද ලොක්කෙක් ඇල්ටෝ දාහක් විතර ගෙන්නුවාට පස්සෙ තමයි ඔය ටැක්ස් වැඩි කරලා තියෙන්නේ.. දැං ඔය අලුත් ගානට විකුණනවා කියන්නේ..
ඉතිං මොකෝ..?

ඒකත් ඇත්ත.. උං කාර් එකක් විකුණගෙන කීයක් හරි හොයා ගත්තහම මක් වෙනවද? රජ පුත්තු නොවැ..

==================================
ඒ වුණාට පහුගිය දවස් ටිකේ ප්‍රාදේශීය සභා වල ඉන්න දේශපාලුවො කී දෙනෙක් ජරා වැඩ කරලා අහු වුණාද? එකෙක් ගෑණු 100ක් එක්ක බුදියගෙන.. තව එකෙක් රත්තරන් චේන් කඩලා.. තවත් එකෙක් මැර කම් කරලා.. 
ඉතිං මොකෝ..?

ඒකත් ඇත්ත..උන් කී දෙනෙක් එක්ක බුදියගත්තත් අපේ මොකෝ.. රත්තරන් චේන් කඩන්නෙ රත්තරන් දාගෙන යන හින්දනේ.. අපි වගේ බැංකුවේ තිබ්බා නම් ඔය අවුල නෑ නෙව.. මැරකම් නම් ඉතිං කරන්ට ඇත්තේ තවත් මැරයෙක්ටම වෙන්ට ඇති..

==================================
ආරස්සාවේ ලේ කම් හුරතලේට.. නෑ... නෑ.. ආරස්සාවට පිට රටින් බල්ලෙක් ගෙන්නන්ට ගොහිං ගුවන් ගමනකුත් අවලංගු කරලා පුද්ගලික යානයකින් ගෙන්නන්ට දාගෙන මොකක්දෝ පලහිලවුවක් උනාය කියන්නේ..

ඉතිං මොකෝ..?

ඒකත් ඇත්ත.. උන්නැහේට බල්ලෙක් ගේන්ට ඕන වුණාම ඒක කොර ගන්ට දීලා.. එදා මෙහෙ එන්ට ඉන්න ඈයින්ට පහුවදාට එන්ට බැරුවයෑ..

==================================
විපස්සනා යක තුමා හදි-හූනියම්, යාග, බලි-තොවිල් කරමින් දේවාලයක්, දේවාලයක් ගානේ කරක් ගහනවැයි කියන්නේ..

ඉතිං මොකෝ..?

ඒකත් ඇත්ත..උන්නැහේටත් කොරන්ට කියලා එහෙමට වැඩක් තියෙන එකක්යෑ.. දේවාල ගැන පොඩියක් දැන කියාගෙන ඉන්න එකත් වටිනවානේ..

==================================
ඒක නෙවෙයි.. යකඩ මුලින්ම භාවිතා කරලා තියෙන්නේ ලංකාවෙලු..

ඉතිං මොකෝ..?
ඒකත් ඇත්ත.. යකඩ මුලින්ම භාවිතා කොළයි කියලා අපට කන්ට හම්බ වෙනවැයි..


==================================
ලංකාවෙ උන් බුද්ධිමත් ලු.. ඒකලු තමන්ගෙ කෑම ගැන නොහිතා මේ වගේ බුද්ධිමත් ඈයො පත් කරගන්නේ..

ඉතිං මොකෝ..?
ඒකත් ඇත්ත.. කෑම ගැනම හැම වෙලාවෙම හිතලා හරියනවැයි.. රට කන එකාලා ගැනත් ටිකක් හිතන්ට එපැයි..

Wednesday, July 11, 2012

෴෴අරුම පුදුම සිහිනය෴෴

පුතුට පණ වගේ ඉන්නා
පියා පුතු වෙතට යන්නා
හැමදා රෑ නිදාගන්ට
මොහොතකට කළිං


දවසක් දා ඔහු යනකොට
සිහිනෙන් දෙවු දුවක් ඇවිත්
පුතාට රහසක් කියලා
යන්න ගිහිල්ලා


ඔන්න ඉතිං පුතා දුකෙන්
අඬ අඬ වාගේ හෙමිහිට
කියනවාලු දෙයියො කීව
රහස පියාට


තාත්තාගෙ බාල නඟා
සෝමා නැන්ද මැරෙනවාලු;
ඕවා ගනං ගන්න එපා
පියා කියනවා


ඔන්න ඉතිං පහු වෙනිදා
සෝමා නැන්ද මිය ගිහින්ලු
තාත්තටත් දැන් පුදුමයි
මොකද මේ වුණේ


ඔය වගේම තවත් දිනක්
සුරංගනාවියක් ඇවිත්
අත්තම්මා මියයන බව
පුතාට කිවුවා


මේ කතාව ඇහුව පියා
ආයෙ එහෙම නොවෙයි කියා
පුතාට දොයියන්න කියා
අදරින් කිවුවා


ඒ වුණාට පුදුම වැඩේ
පහුවෙනිදා අත්තම්මා
කවුරුත් නොහිතපු ව්දිහට
මැරිලා තිබුණා


වැඩිකල් යන්නට කලියෙං
සුර දූතිය ආයෙ ඇවිත්
පියාව මැරෙනවා කියා
පුතාට කිවුවා


පුතාට හරියට දුකයිනෙ
හෙට පියාව මැරිලා යයිනෙ
අනේ ඉතිං මේ කතාව
පියාට කිවුවා


බයවෙන්නට එපා කියලා
පොඩි පුතාව සනස්සවලා
දෙවියනි මං හෙට මැරෙයිද
කියමින් හැඬුවා


රෑ තිස්සෙම නිදිත් නැතුව
පරෙස්සමින් වැඩට ගියා
පොඩි දේටත් බයෙන් තමා
දවස ගත වුණේ


කොහොම නමුත් පණ බේරං
හැන්දෑවේ ගෙදර ඇවිත්
මට නං අද එපා වුණා
බිරිඳට කිවුවා..


ඔයාට ඇයි ඔච්චර දුක
මැරුණෙ අපේ කිරි කාරයා
පුදුමෙට පත් වෙලා වගේ
නෝනා ඇහුවා..

