Thursday, September 12, 2013

හිතේ මැවුණ රුව නුඹගෙයි දුටුවෙ පමා වෙලා....

නීල නයන දිගු ඉඳුවර නුඹට උරුම .....වෙච්චී
මාල වළලු අරුමෝසම් තාලෙට හෙල..වෙච්චී
ආල වඩන ඉඳුරන් මගෙ හීනෙට බර ...වෙච්චී
බාල උනත් නුඹ ගැන සිත ආලය ඇති .වෙච්චී

සතේ නැතත් මං ඉන්නම් කියා ආව .......පලා
පතේ බතුත් නැතැයි ඇයත් කියයි කඳුළු ..සලා
ගතේ දිරිය තිබුණට මම හිඳිමි වෙමින් ....මුළා
හිතේ මැවුණ රුව නුඹගෙයි දුටුවෙ පමා වෙලා

සඳේ රුවට කැටයම් කළ මූණ ටිකක් ...හරවා
විදේසයෙන් ගෙනා සුවඳ පුයර හිතේ ...පුරවා
හදේ පතුල පෙනෙන ලෙසට සිනහ වීසි කරවා
ළඳේ වචන දෙකක් කියන් මගේ හීන ..මරවා


Friday, September 6, 2013

දිලෙනු ගගනත සුපිපි සඳ මෙන

සතුටින් ඔද වැඩෙන
සෙනෙහෙන් අපව සනහන
මිතු දම් නිති රකින
නුඹ මගේ දියණියයි සැම දින

දැන් හය වසරකී
පීදෙන නැවුම් මලකී
වූවද ලොකු එකී
තාම නුඹ මට තෙමස් සෙයකී

මනුදම් හැඳිනගෙන
ගුණදම් නිති වඩවගෙන
සිරිදම් සිතට ගෙන
දිලෙනු ගගනත සුපිපි සඳ මෙන

Tuesday, September 3, 2013

අපිත් එක්ක සැට් වෙන්නේ..

ඔෆිස් එන්න උදේම
මා නැඟි බස් රියේම
ගෑණු ළමයි වට කරගෙන
කොල්ලන් හැම වෙලේම

මගේ තරුණ කාලයේ
සෙල්ලං මතකය තියේ
ගෑණු ළමයි මා අසලම
දැවටි දැවටි නොවැ ගියේ

මුංගෙ සද්දෙ හරි වදේ
ඇති වගෙ බරටම තදේ
ඒ කාලේ ලවු කෙරුවේ
ඔහොම නෙවෙයි අපි හොඳේ

ඇවිදින් ආයතනෙ වෙත
දැමුවා එෆ් බි ය ට අත
හරි ලස්සන කෙල්ලො පිරිල'
ඒ වෙතමයි යන්නෙ හිත

කෙල්ලෝ චැට් නොම කරයි
කොල්ලන් වෙතටම දුවයි
අපිත් එක්ක සැට් වෙන්නේ
නාකි හුටප්පර තමයි

Wednesday, August 28, 2013

දැම්මෙමි මමත් එහෙනම් ලස්සෙට ..කොඩිය


දවසක් දෙකක් නොව තෙවසරකට .....වැඩිය
හෙමිහිට නමුදු නැංගෙමි පඩියෙන් .......පඩිය
ලද සහයෝගෙ ඔබ ගෙන් ගෙන දුනි ...එඩිය
දැම්මෙමි මමත් එහෙනම් ලස්සෙට ..කොඩිය

කවියෙන් පටන් ගත්තෙමි යන්තම් ....අමුණා
හරියට කවි හදන්ටත් ඉඩ කඩ ..........ලැබුණා
පැදියට ගැදියටත් සහයෝගය ..........තිබුණා
බැරිදා විග්‍රහය ජීවිතයට .....................එබුණා

පළවෙනි කමෙන්ටුව ගෙන ආ මිතුරු .....දුකා
"මනුසත්" දෙවැනි.. "බිඟුවා" ලෙංගතුම ...එකා
ඔය වගෙ බොහෝ අය සිටියා තනිය ......මකා
හැම ගැන කියනු බැහැ පින් දෙමි කඳුළු ..වකා

මුලදී මටත් දැමුවට එක එක ................කින්ඩී
අමතක කරනු බැහැ අවකාශයෙ ..........සින්ඩී
ගැහුවට පම්පෝරි අද වාගේ ...............චණ්ඩී
සින්ඩිය නොවෙන්නට "හදපතුල"ත් නොන්ඩී

පෙර දින දුන්නු සහයෝගය දෙගුණ ....කර
පිය මැන යන්න ලොව වෙත එය එකළු කර
මට අත දෙන්න ඔබෙ අදහස් අවදි .......කර
සලකමි ඔබට මගෙ කවි හිත පුබුදු .......කර

Tuesday, August 27, 2013

Phobia.. ! භීතිකා

යම් කිසි දෙයකට දක්වන අනියත බිය හෙවත් භීතිකාව ට ඉංගිරිසියෙන් ඔහොම කියනවා.. මනස ගැන ටිකක් හදාරපු කෙනෙක් හරි.. සියල්ල දත් කෙනෙක් හරි හිටියා නං මීට වඩා විස්තරයක් ඒ ගැන කරාවි.. 

මට Phobia කියපු ගමන් මතක් වෙන්නෙ එක්තරා කාලයක බොහොම හිතවත්ව හිටපු නංගි කෙනෙක්ව.. 

මෙන්න මේකයි කතාව.. අපි එක්තරා ප්‍රසිද්ධ උපදේශක මහත්මයෙකුගේ වැඩමුළුවකට සහභාගී වුණා.. මේ නංගිවත් මට මුණගැහුනෙ එහෙදි.. ඉතිං ඔය වැඩමුළුවෙ එක්තරා අවස්ථාවක.. අපි ඔක්කෝවම එක තැනකට ගෙනත් අපේ ගුරුතුමා අපට පුංචි පාඩමක් කියලා දෙනවා.. ඒ Phobia.. ගැන.. 

සර් කියනවා සමහරු කැරපොත්තන්ට බයයිලු, සමහරු මකුළුවන්ට බයයිලු, සමහරු සර්පයින්ට බයයිලු.. යනාදී වශයෙන්.. මේවා ඔක්කොම අපේ හිතේ තියෙන අදහස් නිසා ඇති වෙන බියවල් මිසක ඇත්තටම බය වෙන්ට කරුණු බොහොම අඩුයි... යනාදී වශයෙන්..  මේ කෙටි පැහැදිලි කිරීමෙන් පස්සෙ.. අපේ සර් අහනවා.. දැන් ඔයාලගෙන් කාට හරි Phobia... එහෙම තියෙනවද? කියලා..

අපේ හිතවත් නංගි නැගිටලා.. මෙහෙම කිවුවා.. 

"සර්.. මං මීයන්ට හරී... බයයි.."