ප.ලි.
මා අසා ඇති කතාවක් ඇසුරින් පද බැඳිනි..

Tuesday, July 10, 2012

ෆේස් බුක් එකේ හැක් නොවෙන්න නම්..


යම් කිසි හොඳ දෙයක් කරන මිනිස්සුන්ට සමහරු ඉරිසියා කරනවා.. ඉතිං එහෙම අයට නොයෙක් විදිහේ කරදර පමුණවනවා.. අපගේ ඊමේල් එක, ෆේස් බුක්, ට්වීටර් වැනි එකවුන්ට්ස් හැක් කරන එක මේ වගේ ගොං බයියන්ට හරි විනෝද ජනක වැඩක්.. මේ ලඟදී සඳැස් කවිය ප්‍රචලිත කරන්න ලොකු මහන්සියක් ගත්ත ෆේස්බුක් ගෲප් වලට සහ ඒවායේ ඇඩ්මින්ලාටත් මේ ඉරිසියාකාර කාලකන්නින්ගේ බැල්ම වැටුණු බව දැනගන්ට ලැබුණා.. ඉතිං හැක් නොවී ෆේස්බුක් පාවිච්චි කරන්න ගන්න පුළුවන් පියවර මොනවද කියලා මං හොයලා බැලුවා.. මෙන්න හොයා ගත්තු දේවල්..

1. ෆේස්බුක් ඇප්ස් පාවිච්චි නොකරන්න. ඔබගේ තොරතුරු ඇක්සස් කිරීමට කිසිවිටක අවසර නොදෙන්න..

2. ඔබ ෆේස්බුක් ලොග් වෙන සාමාන්‍ය ක්‍රමයෙන් හැර ඊමේල් වල තිබෙන ලින්ක් හරහා ෆේස්බුක් ලොග් වෙන්න එපා.... මෙමගින් ඔබව රවටා ඔබගේ මුරපදය සොරකම් කිරීම බොහොම පහසු සෙල්ලමක්..


3. ඔබගේ පරිගණකයේ ඔපරේටින් සිස්ටම් එක යාවත්කාලීන කර ගන්න. එතකොට පරිගණකයේ ක්‍රියාකාරීත්වය ගැන විශ්වාසයි.. 

4. ඔබ යොදාගන්නා වෙබ් බ්‍රවුසරය යාවත්කාලීන කරගන්න. හැකිනම් බ්‍රවුසර දෙකක්  යොදාගන්න... ඔබගේ සාමාන්‍ය අන්තර්ජාල කටයුතු සඳහා එකක් සහ වැදගත් කටයුතු සඳහා තව එකක් වශයෙන්..

5. AdBlock, Facebook Add blocker වගේ අනවශ්‍ය ඇඩ්ස් නවත්වන දිගු ඔබේ බ්‍රවුසරයට එකතු කරගන්න.. මෙතැනට ගියොත් ඒවා හොයාගන්න පුළුවන්..

6. අලුත් මෘදුකාංග බාගත කිරීමෙදී සහ ස්ථාපනය කිරීමේදී සැලකිලිමත් වන්න. ඒ සමඟ ට්‍රෝජන්ස් පරිගණකයට ඇතුලු වීමට පුළුවන්..

7. මුරපදය අනුමාන කිරීමට අපහසු එකක් යොදන්න.. යම් පිට තැනක මුරපදය ටයිප් කරන විට බාගයක් වැරදියට ටයිප් කර වැරදුණු අකුරු ටික සිලෙක්ට් කර ඉතුරු අකුරු ටික ටයිප් කරන්න..මෙමගින් කී ලොග් මඟින් මුරපදය සොයා ගැනීම අවම කරගන්න පුළුවන්..

8. අන්තර්ජාලය භාවිතයේදී නිතරම පරිගණකයේ සාමාන්‍ය ගිණුමකින් ලොග් වෙන්න..(ඇඩ්මින් ගිණුම් භාවිත කරන්න එපා)

9. හැකි හැම විටම ඔබගේ තොරතුරු Backup කර තබා ගන්න..

10. සැක සහිත ෆේස්බුක් මිතුරන් අන්ෆ්‍රෙන්ඩ් කරන්න.. මිතුරු වෙසින් ඉන්න සතුරන්ගෙන් අනතුරු වීමේ ප්‍රවණතාවය වැඩියි..


ඔයාලා ගාවත් තව තොරතුරු තියෙනවා නම් කියන්න..

Saturday, June 30, 2012

මොනවද කන්නේ..?

පහුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවුණු කතාබහකදී ජවිපෙ මන්ත්‍රීවරයෙක් අලුත් කෑමක් හඳුන්වා දුන් බව ප්‍රවෘත්තියකින් කියැවුනා.. එතුමා කිවුවේ "ජනතාවට දැන් කන්න වෙන්නේ මැතිවරණ" කියලා..

ඔය කතාව ඇහුවාම මට මතක් වුණේ මට අවස්ථා දෙකකදී හමුවුණු පුද්ගලයන් දෙදෙනෙකු කියූ මෙවැනි කතා දෙකක්..

1. මම අපේ ගෙදර අවශ්‍යතාවයකට හාඩ්වෙයාර් එකකට ගිහිං ඇණ වගයක් ගත්තා... ඒවායේ මිළ මං බලාපොරොත්තු වුණාට වඩා බොහොම අඩුයි.. ඇණ හරි ලාබයි නේද? මට ඉබේටම කියැවුණා..

ඒ ලඟ හිටපු අංකල් කෙනෙක්.... ඇණ තමයි දැන් මිනිස්සුන්ට කන්න වෙන්නේ.. කියලා බඩු මිළෙහි සුන්දරත්වය පැහැදිලි කළා.. උන්නැහැගේ කතාවත් ඇත්ත..

2. දවසක් අපේ බ්ලෙන්ඩරය හදාගන්ට කියලා, ඒවා හදන තැනකට ගිහිං,  ඒක හදනකං බලා ඉන්න අතර අපි නොයෙක් දේ කතා කරමින් හිටියා.. එතන හිටියා ලොරියක් හයර් කරන පුද්ගලයෙක්.. උන්නැහේ මේ රටේ වෙන අතිශය සාධාරණ කරුණු කීපයක් මතක් කළා.. උන්නැහේලට තියෙනවලු අවුරුදු පතා දුම් සහතිකයට අමතරව තවත් මොකක්ද සහතියකයක් ගන්ට.. ඒක ගන්ට ඕන ලංගමයෙන්ලු.. ඒත් ලංගමයෙ බස් වලට ඒ සහතිකය තියා දුම් සහතිකය වත් බල නොපාන බව උන්නැහේ මතක් කළා..මේක මිනිස්සුන්ගේ සල්ලි ගරාගන්න උපක්‍රමයක් විදිහට මිස රට ගැන හිතලා ගත්තු තීරණයක් වෙන්න බැහැ කියලයි උන්නැහැ කිවුවේ.. ඊලඟට උන්නැහේ කිවුවේ ජපානෙන් පාවිච්චි කරපු බඩු ගෙන්නන තැනක් ගැන.. මෙයාලා ජපානේ පාවිච්චි කරපු ඉලෙක්ට්‍රොනික උපකරණ ලංකාවට ගෙනැල්ලා, ලංකාවෙ අඩු මුදලට විකුණලා තියෙනවා.. දැං මාකට් එකේ තියෙන අලුත්ම චීන හෝ ඉන්දියානු උපකරණ වලට සාපේක්ෂව පාවිච්චි කරපු ජපන් උපකරණ දාහින් සම්පතයි කියන එක මමත් කිවුවා (මං ඒක අත්දැකීමෙන්ම දන්නවා).. ඒ වුණාට දැන් ඒ වෙළඳාම කරන්ට බෑලු..මොකද ගෙන්නන හැම උපකරණයකටම රු.2000/= ක විතර ලොකු බද්දක් ගහනවලු.. ඉතිං කොහොමද ඒවා ලාබෙට දෙන්නෙ.. ඔය අතරෙ ඩීසල්, පැට්‍රෝල්, කිරිපිටි එහෙමත් කරලියට ආවා.. අන්තිමට උන්නැහේ මෙහෙම කිවුවා..

දැන් මිනිස්සුන්ට කන්න වෙලා තියෙන්නේ බදු..

මොකද කියන්නේ.. මැතිවරණ කනවද? ඇණ කනවද? බදු කනවද?

මැතිවරණ සහ බදු නම් අපට ඕන වුණත් එපා වුණත් කන්න වෙනවනේ..

ඇණ කනවද නැද්ද කියලා තමයි තීරණය කරන්න ඕන..

තවත් විකල්ප කෑම මොනවා හරි තියෙනවා නම් කියන්නකෝ..

Friday, June 22, 2012

මයෙ පුතේ..


මයෙ රත්තරං පුතේ,
උඹ ලොකු උනාම කියාවිද දන්නෑ.. මං උඹට සැලකුවා මදියි කියලා..
ඒත් පුතේ,
මට පුළුවං හැටියට මං උඹට සලකනවා..
හැබැයි පුතේ,
මං උඹට රස මසවුළු දෙන්න, මහ මැදුරු හදන්න, සැප වාහන අරන් දෙන්න...
අනික් අයව අමාරුවෙ දාන්නෙ නෑ..
හොරකං කරන්නෙත් නෑ..
මංකොල්ල කන්නෙත් නෑ..
ඒ වගේම පුතේ..
උඹව ලොකු ඉස්කෝල වල දාන්න,
ලොකු රස්සා අරන් දෙන්න,
මං ජරාව දෙන්නෙත් නෑ..
මට ඕන උඹටත් මට වගේ සුන්දර ළමා කාලයක් දෙන්ට..
ඒත් ලෝකෙ මට ඒකට හරස් වෙලා..
ඉතිං මයෙ පුතේ..
උඹ මට නිකමා කියාවිද...?
උඹට මයෙ අවංක කම දොයිතුවක් වත් වටින්නෙ නැද්ද..?



රස වෑහෙන මිහිරි බොජුන්
සුව වෑහෙන මැදුරු විසල්
නෙක විසිතුරු මෙලොව ඉසුරු

නුඹට දෙන්න පුතේ..


අන්සතු දේවල් කිසිවක්
නුසුදුසු දේවල් කිසිවක්
වෙන කාගේ හරි සතුටක්
මම නොගනිමි පුතේ..



ලොකු ලොකු පාසැල් හොයන්න
ලොකු ලොකු රස්සා ලබන්න
ලොකු ලොකු උදවිය පස්සෙන්
නොම යමි සුදු පුතේ..


මං වින්දා වගේ සොඳුරු
ළමා කාලයක් නුඹටත්
දෙන්න තමයි  මට ඕනෑ
මයෙ සුරතල් පුතේ



මගේ පැතුම් සුන් උනොතින්
නුඹ මට නිකමා කියයිද
කළ සෙත කිම දැයි අසයිද
නොදනිමි මයෙ පුතේ...

නුඹ මට කෙතරම් බැන්නත්

හෙට දවසේ මට පුළුවන්
මගේ පුතා හොඳ මිනිහෙක්
කියන්ට මයෙ පුතේ..


Thursday, June 7, 2012

"ඔහු" කවුරුදැයි පුළුවන්නම් පවසන්න..

දවසක් දෙකක් නොව අට වසරක් තිස්සේ
වෙහෙසක් නැතිව ඇය ගේ හිත ඔහු පස්සේ
මොහොතක් ඇයට පෙන්වා පෙම් හිත රිස්සේ
පිටසක්වලය ඔහු නිතරම වස් වැස්සේ


ඔහුගේ දියුණුවයි නිතරම ඔහු බැලුවේ
ඇයගේ දරුවො ගැන නැහැ පොඩියක් හිතුවේ
පිටිනුත් ණයට ගෙන ඔහු මඬි තර කෙරුවේ
ඇය නම් කඳුළු බිඳුවක් පමණයි හෙළුවේ


දරුවන් අනතුරේ! නෑ නිසි පිළිවෙලට
ඇය විකුණන් කන්න ඔහු බැලුවේ යසට
ඇගෙ ලඟ තිබූ හැම පිච්චිය ඔහු හොරට
අරගෙන වහසි බස් දොඩවයි දැන් ලොවට


සොයුරන්, පුතුන් පමණක් නොව දැන ගන්න
මිතුරන් හටත් දී ඇත ඇය කෙළෙසන්න
දරුවන් දැරුවොතින් තැත් ඇය රැකගන්න
එසැණින් හැකිය සුරලොව තරු දැක ගන්න


ඔහුගේ දෙබිඩි පිළිවෙත තව නොම දන්න
දරුවන් කියයි තවමත් ඔහු රැක ගන්න
බොරු ආඩම්බරේ බැහැ තව ඉවසන්න
මේ හොර තාත්තව දැන්වත් එළවන්න

Wednesday, May 30, 2012

වෙයා...