සර් ගත් කටටම කිවුවා.. 

"ආ.. ඒක බැන්දම හරියයි.." කියලා..


ප.ලි.
ඔය මීට අවුරුදු 13කට විතර ඉස්සර සිද්ධ වෙච්ච කාරණයක්..

කෙල්ල (ඒ කාලෙ) බැඳලා නං දැං ටික කලක්.. ඒත් අහන්න මොකද්ද වගේ තාම මීයන්ට බයද කියලා..

සහන් එළි සෙවිමි ඇගෙ නෙතු උයන් මැද..



ඔබ දිය බිඳයි හමු වුණ නිරුදක .........කතර

ඇය මහ සයුර හදවත මගෙ කළ .......නතර
නොසොයමි පැණි බිඳක් නිල මැස්සන් අතර
පෙම මගෙ තරු බඳුය දිලි අතරින්....... පතර

හිරු නැඟ සැඟව ඇත තුළ රුදු අඳුරු ....වළා
එළියද විටෙක දෙයි සිටි මුත් නිසල ...වෙලා
ඔබ ගැන මතක මගෙ හද කම්පනය ....කළා
ඇය නිවැරදියි ගිය එක නිසි සෙවණ ....බලා


වහන් කරන් නුඹ මට දුන් සෙනෙහෙ ...කඳ
සහන් එළි සෙවිමි ඇගෙ නෙතු උයන් ..මැද
යහන් මත වැටුණි කඳුළැලි බිඳෙන් ......බිඳ
පහන් ටැඹත් මට කළුවර ගෙනෙයි .......අද

Wednesday, August 21, 2013

කෘතවේදී මිනිස්සු.. 1! සිමෙන්ති මිටිය.


මහත්තයා පුළුවන්නං තව සිමෙන්ති කොට්ට දෙකක් වත් ගෙනත් දාලා යන්න.. බාසුන්නැහේ අප්පච්චිට කිවුවෙ.. හෙට අප්පච්චි වැඩට ගිහාම ආයෙ එන්නෙ දවස් දෙක තුනකින් බව දන්න හින්දා..  ඉතිං අප්පච්චිත් අප්පච්චිගෙ දඬුමොනරෙ නැඟලා ටවුන් එකට ගිහිං සිමෙන්ති කොට්ට දෙකක් අරං ආවා.. ඒත් ගෙදට්ට ඔන්න මෙන්න කියලා තියෙන හංදියෙදි එක කොට්ටයක් බිමට වැටුණා.. මෝටර් සයිකලේ පාර මැද්දෙ නවත්තලා ඕක පටවගන්න දුක් විඳින්නෙ මොකටද කියලා හිතපු අප්පච්චි.. ගෙදරට ඇවිත් අනෙක් සිමෙන්ති කොට්ටෙ බාලා ආපහු ගියෙ වැටුණු සිමෙන්ති කොට්ටෙ පටවගෙන එන්න හිතාන..  ඒත් එතනට යනකොට සිමෙන්ති කොට්ටෙ තිබුණෙ නෑ..

එතනට ආපු කළු අයියා.. වෑන් එකකින් ඇවිත් සිමෙන්ති කොට්ටෙ දාගෙන ගියානෙ.. මං කෑගැහුවා.. මිනිහා ගනං ගන්නෙ නැතුව ගියා.. හැබැයි මං නොම්මරේ ලියාගත්තා.. මහත්තයා ගිහිං පොලීසියෙ ඇන්ට්‍රියක් දාන්න.. කියලා කිවුවා..

අප්පච්චිත් ඒ පිම්මටම ගිහිං පොලීසියෙ ඇන්ට්‍රියක් දැම්මෙ.. ආයෙ සිමෙන්ති මිටිය හම්බවෙයි කියලා ලොකු විශ්වාසයක් ඇතුව නම් නෙවෙයි.. හොරුන්ට දඬුවමක් දෙන්න ඕන නිසා.. පහුවදා උදේම අප්පච්චි වැඩට ගියා..

පහුවදා හවස් වෙද්දි.. අපේ ගෙදරට වෑන් එකකින් කට්ටියක් ආවා.. මං හිතන්නෙ දහ දොලොස් දෙන්නෙක් හිටියා..
ඔයාලගෙද සිමෙන්ති මිටියක් නැති උනේ..?  එක්කෙනෙක් ඇහුවා..
ඔවු.. ඔයාලා කවුද? එහෙම ඇහුවේ අපේ අම්මා..
අනේ අපේ පුතා තමයි සිමෙන්ති මිටිය දාගෙන ගිහිං තියෙන්නෙ.. මෙතන කඩේ හිටිය කෙනෙක් තමයි කියලා තියෙන්නෙ දාගෙන යන්න කියලා.. පුතා හිතලා තියෙන්නෙ දුර ගිය වාහනේකින් වැටුණ එකක් වෙන්න ඇති කියලා.. අනේ අපේ පුතාව බේරලා දෙන්න..  මේ මිනිස්සු පිංසෙණ්ඩු වෙනවා..
මහත්තයා නම් ගෙදර නෑ.. වැඩට ගිහිං.. හෙට හවසට තමයි එන්නෙ.. මහත්තයා තමයි ඇන්ට්‍රිය දැම්මෙ..
අපේ අම්මටත් දුක හිතිලා වගෙයි.. මටත් ඉතිං වැඩේට දුකයි..

අපි දැං ගිහිං මහත්තයාව එක්කගෙන එමු.. පුතාට පුළුවන්නෙ අපිත් එක්ක එන්න..
මෙයාට විභාගෙට පාඩං කරන්නත් තියෙනවා.. අපි මහත්තයව හම්බවෙන විදිහ කියන්නම්.. අම්මා කිවුවෙ.. මට මඟදී කරදරයක් කරයි කියලා බව මට තේරුණා..

අනේ පුතේ යං.. ඒ අම්මා මට පිංසෙණ්ඩු වෙනවා.. කොහොම බෑ කියන්නද..? මං අපේ අම්මගෙන් අවසර අරං යන්න පිටත් උනා.. කොයි එකටත් සාක්කුවෙ පොඩි කතුරක් දාගත්තා.. මගදි තත්වෙ වෙනස් උනොත් කියලා.. ඒත් ඒ මිනිස්සු අහිංසකයි.. අප්පච්චිත් එක්කරගෙන ආවා.. ඇවිත් පොලීසියට කියලා බැලුවත්.. හරි ගියේ නෑ.. හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට තියලා තමයි ගන්ට වෙන්නේ කිවුවා.. මේ මිනිස්සුන්ට කන්න බොන්න එහෙමත් දීලා එදා පිටත් කොළා.. ඔන්න පහුවදාත් කට්ටිය ඇවිත්.. හඳුනාගැනීමේ පෙරෙට්ටුවට යන්න වෙන්නෙ.. කළු අයියටයි, බාසුන්නැහේටයි..  ඒ දෙන්නගෙ දවසෙ මහන්සිය නම් ගෙවන්න වෙයි කියලා අප්පච්චි එයාලට කිවුවා.. ඒ දෙන්නට තිබුණේ.. හඳුනාගැනීමේ පෙරෙට්ටුවෙදි හඳුනානොගෙන ඉන්න.. ඒකට එයාලට පොඩි සම්තිං එකක් හම්බ උනා.. හවස යන ගමං කට්ටිය අපේ ගෙදර ඇවිත් තේත් බීලයි ගියෙ..