 වෙයා කියා සිංහල වචනයක් ඇති දැයි මා දන්නේ නැත. ඒත් ඉංගිරිසියට නම් මේ "වෙයා" ව නැතිවම බැරිය. මං ලඟින්ම ඇසුරු කරන්නේ කොම්පීතරය හින්දා එතැනින් පටං ගත්තොත්..


කොම්පීතරයත් එක්ක සහවාස වන "වෙයා" හතරක් ඇත. ඒ හා(ර්)ඩ් වෙයා, සොෆ්ට්වෙයා, ලයිවු වෙයා සහ ෆර්ම් වෙයා ලෙසිනි.. මෙයිනුත් මට සමීප වී ඇත්තේ සොෆ්ට්වෙයා ය. සොෆ්ට්වෙයා කීවාමත් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා සහ සිස්ටම් සොෆ්ට්වෙයා ලෙස භාවිත වේ.. මේවායින් සමහරක් ෆ්‍රී වෙයා වන අතර අනෙක් සමහර ඒවාට ගෙවන්ට ගිහාම නෝ වෙයා වන බව ද මතක් කළ යුතුය. සමහර සොෆ්ට්වෙයා හොයන්න අපට වෙබ් එකේ එවුරි වෙයා හොයන්ට වෙනවාය. සම්වෙයා හරි තිබුණොත් හොඳය. නැතිනම් නෝ වෙයා ම තමාය. දැං කොම්පීතරේට වඩා සොෆ්ට්වෙයා ෆෝන් එකට තියෙනවාය...


කොම්පීතර් ගැන කතා කරද්දි හමුවෙන හාඩ්වෙයා වලට අමතරව තවත් හාඩ්වෙයා වර්ගයක් තිබේ.. ඒ ගොඩනැගිලි ද්‍රව්‍ය වගේ ඒවා විකුණන කඩ විශේෂයකි. මේක නම් බලා ඉන්දැද්දි දියුණුවෙන්ට ඇහැකි බිසිනොස් එකකි.. 


කොහොම කිවුවත් අපට වඩාත්ම සමීප වෙයා එක අන්ඩ වෙයා එකය.. මෙයට අමතරව, සැනිටරි වෙයා, ෆූට් වෙයා, වගේ ඇඳ පැළඳ ගන්ට පාවිච්චි කරන වෙයා වර්ගත් එමටය..


නාන කාමර උපකරණ ආදී දෑ වලට බාත්වෙයා කියා කියනවාය.


අවෙයා කියන්නේ "දන්නා" කියන එකටය. බිවෙයා කියන්නේ පරෙස්සම් වෙන්ට කියන එකටය.  මෙන්න මෙතැනට ගියොත් වෙයා අගට යෙදෙන වචන පනස් ගනණක් බලා ගත හැකිය..

ඔය ඔක්කොටමත් අමතරව "කොතනද" යන අරුතින් හා වාක්‍ය සම්බන්ධ කරන්නත් වෙයා යොදනවාය....


කොහොම වුණත් "වෙයා" කියන්නේ කටේ නිතර මිමිණෙන වචනයක්ය 





Monday, May 28, 2012

ලේසිය තකා නසමු ද බස අමු අමුවේ..

පාසිය බැඳෙයි දෝ පෙරැලෙන ගල හමුවේ
කාසිය, බලය ම ද ජය කණු ඇති මෙ ලොවේ
නෑසිය, මිතුරනේ ඇති හෙළ ලෙය පපුවේ
ලේසිය තකා නසමු ද බස අමු අමුවේ


හෙළයේ උදාරම් පවසනු පිණිස ඇති
ලකුණකි "සඳැස් කවි" ! එය බොරුවක් නොවෙති
"සඳැසක්" මේ කියා හඳුනා ගනු කැමැති
නෙකයුරු රීති එහි ඇත රසයට හිතැති


විරිතෙහි දෝස නෙක වන "මත් දොස්" ආදී
සැමහට දැනෙයි වරදක් බව ගැයුමේදී
තව බොහො දෝස තිබෙනව' "යවහන්" ආදී
සමහරු නසති නොතකා ගුරු පොත්, ආදී


"සඳැස් කවිය" පොහොරක් වුණි හෙළ බසට
එහෙත් කිමද බාධක මේ කවි කෙතට
වෙනස් කළොත් රීතිය පවතින දැනට
"සඳැස්" කියා කිව හැකිදැයි සැකකි මට

ප.ලි.
හෙළ බසෙහි හා සඳැස් කවෙහි  අගය නොදන්නා කමට හෝ  අලුත් දෑ තැනීමට හෙවත් නව නිර්මාණ බිහි කිරීමට සඳැස් කවෙහි රීති නැවත සැකසිය යුතුයැයි ඇතැම්හූ තර්ක කරති...
දැනට පවතින තත්වයෙන් ඉදිරියට ගෙන යාම සඳහා රීති පිළිබඳ කතිකාවක් ඇති කිරීම යහපත්ය. එහෙත් මෙතෙක් පැවැති රීතීන් තමන්ගේ නොහැකියාව වසා ගැනීමට වෙනස් කරන ලෙස බල කිරීම සුදුසු දැයි නැවත නැවතත් සිතිය යුතුය.. අනෙක එලෙස වෙනස් කළ පසු එම කවි තව දුරටත් "සඳැස්" ලෙස සැලකිය හැකියැයි මට නොසිතේ.. එය වෙන මොකක් හෝ එකක් විය හැක..

Wednesday, May 23, 2012

බැරි දා විග්‍රහය..! තුන්දෙනා දාන්ට බැරි මොටෝ සයිකලේ..

නැති බැරි අපට හැමදාමත් බැරි දා ය.


හිඟා කන්න බැරි කමට හිඟා නොකෑවට, වැඩිමනත් හුදී ජනයා හිඟා නොකා හිඟා කනවාය කියලා කියන්නේ රජයට මඬ ගහන්ටය. අපේ ඈයෝ හිඟා කන්නට රුසියෝය.. නිකං දුන්නොත් දෙමළ පත්තරෙත් ගන්නවාය.. මේ කෙළිය නවත්තන්නට රජය ප්ලෑන් පිට ප්ලෑන් ගහයි..


මුලින්ම තී රෝදෙට, මෝට සයිකලේට පොඩි ඉන්ජැස්සන් එකක් ගැහුවේ කාටත් ඇහැරෙන්ටය.. දැන් ඕනා එකයි, එපා එකයි තී රෝද, මෝට සයිකල් ගන්ට උඩ පනින්නේ නැත.. ඒ කියලත් අහන්නේ නැති උන්ට දැං ඔපරේසොං එකක් පටං ගෙන ඇත..


තී රෝදෙක පිටිපස්සේ පුටුවේ යන්න පුළුවං තුන් දෙනෙකුට පමණි (දරුවන් ද ඇතුළුව). මෝට සයිකලේක එම ගනණ 2 කි.. නැති නම් මුන් පවුල් පිටිං යන්ට මේ පුංචි වාහනේ යොදාගන්ට බලති.. මුං බලන්නේ ලාබය ගැනය.. ඒත් එහෙම ගිහාම තියෙන කැත ගැන උන්ට වගේ වගක් නැත..


තී රෝදයක් හයර් එකට අරං යන්ට එන දරුවෝ දෙන්නයි, අම්මයි, තාත්තයි කියන පවුල සලකන්න... මෙයාලට විකල්ප කීපයක් තිබේ..


1. අම්මයි දරුවෝ දෙන්නයි තී රෝදයේ නංවා තාත්තා බසයේ පැමිණීම
2. අම්මයි, තාත්තයි, දරුවෙකුයි තී රෝදයේ ගොස් එක දරුවෙකු බසයේ පැමිණීම. (දරුවා 12න් පහල නම්.. මෙම ක්‍රමය වඩා වාසි දායකය..
3. නැනෝ කැබ් එකක් ගෙන්වාගෙන සැප පහසුවට ගමන යාම
(සිරි දේසේ සරු සාර මිනිසුන් 3 වැනි විකල්පය තෝරා ගන්නවාට සැකයක් නැත්තේ මය..)


මෙච්චර කල් මොටෝ සයිකලෙන් මුළු පවුලෙම බර ඇද්ද අයටත් දැන් රෝද හතරක් ගැන හිතන්නට අවස්ථාව උදා කර ඇත.. එතෙක් ඔවුනට ද ඉහත විකල්ප භාවිත කර හැක..


රටේ එපාම කරපු පිරිස වැඩියෙන්ම පාවිච්චි කරන මොටෝ සයිකල් හා තී වීල් මෙරටින් තුරන් කිරීමට බලධාරීන් කල් මැරුවා වැඩිය..


ප.ලි.
තුන් දෙනා දාන්ට බැරි මොටෝ සයිකලේ මක්කටෙයි කියලා හිතුණා.. ඒත් ඉතිං අහවල් එකක් කරන්ටෙයි කියලා මෙහෙම ලියලා නිකං හිටියා..

Tuesday, May 15, 2012

ඔබා ගේ නික්ම යෑම හා මරණය!





සයිබර් අවකාශය තුළ එක්තරා සලකුණක් තබන්නට සමත් වූ සුවිශේෂ වූ මිනිසෙකු අපෙන් සමුගෙන ඇත. සමස්ථ සයිබරයම ආදරයට ඔබා, ඔබා මාමා, ඔබා අයියා ආදී වශයෙන් හැඳින්වූ සනත් විජේවර්ධන නම් ඒ බ්ලොග් සහෘදයාණන් අපගෙන් සමු ගෙන ඇත.. එය මා සයිබරයේ පිටු අතර සැරිසරන්නට සිතා මීට සුළු වෙලාවකට පෙර සූදානම් වීමේදී දැනගත් කණගාටුදායක ආරංචියයි.. ලෝ දහමත් එයම බව නොදන්නෝ කවරහුද?


සත්තකින්ම මා ඔබා සොයුරා වෙනුවෙන් මේ සටහන තබනුයේ.. අනික් හැමෝම සටහන් තබන නිසා හෝ, මට එසේ තැබීමට අයිතියක් තියෙන නිසා හෝ, මා එසේ සටහනත් තැබිය යුතු නිසා ම නොවේ..


මට මතක හැටියට මගේ බ්ලොගයේ ඔහු කමෙන්ටුවක් දමා නැත. මා හා වචනයක් වත් දොඩා නැත. අප මුණ ගැසී වත් නැත. ඒ තබා චැට් එකක් වත් දමා නැත.


එහෙත් ඔහු අනෙක් බොහෝ දෙනාගේ මෙන්ම මගේ හිතත් දිනා ගන්නට සමත් වූවෙකි.. ඔහු මේ තරම් ඉක්මණින් අප හැර යාවි යැයි මම නොසිතුවෙමි.. එනිසාම හදේ තිගැස්මක් ඇත.


ඔබා සොයුරාගේ මරණය අපට නැවතත් මතක් කරණුයේ බුදුරදුන්ගේ ධර්මය මිස අනෙකක් නොවේ..
මරුවාට කැමති වේලාවක අප කරා පැමිණිය හැකි බවට මේ නිදසුනකි..


අපට ද යන්නට වෙලාව එනු ඇත.. යන්නේ හිස් අතින් ද, පුරුදු කළ උතුම් ගති සිරිත් අතැතිව ද යන්න තීරණය කරන්නේ අප ම ය. අප කරන ක්‍රියා ය. අප සිතන පතන විදිහ ය.