සිමෙන්ති මිටිය කෝ.. මං අප්පච්චිගෙන් ඇහුවා..

ඒක නඩු භාණ්ඩයක් විදිහට පොලීසියෙ තියාගත්තා..

ඒ නඩුව නං අපූරුවට විසඳුනා.. මං තනියෙම කල්පනා කළා..

අපරාදෙ කියන්න බෑ.. ඒ මිනිස්සු අපේ ගේ ඉස්සරහින් යන හැම වතාවෙම...
තියා එක වතාවක්වත්..  ආයෙ අපේ ගෙදර ආවෙ නෑ...





Tuesday, August 6, 2013

හී ගඩු පිපුණා..

එක දොහකට 
දහ දොලොස් වතාවක්
හී ගඩු පිපුණා..
හීතල දැනුණා..

අප වෙනුවෙන් 
කෑ ගසන සියොතුනේ
නුඹ වෙත පෑ හී .. 
සැරටම වැදුණා..
අපටත් රිදුණා..

බයක් නිසා නොව
නිහඬව ඉන්නේ
ඵල නැති හින්දා..
අසරණ වූ දා..
කරනු කුමංදා..

Wednesday, July 31, 2013

ඒ ඇගෙ පෙමයි

කිත් පැසසුම් වලට වැඩියෙන් නව ....නින්දා
මේ පෙම නිසා අප තනි තනියෙන් .....වින්දා
එක් වී පෙම් කරන්නට නුඹ නැති ......හින්දා
තෙත් බව සිඳෙන තුරු නෙත කවි පද බැන්දා

ගේ දොර ඉඩ කඩම් සහ හරකා ..........බාන
වාහන මිළ මුදල් වෙත නතු වූ ..............හීන
නෑ හිත මිතුන් වටවූවත් .................පුරවාන
නෑ මට වගෙම නුඹටත් දැල්වුවෙ .......පාන

පෙවු කිරි වලට සදහට ණයගැති .......වන්නා
කැවු රස බොජුන් මට අමතක නොම වන්නා
නැවු නැඟ යන්ට සිතුවිළි හද ..නොනඟින්නා
මවු මගෙ පණ සමයි මා පමණක් .......දන්නා

නෑ හිත තරහ' මා අමතක ..............කෙරුවාට
වාවනු හැකිය නුඹ මගෙ ළඟ .........නැතුවාට
මෑණිය මගේ විත් හරහට ................හිටියාට
ඒ ඇගෙ පෙමයි නොව වෛරයෙ ....රතුපාට

Monday, July 29, 2013

රසමදිරා..


අතීතය නම් මිරිඟුවට වද දී
එකතු කළ ජීවිතයෙ රස සොයමී
හිස් ම හිස් වේ බඳුන ඒ පුදුමා
කවුරු සොරකම් කළෙද රසමදිරා..

හකුරු හංගපු වක්කඩේ
කිමද මට සරදම් කළේ
දැනුණ දා ගලනා දියෙහි අරුමා
මුහුද මා වෙත රැගෙන එනු මැනවී..

තුටින නැඟි මහ ගිරි දඹේ
කෙළවරක් නොම හමු වුණේ
දෙපස ඇත්තේ මහරු කඳු පමණා
මගේ සිහි මා මුලා කළ මැනවී..

Wednesday, July 24, 2013

වාසනාව අහිමි තරු..

අපේ අසිරිමත් ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ හුඟාක් තැන් වල විවිධ ක්ෂේත්‍ර වල හුඟාක් අය තමන්ට නිසි ගෞරවය ලබන්ට තරම් වාසනාවක් ලබන්නෙ නෑ.. ක්‍රිකට් ක්‍රීඩකයො මේ අතින් සුවිශේෂයි.. මං අද පෙන්වන ක්‍රීඩකයො කීප දෙනාත්.. සෑහීමකට පත්වෙන තරම් දස්කම් තමන් ලද අවස්ථාවලදී පෙන්නුවත් පොරෝජනයක් වෙලා නැති උදවිය..

1.  Lalithamana Fernando මෙයා 1989 අවුරුද්දෙ කැන්ගරු කණ්ඩායමට විරුද්ධව එක්දින තරඟයකට සහභාගී වෙන්ට අවස්ථාව ලබපු දකුණත් මඳවේග පන්දු යවන්නෙක් සහ දකුණත් පිතිකරුවෙක්.. පළමු තරඟයේ  ඔහුට පන්දු හයක දී ලකුණු අටක් තමයි ලබාගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ඒත් ඉතිං  අලුත් පිතිකරුවෙක් පරදින්න යන තරඟයක අංක අට පිතිකරුවා විදිහට ඇවිත් අර්ධ ශතකයක් ගහයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ නෙ. පන්දු යැවීමෙදි ඔහු ඕවර 3 ක දී.. ලකුණු 16කට එක කඩුල්ලක් ලබාගෙන තියෙනවා.. විශේෂත්වය නම්.. මෙයා දවාගෙන තියෙන්නෙ සුපිරි ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු වූ ඩේවිඩ් බූන් ව. තරඟ විස්තරේ බලන්නකො.. කොහොම උනත් මෙයාට මේ තරඟයට පස්සෙ කිසිම තරඟයකට නම් සහභාගී වෙන්ට ලැබිලා නෑ.. 


2. Dinusha Fernando දිනූෂ නම් සමහර විට තවමත් ක්‍රීඩා කරනවා ඇති.. මොකද තවම මෙයාට වයස අවුරුදු 33යි.. මෙයත් දකුණත් මඳවේග පන්දු යවන්නෙක්.. මෙයාටත් එකම එක එක්දින තරඟයකට විතරයි සහභාගී වෙන්ට ලැබිලා තියෙන්නෙ.. හැබැයි ඊට පස්සෙ ටෙස්ට් තරඟ දෙකකටත් අරගෙන තියෙනවා.. කොහොම උනත්.. මෙයාගෙ එක්දින තරඟෙදි ප්‍රතිවාදි රට උනේ එංගලන්තෙ.. දඹුල්ලෙදි එංගලන්තෙට දුවන්ට ගහපු දවසක දිනූෂ එක් අන්තයකින් පන්දු යැවීමත් පටං ගත්ත කෙනෙක්..චමින්ද වාස් එක්ක හරි හරියට පන්දු යවපු දිනූෂ.. පන්දු ඕවර 7ක් තුළ ලකුණු 13කට දවා ගත්තු කඩුළු දෙකත් එසේ මෙසේ දෙන්නෙක්ගෙ නෙවෙයි.. එක්කෙනෙක් ඇන්ඩෲ ස්ට්‍රෞස්.. අනෙකා මයිකල් වෝගන්.. තරඟ විස්තරේ මෙතන තියෙනවා.. මෙච්චර හරියක් කරපු මේ කොල්ලව අවුරුදු දහයක් යනකල් පැත්ත පළාතෙ නොගෙනෙන්ට අපේ තේරීම් කමිටුව හරි වෙන කවුරු හරි වග බලාගෙන තියෙනවා...


3. Michael Vandort මයිකල් වැන්ඩෝට් කියන නම නම් ටිකක් මතකයි.. මොකද මෙයා ටෙස්ට් තරඟ 20 කට සෙල්ලම් කළානෙ.. තරමක් උස වමත් පිතිකරුවෙක් වන වැන්ඩෝර්ට් තමන්ගෙ එකම එක්දින තරඟයට මුහුණදුන්නෙත් කැන්ගරුවො එක්කම තමා. අංක තුන පිතිකරුවා විදිහට පිටියට එන වැන්ඩෝට් ට එදා උනේ ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉදිරියෙ තමන්ගෙ කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් එකා පිට එකා දැවෙද්දි.. පුළුවං හැටියට පැත්තක් අල්ලගෙන ඉන්න එක. ඒත් ඉතිං වැන්ඩෝට් එදා පන්දු 117 කින් ලකුණු 48ක් රැස් කළේ ලකුණු 319ක් හඹා යන වෙලාවක කියන එකත් අමතක කරන්ට බෑ. කොහොම හරි එදායින් පස්සෙ වැන්ඩෝර්ට් ටත් ආයෙ එක්දින තරඟ වලට කැඳවීමක් නම් ලැබිලා නෑ.. මේ තියෙන්නෙ තරඟෙ විස්තර


මං මේ කිවුවෙ.. සිද්ධි කීපයක් විතරයි.. තව සිද්ධි එමට.. මට නිකං හිතුණා.. මෙයාලව පොඩ්ඩක් මතක් කරන්න..

Tuesday, July 16, 2013

හිඟා කෑම

අනේ මහත්තයා.. මගේ උකුල් ඇටේ කැඩිලා දැන් අවුරුද්දක් වෙනවා.. සිංහල බෙහෙත් තමයි කරන්නෙ.. තාම දවල්ට කෑවෙත් නෑ මහත්තයා..

තොර තෝංචියක් නැතුව කියෝගෙන යන ඔහුගේ ලා දුඹුරු පැහැ ගත් අපිළිවෙලට පිහිටි දත් ටික මා හා සිනාසෙයි..

කැහැටු වූ ඔහුගේ සිරුර දෙස ත්.. කිසියම් දෙයක් තබා බැඳ ඇති සෙයක් පෙනෙන උදර ප්‍රදේශය දෙසත් බැලූ මා..

දැන් මගෙන් මොනවද ඕන..? කියා ඇසුවේ.. ඔහුට අවශ්ය මුදල් බව නොදැන නොවේ..

සල්ලි කීයක් හරි තමා..

දුම්රිය පිටත් වීමට සූදානම්ව හූ කියයි.. රුපියල් විස්සේ කොළයක් පසුම්බියෙන් ගෙන ඔහු අත තබා කෝච්චියේ එල්ලුනෙමි..
================================================
මෙය කාර්යාල වෙලාව නිසා ඒ හැටි සෙනඟක් නැත.. එහෙත් අසුන් ගනණට වාගේ සෙනඟ ඇත.. ඉඩ කඩක් සොයා ඉඳ ගත්තෙමි.. සුපුරුදු ලෙසම ඉඳගන්නා අතර අසල අසුනේ සිටි මහත්මයා සමඟ සිනාසුනෙමි..  පෙරළා සිනාසෙන්නට තරම් මනුස්සකමක් ඇති මහත්මයෙක් වූ හෙතෙම.. මා හා කතාවට වැටෙන්නට ද සූදානම් බවක් පෙනුණි..

මහත්තයා ස්ටේශන් එකේ හිටපු වයසක මනුස්සයාට සල්ලි දුන්නා නේද?  ඔහු මගෙන් විමසන්නේ කුමක්දැයි මම දැන ගත්තෙමි..

ඔවු.. මහත්තයා කියන්න යන්නේ.. මිනිහගෙ උකුල් ඇටේ අමාරුවක් නෑ කියලා නේද?
ඇයි මේ මිනිස්සු මේ තරම් අහිංසකයින් එක්ක තරහා ඇත්තට.. මිනිහට ලෙඩක් දුකක් නැති වුණත්.. හිඟාකන්න තරම් ජීවිතේ පරාජිත බවක් දැනෙණ කෙනෙක් වෙන්න ඇතිනේ.. තමන් දෙන්නෙ නැත්නම්.. කට පියාගෙන ඉන්න එපාය.. මට ඇති වුණේ කලකිරීමකි..

මගේ පැනයෙන් ඔහු වික්ෂිප්ත වූ බවක් නොපෙනිණ..

හෙක්.. හෙක්.. එහෙනම් මහත්තයා මිනිහා ගැන දන්නවා..? ඔහු දැන් හදන්නේ මේ මනුස්සයාගේ පට්ටන්දරය දිග හරින්නට විය යුතුය.. වාසනාවකටදෝ.. ඊළඟ ස්ටේෂන් එකෙන් ගැබිණි මාතාවක් ගොඩ වූයෙන්.. මගේ අසුන ඇයට දී.. මා සිටගත්තේ ගැබිණි මවට තිබූ ආදරයට වඩා.. නිවී හැනහිල්ලේ ඉන්න තිබූ ආසාවටය.. ඉන් පසු මම වෙනත් තැනකින් ගොස් හිඳ ගතිමි..

========================================
තරමක් සෙනඟ පිරුණු දුම්රියේ .. අර මහත්මයා සෙමින් සෙමින් මා අසලට එයි.. මහත්තයා කරපු දේ හරි අගෙයි.. ඒ මනුස්සයා නොකිවුවට.. උකුල් ඇටේ බිඳිලා තියෙන්නෙ එයාගෙ නෙවෙයි.. එයාගෙ දුවගෙ.. හැබැයි අනිත් ඔක්කොම ඇත්ත..
මං ඊළඟ ස්ටේෂන් එකෙන් බහිනවා.. ආයෙත් හම්බවෙමු.. කියමින් ඔහු සමු ගත්තේ.. මගේ හිතේ බොහෝ ප්‍රශ්න ඉතිරි කරමිනි..