නොසිතුව මොහොතක එයි මරු අප වෙත
නිරතුරු ඒ ගැන සිත යොදවනු මිත
නැති වන තුරු හරි හැටි වාරුව ගත
නොසිටිනු ජය ගන්නට පහදා සිත




මිය ගිය ඔබා හෙවත් සනත් සොයුරා ට නිවන් මඟ හෙළි පෙහෙලි කර ගැන්මට අවස්ථාව උදා වේවා යි පතමි..

Thursday, May 3, 2012

මං දැං ම මැරෙයිද...?

මේ ප්‍රශ්නය, ප්‍රශ්නයක් විදිහට නෑවිත් උත්තරයක් විදිහට ආවා මීට අවුරුදු 16කට විතර කලිං.. ලෝකාන්තෙ පැත්තෙ විනෝද චාරිකාවක් යද්දී අපි ගියපු වෑන් එක කන්ද නගිද්දී නැවතිලා ස්ටාර්ට් කර ගන්න බැරුව ආපස්සට වේගෙන් එද්දී මට හිතුණා තව ටිකකින් ජීවිතය අවසන් වෙන්ට යනවැයි කියලා.. මට පිටිපස්සේ උන්නු අයත් ඉස්සරහා දොර ගාවට යන්න නිරර්ථක උත්සාහයක් ගනිද්දී... මං හිතුවේ.. දැනට අවස්ථාවක් නෑ.. ලැබුණොත් බලමු.. කියලා හිතාගෙන ඉස්සරහා සීට් එක හොඳින් අල්ලගෙන "නමෝ තස්ස..." ආදී වශයෙන් වූ ගාථා කියලා හිත ඊලඟ භවයට සූදානම් කර ගැනීමයි.. බුද්ධ ධර්මය ගැන ඉතාම අල්ප දැනුමක් සහ උනන්දුවක් තිබූ ඒ යුගයේ දී මගේ හිතට ඒ අදහස ආවේ කොහොමද කියලා මට තාම හිතා ගන්ට බෑ.. ඒත් පාරේ කොණක තිබුණු ගලක වැදිලා වාහනේ නවතින වෙලාව වෙනකොට අපිත් එක්ක ගිය අපේ යාළුවො බය වෙලා හිටිය හැටි මතක් වෙනකොට නං හිනාත් යනවා..

කකුල බිම ගහන්න බැරි තැන් වල පීනීමේ අපහසුවක් තියෙන මං ගිලෙන්න ගිය අවස්ථා කීපයක් තිබුණත් තව ටිකකිං මැරෙයි කියලා නං හිතුණු බවක් මතක නෑ..

පිරිබාහරන් ගොයියා ඇස්ටි හැලෙන්ට කොළඹ හා ඒ අවට බස් වල බෝම්බ තියන්ට හිටපු කාලෙ තමයි ප්‍රථම වතාවට මැරෙන්න බයක් දැනුණේ.. ඒ කාලෙ කොයි තරම් ගැස්මක් තිබුණද කිවුවොත් හුටු හුටුවෙන් යද්දී පුළුවන් තරං පාවිච්චි කළේ කැලෑ පාරවල්. බස් ලඟින් යන්නේ නෑ.. පුළුවන් තරං ඈතිං වේගෙන් ඉස්සර කරගෙන තමයි යන්නේ.. (ඒ කාලකන්නි යුද්ධය සාර්ථකව නිමකරන්ට දායක වුණු හැමෝටම පිං). මේ බය තිවුනෙ නිකංම නෙවෙයි.. මං වග කිව යුතු පවුලක් මට හිටපු හින්දයි.. එයාලගේ අනාගතය වෙනුවෙන් සැළකිය යුතු යමක් ඒ වෙනකොට මට කරන්ට බැරි වෙලා තිබුණු හින්දයි (තාමත් එහෙම්මමයි..)  බෝම්බයෙන් අනතුරක් වුණොත් කියලා දාන්ට ගිය රක්ෂණේ නොදැම්මේ, බෝම්බයකින් මැරෙන එක ස්වභාවික මරණයක් විදිහට එයාලා වර්ග කරලා තියෙන බව දැන ගත්තු හින්දයි..


ඒත් දැං මට ආයෙමත් මං මැරෙයි ද? කියලා හිතෙනවා... ඔයාලා හිතන්නේ කොහොමද?
ඇත්තටම මං මැරෙයිද? එහෙම වුණොත්, මගෙ දෙමවුපියො වෙනුවෙන්, මගෙ බිරිඳ වෙනුවෙන්, මගෙ දරුවො වෙනුවෙන්.. මං මොනවද කොරලා තියෙන්නේ..? මේවට දෙන්න උත්තර මගෙ ගාව නෑ.. මං දන්නවා.. ඔයාලා ගාවත් නෑ..


ප.ලි
මේ ලියලා තියෙන්නේ ඇත්තමයි කියලා හිතන්න එපා.. ඒත් ඒක එහෙම නෙවෙයිම කියලත් හිතන්න එපා..!

Thursday, April 26, 2012

අවවාද ගැන අවවාදයක්


ඉහත උපුටා ගැනීම මහමෙවුනා භාවනා අසපුවේ අලුතින් පැවිදි වූ පිංවත් ස්වාමීන් වහන්සේලාට ඔවුන්ගේ පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීම උදෙසා ලබා දුන් අවවාද අනුශාසනා ඇතුලත් "අවවාද ගැන අවවාදයක්" නම් පොත් පිංචෙනි..
මගේ අදහස..

ඇතැම් අයගේ අවවාද විධි වෙනස්වා මෙන්ම අවවාද ලබන අය අනුවත් අවවාද  දෙන ස්වරූපය වෙනස් වේ.. 
ඇතැම් අය නවකයන්ට අවවාද දෙනවා වෙනුවට අවලාද නඟයි..
ඇතැම් නවකයෝ අවවාද නුරුස්සති.. තමන්ට තමන්ගේ වැඩේ තමන්ට ඕන විදිහට කර ගතහැකි බව ඔවුහූ සිතති..
ඕනෑ තැනටත්, එපා තැනටත් අවවාද දෙන්නට යෑම ඒ හැටි හොඳ දෙයක් නොවේ.. විශේෂයෙන් එය නවකයන්ගේ ස්වාධීන චින්තනයට බාධාවකි..
වැරදි මඟ යනවිට, හරි මඟ නොදකින විට පෙන්වා දීම කළ යුතුය..
බුදු දහමේ විස්තර කරන කල්‍යාණ මිත්‍රයා... තම මිතුරන්ව නිවන් මඟ කෙරෙහි යොමු කරයි.. නිතර අවවාද දෙයි.. විවිධ වූ ක්‍රම වලින් අවවාද දෙයි..