=========================================
තමන් වෙනුවෙන් මිනිසුන් රවටන බොහෝ දෙනා අතර.. අනුන් වෙනුවෙන් තම ආත්ම ගරුත්වය පවා අහිමි කරගත් මේ මිනිසා ගැනත්.. ඒ ගැන මට කියන්නට තරම් කාරුණික වූ මහත්මයා ගැනත්.. සතුටෙන්ම මෙනෙහි කළෙමි..

Tuesday, July 9, 2013

ගෑණු නම් එපා..!


මා වැනි දිළින්දා
කෙල්ලෙකුට පෙම් බැන්දා
ඈත් හොඳ හින්දා
මා ගියා ඇගෙ ගෙදර කැන්දා

කාරය කෝ ඇසේ
තට්ටු කීයද නිවසේ
බැංකුව මොන දෙසේ
නෑ කිසිත් මට හිඳිමි සුවසේ

මෙය මෙයාකාරය
බඳින්නට කරකාරය
තිබිය යුතු බාරය
එසේ නැත්නම් මහා පාරය

නැන්දම්මා කිපී
පොළොවේ හැපී නොහැපී
පරළව යළි පිපී
කීය යනලෙස නොඉඳ සැතපී

හිත වාවනු කෙසේ
ඇගෙ මූණ වත් නොදිසේ
පිටවී යන ලෙසේ
නැගිට යන'තර බැලිමි ඇ'දෙසේ

කිසි වෙනසක් නැතේ
සිනාසී ඈ සිටිතේ
බලා මම දසතේ
කළෙමි ගෑණුන් එපා සපතේ..!

Friday, July 5, 2013

සිංහලය, ඉංගිරිසිය හා සිංගිරිසිය..

ඔයාලා දන්නවනෙ.. මං ඉතිං සිංහලයට ආදරේ කරන ජාති ද්‍රෝහියෙක්, දේශ ද්‍රෝහියෙක් හා ප්‍රතිගාමියෙක් කියලා.. මං ඉතිං මගේ බස නසනවට පොඩ්ඩක්වත් කැමති නෑ.. අපි සිංහල භාෂාව ඒකෙ තියෙන රීති ටික රැකගෙන පාවිච්චි කරන්ට ඕන කියලයි මං කියන්නෙ.. ඒකෙ මොනවා හරි වරදක් කාරිය තියෙනවා නං.. ලොකු ලොකු ඇදුරුතුමාල ඔක්කොම එකතු වෙලා.. සාකඡ්ඡාවක් තියලා ... තීරණේකට ආවට වරදක් නෑ.. ඒත් එක එක්කෙනාගෙ ඕන එපාකං වලට මගේ භාෂාව රැප්/රේප් කරන්ට එපා කියන එකයි මං කියන්නේ..

ඒත්.. අපි.. ඉන්දියාව පැත්තෙ ඉඳලා ආව වචන අපේ කරගත්තා වගේ.. බටහිර පැත්තෙ ඉඳං එන ඒවත් අපේම බවට පත් කරගත්තට වරදක් නෑ.. ඒක සොබාවිකව වෙන දෙයක් මිසක්කා බලෙන් රිංගවන දෙයක් නොවෙන්ට ඕන.. දැං අහලා බලන්ට එපාය.. ඇෆ්. ඇම්. චැනල් ටික.. අමු අමුවෙ සිංහලය මර මර.. සිංගිරිසි වමාරනවා.. ඉතිං අපි වගේ එවුන්ට කාලා ඉන්ට බෑ ඕවා ඇහෙනකොට..

ඒ වගේම තමයි.. ගොඩාක් දේවල්... විශේෂයෙන්ම පරිගණක ආශ්‍රිත දේවල් (බටහිර පැත්තෙන් ආපුවනෙ..) සිංහලට පරිවර්ථනය කොරන්ට ගිහිං අනාගන්න එකත් සුදුසු නෑ.. මං නං කියන්නෙ ඒ වගේ දේවල් ඉංගිරිසි වචන ආධාරයෙන්ම උගන්නන එකයි හොඳම වැඩේ..

මට මතකයි අපි එක්තරා කාලෙක Principles of Electricity කියලා විසයක් ඉගෙන ගත්තා.. අපි ඒක හැදෑරුවෙ ඉංගිරිසි මාධ්‍යයෙන්.. ඉතිං අපට තිබුණෙ ඉංගිරිසි පොත් පත්.. අපට ඉතිං ඔය පොතේ කියලා තියෙන දේ හරියටම වටහා ගන්ට අමාරු වුණ වෙලාවක.. ඔය විසය සිංහලෙන් කරන කෙනෙක්ගෙ පොතක් බලලා තේරුම් ගන්ට උත්සාහ කොළා.. කෙළියා තමයි.. ඒකෙ තියෙන වචන දැක්කම මඤ්ඤං වගේ..

එයිට හපං පරිගණක විද්‍යාවේ තියෙන පරිවර්ථන ටික... ඕක ඔළුවට ගත්තු සමහරෙක් හැම වචනයක්ම සිංහලයට පරිවර්ථනය කරලා කියන්ට හදනවා.. ඔය වගේ කෙනෙක් හා අපේ මිතුරෙක් සංවාදයක යෙදුණු හැටියි මේ..

1. Internet  වලට කියන්නේ මොකක්ද?
2: අතුරු දැල ... නැත්නම්.. අන්තර් ජාලය..
1. එහෙනම්.. Interview එකට.. අතුරු දැක්ම නැත්නම්.. අන්තර් දර්ශනය කියලා කියන්ට බැරිද?
1: Network Engineer ට කියන්නේ..  දැල්වැඩ ඉංජිනේරු කියලද?
2: නෑ.. පරිගණක ජාල ඉංජිනේරු කියලා.. මං හිතන්නෙ..

ඉතිං ඔය වගේ ඉංගිරිසියෙන් ආපු වචන බර ගානක් තියෙනවා නෙ නොගැලපෙනවයි කියලා හිතෙන..

Air Conditioner - වායු සමීකරණය
Download - බාගත කිරීම

ඔය වගේ වචන සෑහෙන්න තියෙනවා.. මතක් වෙන්නෙ නෑ.. මං  අහන්නෙ.. නරකද ඔය ඉංගිරිසියෙන් ආ වචනය.. ඒ විදිහටම පාවිච්චි කළොත්.. ?

Wednesday, July 3, 2013

ධාර්මික, සෞඛ්‍යමය, ප්‍රතිපත්තිමය, සමාජයීය හා ජාතික අවශ්‍යතා සඳහා...

පසුගිය දිනෙක මම මිතුරෙකු සමඟ දොඩමළු වීමි. එය ඉතා වැදගත් සාකඡ්ඡාවක් විය. අප එහිදී තීරණ කීපයකට එළඹුනෙමු.. එම තීරණ ධාර්මික පදනමින් හෝ සෞඛ්‍යය පදනමින් හෝ ප්‍රතිපත්තිමය පදනමින් ගත් තීරණ විය. ඔබටත් මෙම තීරණ වලට එළැඹෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු..

1. මිළ ඉහළ ගිය විදුලි බිල නොගෙවා සිටීම හා එයට සහායක් ලෙස.. ටෙලිෆෝන් හා වතුර බිල් ද නොගෙවා සිටීම(වෘත්තීය ක්‍රියා මාර්ගයකට සහාය දැක්වීම අරබයා)
2. හරක් මස්, කුකුළු මස්, බිත්තර, හාල්මැස්සෝ, කරවල ආදී සියළුම ආකාරයේ සත්ව ආහාරයෙන් වැළකී සිටීම (ධාර්මික පදනම යටතේ) *.
3. මත්පැන් ආදී දුසිරිත් වලින් වැළකී සිටීම (ධාර්මික, සෞඛ්‍යය හා සමාජයීය පදනම්) *
4. කිරිපිටි වලට වස විස මුසු කර ඇති නිසා..කිරි ආහාර නොගෙන සිටීම. (සෞඛ්‍යය)
5 තිරිඟු පිටි සහ ඒ ආශ්‍රිත නිශ්පාදන යොදා නොගැනීම සහ ඒ වෙනුවට සතොස ආයතනයේ තිබෙන රුපියල් 45 ගුල්ලො ගැසූ රතු හාල් යොදා ගැනීම.(සෞඛ්‍යය හා දේශීය සහල් කර්මාන්තය නඟා සිටුවීම)
6. ඇතැම් අන්තවාදී රෙදි කඩ කාරයින්ට සිංහලයින්ගේ බලය පෙන්වීම සඳහා අදාල කඩ වර්ජනය කිරීම . හා වඩාත් ලාභදායී සිංහල වෙළඳසැල් වලින් රෙදි මිළට ගැනීම හෙවත් රෙදි මිළට නොගෙන සිටීම.(ජාතික අවශ්‍යතා) එනම් පරණ ඇඳුම් වැඩි කලක් පාවිච්චියට හුරු වීම.
7. එළවලු වලට වස විස කළවං කර ඇති නිසා.. ගෙදරම වවා ගත් එක එළවලුවක් හෝ සමඟ ආහාර ගැනීම (සෞඛ්‍යය).
8. අපට කොයි වෙලෙත් කෙණෙහෙලිකම් කරන ඉන්දියාවෙන් ගෙන්වන බජාජ් බයික්, මරුටි කාර්, ටාටා, ලේලන්ඩ් බස් වෙනුවට විකල්ප ලෙස පයින් හා පාපැදියෙන් ගමනට හුරු වීම (ජාතික අවශ්‍යතා).
9. හින්දි ෆිල්ම් නොබලා සිටීම හා ඉන්දියාවේ නළු නිළියන් සිටින ලංකාවේ චිත්‍රපට නොබලා සිටීම.
10. උපත් පාලනය කිරීම සඳහා ~!@#$%^&*(   නෑ.. නෑ.. එහෙම දරුණු කේස් එකක් නෙවෙයි ආරක්ෂාවට  සෑම කාන්තාවකටම අහවල් එකක් පළඳින්නට කීම.. (එවිට රබර්, පෙති හෝ ගබ්සා වල අවශ්‍යතාවයක් පැන නොනඟී..) (සෞඛ්‍ය හා ලිංගික සුවය)

සැ.යු * ලකුණ දමා ඇත්තේ අදාල කරුණු මංගල උත්සවයක්, කිසිවෙකුගේ ආරාධනයෙන් පැවැත්වෙන සාදයක් ආදියෙහි දී අදාලත්වයක් නැති බවයි...

ප. ලි.
ඉහත ලියා ඇති කිසිම තීරණයක් ආර්ථික අපහසුතා මත ගත් තීරණ නොවන බැවු කාරුණිකව සළකන්න..

Monday, July 1, 2013

දිගටම හොරා කමු ද?

ලංකාව පුරා මෘදුකාංග භාවිතය ඉතා වේගයෙන් ඉහල යන බව අමුතුවෙන් කිවයුතු නොවේ.. වැඩි දෙනා භාවිතා කරන්නේ Microsoft සමාගමේ නිමැවුම් වන.. Windows මෙහෙයුම් පද්ධති (Windows XP, Windows 7, Windows 8 ආදිය..) වලින් එකක් හා MS Office බහුකාර්‍ය මෘදුකාංගයි.

එහෙත් මේවා භාවිතා කරන්නේ Original Version එක මිල දී ගැනීමෙන් නොව.. කොහෙන් හෝ හොර ක්‍රමයක් හොයාගෙන Crack කිරීමෙනි.. මේ හරහා අපට ඇතිවිය හැකි උපද්‍රවයන් බොහෝය.. Crack කිරීමේ මෘදුකාංග සපයන වෙබ් අඩවි වල ගෝනි ගානට ඇති වෛරසයන් හොඳම උදාහරණයන් වේ.. 

අනෙක් අතට.. මේ නිශ්පාදක සමාගම් වලට මේ Crack කිරීම නැවැත්විය නොහැකිද? අඩු තරමේ අවම කළ නොහැකිද? ඔවුනට එසේ කළ හැකි බව මගේ විශ්වාසයයි.. එහෙත් එසේ නොකර ඔවුහු ද හොර ගල් අහුලති.. තවත් පැහැදිලිව කිවහොත්.. ඇතැමෙකුට පමණක් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිති.. ඒ වෙන කිසිවක් නිසා නොව.. විශාල මුදලක් දී මෘදුකාංගයක් ස්ථාපනය කරගැනීමට ලංකාව වගේ රටවල් වල මිනිස්සු අකමැති බව ඔවුන් දන්නා නිසාය.. එසේ මිළ දී ගන්නට වුවහොත්.. නොමිලයේ ලැබෙන Linux, Ubuntu වැනි මෙහෙයුම් පද්ධතීන් වෙත ඉතා පහසුවෙන් අපේ මිනිසුන් ආකර්ශනය වන බව ඔවුන් දන්නා නිසාය.. එහෙම වුණොත් ඉඳහිට හෝ විකිණෙන original version එකක් නොවිකිණෙනවා පමණක් නොව... වෙළඳපොල තුළ තමන්ගේ ඇති අධිකාරිය බිඳෙන බවත් ඔවුන් දන්නා නිසාය.