හැම දේම මෙන්ම.. අවවාද ද සුදුසු පමණට, සුදුසු තැනදී ලැබීම වාසනාවකි..!

ලබනා අවවාද බෙදනා අවවාද
සුදනා දනී නොනඟයි නෙක අවලාද
නිතිනා වාසනාවකි නිසි අවවාද
බැතිනා පුදමු උතුමන්, දෙන අවවාද....!

Tuesday, April 24, 2012

කේ. ලීලාවතී මෑණියන්ට පිං පිණිස.....

ලබාපු අලුත් අවුරුද්දේ අලුත් වෙනසක්  කොරන්ට කියලා හිතාන ඔන්න මං හද පතුල ජනසතු කොරන්ට උත්සාහ කොළා.. අනේ වැඩේ හබක්..! හදපතුල බලන ඈයෝ කීප දෙනෙක් මේකට විරුද්ධ වුණා නෙව.. දැං ඉතිං මක් කොරන්ටද? මාත් ඉතිං අර ඉල්ලා අස්වීම අස්කරගත්තු ඇමැත්තෙක් වගේ ලැජ්ජාවෙන් මගේ උස්සහයත් අකුලගත්තා.. අපේ උන්දැලා ඔහොම ම නේ.. බෙදනවට කැමතිම නෑ... හෙහ්..!

බින්දි කිවුවා වගේ අනන්‍යතාවය කියන එකේ නං මහා ලොකු වටිනා කමක් තියෙනවයි කියලා මටත් හිතෙනවා... මටත් එහෙම අනන්‍යතාවයක් තියෙනවයි කියලා මට විශ්වාසයක් ඇති වුණේ බින්දිගේ කතාවෙන්.. එහෙම එකක් තියෙනවා නං මොකටද ආයෙ ඇඹරෙන්නේ...... තිබුණටත් වැඩිය ගැම්මකිං මේ කෙරුවාව කරන්ට ඕනි කියලා හිතුනා ... ඇත්තමයි.. !

 =========================================================================


"කේ. ලීලාවතී මෑණියන්ට පිං පිණිස මෙම අසුනේ පූජ්‍ය පක්ෂයට නොමිලේ ගමන් කළ හැක"


මං අද ආපු බස් එකේ පූජ්‍ය පක්ෂය වෙනුවෙන් වෙන් කරපු අසුන ලඟ ගහලා තිබුණේ මේ වගේ අරුතක් තියෙන වාක්‍යයක්.. මං දන්නේ නෑ කොහොමද මෙහෙම පූජ්‍ය පක්ෂයේ අයට නොමිලේ යන්න දෙන්න අයිතිකාර මහත්මයා එකඟ කර ගත්තේ කියලා.. කොහොම වුණත් අගේ ඇති වැඩක් කියලා මට හිතුනා.. ඒ මැණියන්ට පිං ලැබුණත්, නොලැබුණත්.. ඒ කර්තව්‍යයට දායක වුණු අයට නං නිසැකවම පිං අයිති වෙයි.. මොන ආගමක වුණත් පිදිය යුතු අයට නොවැ පූජ්‍ය පක්ෂය කියලා කියන්නේ... ඉතිං එහෙම අයට සාමාන්‍ය අයට වගේ බස් රථ වල යන්න මුදල් අය කළ යුතු නෑ කියලයි මං නං හිතන්නේ.. මොකද ඒ අය තමන්ගේ ජීවිත අනුන් වෙනුවෙන් කැප කරලයි බොහෝ විට ගිහි ගෙයින් නික්මිලා මේ සේවය කරන්නේ.. (දුස්සීල අය මෙයට අයිති නෑ හොඳේ..)


කොහොම වෙතත් පූජ්‍ය පක්ෂයත්, වයසක ඇත්තොත් බස් රථ වල ගමනක් යන්න ගිහාම ලබන සැලකිල්ල මදි කියලා මං දැකලා තියෙනවා.. මේ ගැනත් අවධානය යොමු කරන්න පිං කරන ඇත්තන්ට සිත් පහල වේවා...!

Thursday, April 19, 2012

"හදපතුල" බෙදා දීමට අයිතිකරුවන් අවශ්‍ය කර තිබේ..!

"හද පතුල" බ්ලොග් අඩවිය අවුරුදු දෙකකුත් මාස කීපයක් මට හැකි විදිහට හා හොඳයි කියා හිතෙන විදිහට පවත්වාගෙන ආයෙමි.. දිගින් දිගටම පවත්වාගෙන යන්නට අදහස් කරගෙන උන්නෙමි.. එහෙත් මට දැන් හිතෙන හැටි වෙනස්ය.. මෙය මට වඩා ලියන්ට පුළුවන් වගේම ලියන්ට වෙලාව ඇති කෙනෙක් පවත්වාගෙන යනවා නම් හොඳයි කියලා හිතෙයි.. මටත් ඔය ඉඩක් ලැබුණොත් පෝස්ටුවක් දාන්ට බැරියෑ.. කියා හිතෙයි..

හැබැයි අයිති කාර කම දුන්නට නෝටි පෝස්ටු දාන්න නම් ඔට්ටු නෑ.. බලන කෙනාට මොකක්ම හරි වැදගත් කරුණක් කියවෙන ලිපි තමයි මෙහි පළ වෙන්ට ඕන..

එහෙම කෙනෙක් ඉන්නවා නම් මට මේ තොරතුරු ටික එවන්ට..

ඊ ලිපිනය:
දු.ක. (ජංගම/ස්ථාවර)
ලියපු ලිපියක් හෝ කළ නිර්මාණයක් (තමන්ගේම) ..

විහිළුවක් එහෙම නෙවෙයි... සමහර විට මං හෙමීට කැපෙන්නත් පුළුවන්..!