ලංකාවේ යන්තම් ගැටගහගෙන නැගිටින සමාගම් හෝ ආයතන නොවේ.. සවි ශක්තිමත් ආර්ථිකයක් ඇති ව්‍යාපාරිකයින් මේ ගැන සිතිය යුතුය.. හොර කොපි වෙනුවට Original Copy එකක් ඇණවුම් කර මේ හොරකම අවම කරන්නට පූර්වාදර්ශයක් සැපයිය යුත්තේ ඔවුහුය.. අනෙක් අතට.. Microsoft වැනි මුදලට මෘදුකාංග විකුණන සමාගම් ද මේ නිශ්පාදන සාමාන්‍ය සමාගම් අතර ජනප්‍රිය කිරීමේ ක්‍රමවේදයක් ගැන සිතිය යුතුය. කුඩා සමාගම් වලට දැරිය හැකි මිළකට සිය නිශ්පාදන ඉදිරිපත් කිරීම හොඳ ක්‍රමයක් යැයි මට සිතේ..

හොරකම මුලිනුපුටා දැමීමෙන් මිස අභිමානවත් ජාතියක් ලෙස නැඟී සිටිය හැකි ද? 

ඇමරිකන් කාරයාගේ මෙවලම් ම හොරෙන් භාවිතා කරමින් ඇමරිකාවට පළු යන්ට බැනීම.. අකෘතඤ්ඤ කමක් මෙන්ම මෘග කමක් නොවේද ..?

Tuesday, June 25, 2013

18+ ප්‍රදර්ශනේ..

සමගියෙන්ම ජීවත් වුණු නෝන, මහත්තයා
රති කෙළියෙදි නං පොඩියක් අප්සැට් උනි මෙයා
ඒත් ඉතිං ලෝකේ හැටි ඔහොම තමයි කියා
මේ දෙන්නා නිදා ගන්න සිරියහනට ගියා

මහ රෑ කෑ ගසා හපොයි බුදු අම්මෝ කියා
නෝනා ඇහැරිලා හතිත් දමමින් සිටි නියා
ඇයි හීනෙන් බය උනාද අහපු මහත්තයා
අන්දුන් කුන්දුන් කරමින් හිනා උනා එයා

මොකද්ද හීනේ පොඩියක් පවසන්නකො මට
"හෙට බලමුකො" නෝන' කීව' ඒ ඇවිටිල්ලට
බෙඩ් ටී එක හදං ඇවිත් ඔහු හනි හනිකට
උදයෙම ඔහු අහනවාලු හීනය හෙමිහිට

හරි වැඩේනෙ මෙයා අනේ ඊයේ හීනේ
දැක්කේ අහවල් ඒවා යේ ප්‍රදර්ශනේ
රේගන් ගේ ඔබාමගේ ඒවත් තිබුණේ
හිට්ලර්ගේ එකටයි මගෙ හිත නම් බැඳුණේ

පුදුම වැඩක් ලෝකේ හැම එකක්ම තිබුණද
ඔය අතරේ මගෙ එක හෙම තිබුණේ නැතිවද
මහත්තයා අහයි මහත් උජාරුවෙන් හිඳ
"තිබුණා තිබුණා පැත්තක" කීවා ඔද සිඳ

ඊළඟ දවසේ රෑ යළි නිදියන අතරේ
කෑ ගහගෙන නැගිට්ටෙ මේ සැමියනෙ මිතුරේ
හප්පේ මං දැකපු පුදුම හීනය අඳුරේ
දැන් නම් බෑ මට කියන්න නිදියමු සොඳුරේ

පසුදා උදයෙම හිමි හට තේක හදාගෙන
නෝනා ඇවිදින් තොරතුරු අහපි බදාගෙන
ප්‍රදර්ශනේ දැක්කේ ඔහෙලාගෙ කියාගෙන
මහත්තයා නැගිට්ටෙ සිය සරම හදාගෙන

කියන්නකො ඉතිං මිනිහෝ නොකර තව අගේ
ඩයනගෙ, මැතිණිගෙ ඒවත් තිබුණාද සගේ
තිබුණා තිබුණා ඔක්කොම පිළිවෙලට වගේ
ප්‍රදර්ශනය තිබුණෙ ඒත් එක තුළ ඔබගේ

විනෝදය තකා රචනා කළේ - චතුර විජේකෝන් වන මම වෙමි..

Wednesday, June 19, 2013

බැරිදා විග්‍රහය..! උඩ බලාගෙන කෙළ ගසා ගැනීම

යම් හොඳක් කරද්දී.. යම් නරකක් ද විය හැක.. අප තෝරා ගත යුත්තේ හොඳම විකල්පයයි..

අප මහ බෝසතුන්ට සිය ඉසුරුමත් හා පරිපූර්ණ පවුල් ජීවිතය ද බුද්ධත්වය ද කියා තෝරා ගන්නට සිදු විය.. උන් වහන්සේ තෝරා ගත්තේ ලෝකෝත්තර මාර්ගයයි.. එයින් යසෝධරාව, සුදොවුන් රජ සහ රහල් කුමරු.. සෝකයට හා තැවුලට පත් වූ තරම කෙතරම්දැයි අමුතුවෙන් කිව යුතු නැත.. බහුතර ජනයාගේ යහපත වෙනුවෙන්.. තමාගේත්.. තම හිතවතුන්ගේත් සුඛ විහරනය අමතක කළ අවස්ථා බෝසත් සිරිත තුළ එමටය..

එතරම් කැපවීම් කර ලබාගත් අවබෝධය තුළින් බුදුන් වහන්සේ අපට දෙසූ දහම නම්.. බුදු දහමයි.. එම දම් දෙසුම් සහ සිවුවනක් පිරිස බුද්ධ ශාසනයයි.. මුල් කාලයේ මුඛ පරම්පරාවෙන් ගෙන ආ ශ්‍රී සද්ධර්ම දේශනා පසු කලෙක ග්‍රන්ථාරූඩ කළ ද, බුද්ධ ශාසනයට සබැඳි භෞතික හා සංස්කෘතිකමය බොහෝ දෑ.. උපාය මාර්ගිකව හෝ බලෙන් විකෘති කිරීමට හෝ විනාශ කිරීමට තිබූ බලවේග මෙතෙකැයි කිව නොහැකි තරම්ය..

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා.. දිවි පරදුවට තබා කැප වූ අය බෞද්ධ ඉතිහාසය පුරා හමු වේ..
මිහිඳු හිමි ආගමනයෙන් නිර්මිත හෙළ බොදු සංස්කෘතිය තුළ බුද්ධ ශාසනය රැකීමේ වගකීම හෙළයා බාරගෙන ඇති බව මගේ වැටහීමයි.. ඒ අනුව.. හෙළ-බොදු යන දෙ වදන ගසට පොත්ත මෙන් බැඳුණු අයුරකි.. (බොදු දර්ශනය අතරමඟදී හින්දු හා විවිධ ප්‍රාදේශීය ඇදහීම් වල සංයෝජනයටද ලක්ව හෙළ-බොදු සංස්කෘතිය ලෙසින් ඉදිරියට ආ බව පෙනේ)

කෙසේ වෙතත් හෙළයා විනාශ වෙන්නට යන හැම විටකම වාගේ.. බොදු හිමිවරුනගේ සහාය හෙළයිනට ලැබුණු අතර.. බොදු සංස්කෘතික විනාශයට එරෙහිව නැගී සිටියෝ හෙළයෝම විය..
ඇතැම් විට හෙළයා රකින්නට බොදු භික්ෂුව සටන් පෙරමුණට ආ තැන් ඉතිහාසයේ එමටය.. උන් වහන්සේලා අපේ ජාතික වීරයෝය..