මගේ ඊ ලිපිනයට එවන්ට..
canwijekoon@gmail.com


ප.ලි.
කෙනෙකුට අවශ්‍ය නම් අලුතින් බ්ලොග් එකක් පටන් ගැනීම මහා දෙයක් නෙවෙයි.. ඒත් අවුරුදු දෙකක් පවත්වාගෙන ආපු, දවසට 100ක් විතර බලන බ්ලොග් එකක අයිතිකරුවෙක් වෙන්ට ලැබීම බෝනස් එකක් වෙයි මයෙ හිතේ..

Friday, April 6, 2012

ගහපු රිකට්, අහපු රිකට් හා බලපු රිකට්

ජුලිස් මැන්ඩිස් අපේ රිකට් පිළේ ලොක්කා වෙලා ඉන්න කාලෙ තමයි මං රිකට් අහන්න බලන්න පටං ගත්තේ.. 


මතකද අපේ එකෙක් මුල්ම ටැස්ට් ලකුණු 1000 ගහපු දවස..? මට මතක හැටියට ඒ 1985 විතර කාලෙ.. ප්‍රතිවාදියෝ කවුද කියලා නං මතක නෑ.. මං ඒ තරඟය රේඩියෝ එකෙන් ඇහුවා මතකයි.. රෝයි ඩයස් තමයි 1000ට ලං කරලා උන්නෙ.. දුලිප් මැන්ඩිස් උන්නැහේත් ඒ තරම් පිටිපස්සෙන් නෙවෙයි උන්නෙ.. ඔන්න ඉතිං රෝයි අයියා 1000 ට කිට්ටු කරනකොට ම දුලිප් අයියා වේගවත් පිතිහරඹයක නිරත වෙලා ලකුණු සමාන කරගත්තා 999යි.. හැබැයි ඉස්සෙල්ලා ම 1000 ගැහුවේ රෝයි වගෙත් මතකයි.. ඒත් හරියටම මතක නෑ..
ඔය කාලෙම තමයි අපි ඉන්දියාව පරද්දලා ටැස්ට් තරඟයක් හා තරඟාවලියක් දිනන්නේ.. ඒක අපේ පළමු ටැස්ට් ජය හින්දා ක්‍රිකට් උන්මාදයක් රට පුරා පැතිරෙනවා.. ඔය කාලේ දවසක් අපි ගමනක් යද්දී මට වඩා චුට්ටක් වැඩිමල් (මට එතකොට අවු.8ක් විතර ඇති)  කොල්ලෝ කීප දෙනෙක් රිකට් ගහනවා (එයාලා කියන්නේ එහෙමයි) . අපේ අප්පච්චි එයාලගෙන් ඇහුවා.. අපේ ටීම් එකේ කැමතිම ක්‍රීඩකයා කවුද? කියලා.. ගත් කටටම එක කොල්ලෙක් කියපි.. "ජුලිස් මැන්ඩිස්" කියලා..


ඒත් මං නං ඒ කණ්ඩායමේ වැඩියෙන්ම ආසා කළේ.. රෝයි, අර්ජුන, රන්ජන් (රාමණායක නොවේ.. මඩුගල්ල) , සිදත් හා රුමේෂ් රත්නායක.. කියන කට්ටියට.. පස්සේ ඔය ලිස්ට් එකට රොෂාන් මහානාම එකතු වුණා.. ඉස්සර ඇස්ට්‍රා එක්ක රිකට් ගහන අයගේ ඉට්ටිකල් දෙනවා.. ඉතිං ආසාවෙ ඉන්නේ ඉස්සෙල්ලා කියපු අයගේ ඉට්ටිකල් හම්බ වෙනකං..


අපේ ඉස්කෝලෙ ක්‍රිකට් වලට වඩා ගහන්නේ එල්ලේ.. ලොකු පංතියේ අයියලා රිකට් ගහපු වෙලාවල් තිබුණා.. සමහර වෙලාවට එයාලත් එක්ක සැට් වෙලා රිකට් ගහනවා.. මාව ගන්න ඒ අය අකැමති නෑ.. මොකද එතන එවුන්ගේ හැටියට ටිකක් හොඳට පිත්ත වනන්න මට පුළුවං  හින්දා..


ටික ටික රිකට් උන්මාදේ ලංකාව පුරා පැතිරිලා යද්දී මටත් රිකට් උණ හැදිලා තිබුණා.. ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ලොකු ඉස්කෝලෙකට ගිහිං රිකට් ගහන්න හීන පවා ඒ කාලෙ තිබුණා.. එහෙවු ඉස්කෝලෙකට ගියාට පස්සේ තමයි තේරුණේ ඒවා එහෙම ලේසියට කොරන්න පුළුවං වැඩ නෙවෙයි කියලා.. අනික මං හිතාගෙන හිටි තරං හපනෙකුත් නෙවෙයි කියලා මට තේරුණා..


මේ වෙනකොට ටීවී එකේ හොඳට රිකට් පෙන්නනවා.. අපිත් කට ඇරං බලං ඉන්නවා.. ඔහොම ගිහිං අපි උ/පෙ ලියපු අවුරුද්දෙ තමයි අපේ අයියලා ටික ලෝක කුසලානෙ උහං ආවේ.. ඒ කාලෙ සංතෝෂෙ පැලුන් නැති ටික විතරයි..


ඊට පස්සේ වෙච්ච දේවල් ටික ඉතිං ඒ හැටි පරණ නෑ නොවැ.. කොහොම වුණත් මෙච්චර කාලයක් සනීප කරන්ට බැරුව හිටිය රිකට් උණ සනීප කොළේ "කෝලි" කොලුවා.. එදා මාලිංගට කාලිංග වෙන්ට දෙන්ට දෙන්ට මාලිංගවම දානකොට ඒ දාද්දි ඉස්සෙල්ලත් වඩා ගහනකොට දැනුණ රහ මතක තිබුණොත් නං ආයෙ රිකට් වලට වහ වැටෙනවා බොරු.. ඒත් ඉතිං ඔයි වගේ ලෙඩ නිට්ටාවට සනීප කොරන්ඩ අමාරුයි..