අදත් හෙළයාට සිදුවන අසාධාරණයට එරෙහිව බොදු භික්ෂුව සටන් පෙරමුණට ආ කල.. ඔවුහූ.. අන්තවාදියෝය.. ජාතිවාදියෝය.. ආගම්වාදියෝය...

බොදු භික්ෂුව හෙළයා වෙනුවෙන් සටන් කළ යුතුයැයි මම නොකියමි.. එය පැහැදිලිවම.. බොදු පුතෙකුගේ කාර්‍යභාරය නොවේ.. එහෙත් එය හෙළයකුගේ කාර්‍ය භාරය වේ.. චීවරය පසෙකට විසිකොට හෝ.. මේ සටන කළ යුතුය..

අනෙක් අතට.. වත්මනෙහි හෙළයා වෙනුවෙන් හඬ නඟන භික්ෂුව.. අන්තගාමී නම්.. ජාතිවාදී නම්.. ආගම්වාදී නම්.. ඇස්. මහින්ද හිමි... කුඩාපොළ හිමි.. ඇතුළු හෙළ සටන් පෙරමුණෙහි මූලිකත්වය දැරූ සියළු හිමිවරු මේ ඝණයට අයත්ය..

උඩ බලාගෙන කෙළ ගසා ගැනීම වත්මන් හෙළයාගේ විනෝදාංශය බැවු පෙනේ..

Friday, June 7, 2013

අවුරුදු 3 ක් කියන්නෙ ව්‍යාපාරයකට ලොකු දුරක්.. ද?


Perfect Software Solutions(Pvt) Ltd කියන්නෙ මගේ මූලිකත්වයෙන්,  තවත් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් හා සහයෝගයෙන් ඇරැඹුණු  ආයතනයක්. අපි අපේ ආයතනය වෙනමම ව්‍යාපාරයක් විදිහට පටං ගත්තේ මීට අවුරුදු තුනකට කලිං.. 


අපි ව්‍යාපාරය පටං ගන්නකොට.. අපට තිබුණෙ.. එකම එක Software Product එකයි..

                                                 Payroll Software
                                                            BizPay - Payroll Solution 

ඒත් අපට QB Lanka සමාගමේ සහ Softkey සමාගමේ සහයෝගය තිබුණා.. ඒ වගේම EBS Lanka ආයතනය, SOHANEC Total IT Solutions ආයතනය වගේ සහෝදර ආයතන ගනණාවක් අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කළා.  ඒත් ගෙවුණු අවුරුදු තුන නම් ඒ තරම් සුන්දර වුණේ නෑ.. මොකද Software  වල දේශීය වෙළඳපොල විනාශ වෙලයි තියෙන්නේ.. විවිධ ආකාරයේ වංක පුද්ගලයින් මේ විෂය තුළ අපේ පාරිභෝගිකයින් බොහොමයක් රවටා තිබෙනවා.. පාරිභෝගිකයාට අවැසි දේ වෙනුවට.. මොකක් හෝ කුණුගොඩක් ඇඟේ ගහලා මාරු වෙන අය බොහොමයක් ඉන්නවා.. අපට අවශ්‍ය වුණේ.. වත්මන් සම්ප්‍රදාය වන එකිනෙකා කපාගෙන යන ක්‍රමය වෙනුවට, බොරු කියලා පාරිභෝගිකයා රවට්ටන ක්‍රමය වෙනුවට.. පාරිභෝගිකයාට හොඳම සහ අවංක සේවයක් දීලා අපේ ව්‍යාපාරය දියුණු කරන අතර අලුත් වෙළඳ සම්ප්‍රදායක් හඳුන්වා දෙන්න. 


Job Costing, Stock Control, Loan Management වගේ නිශ්පාදන ගනණාවක් අපේ නිශ්පාදන ලැයිස්තුවට කාලයත් එක්ක එකතු වුණා.. 
Job Costing Software
Job Costing

         
Stock Control Software
Stock Control


Money Lending Software
Loan Management

මීට මාස හතරකට විතර කලිං අපට තවත් පියවරක් ඉදිරියට තියන්න පුළුවං වුණා.. ඒ තමයි Web Site Design සහ Web Application Developments ආරම්භ කිරීම.  එය කාලෙක ඉඳං අපේ හිත්වල තිබුණු හීනයක් වගේ.. 


දැං ඉතිං පොඩ්ඩක් එළියට බහින්න කාලෙ හරියි කියලා අපි හිතුවා.. ආර්ථිකේ හතරවරං වෙලා තියෙන මේ කාලෙ එළියට බහිනවා නං ලොකු discount එකක් දෙන්නත් එපාය.. ඉතිං අපි තීරණය කළා.. අපේ ප්‍රධාන නිමැයුම වෙන.. BizPay - Payroll Solution එකට 35% ක විතර ලොකූ.. ම ලොකු Discount එකක් දෙන්න.. හැමදාටම නෙවෙයි.. ලබන ජූලි මාසෙ 15 වෙනකං.. විතරයි..

Mega Discount on PSSPay

Website Design කරන වැඩෙත් මේ දවස් වල ගජ ලාබෙට කරනවා..
ඉතිං කවුද අපිට මේ Campaign එකට උදවු වෙන්නෙ.. ?

ඔයාලට මේ උදවු වලිං එකක් හරි කරන්න පුළුවන්නං අපට ලොකු උදවුවක්.. ඔයාලට ලොකු පිනක්..

1. දන්න ආයතනයකට Payroll Software එකක් හොයනවා නම්.. අපට ඔත්තුව දෙන්ට.. (පවු සිද්ධ වෙන්නෙ නෑ.. අපි සුපිරියටම විසඳුම දෙනවා..) ඉතුරු හරිය අපට බලාගන්ට බැරියෑ.. <සංතෝසමකුත් දෙන බව මතක තියා ගන්ට..>

2. දන්න කාට හරි Web Site එකක් පත්තු කරගන්ට ඕන නං.. අපේ පැත්තට හරවන්ට.. <මේකටත් පුංචියට හරි සංතෝසමක් දෙන්නංකෝ..>

3. දන්න ආයතනයකට Job Costing, Stock Control, Loan Management වගේ Software එකක් හොයනවා නම්.. ඒ ඔත්තුවත් අපටම දෙන්ට..(Construction, Machinery, Production වගේ රාජකාරි කරන ආයතන වලට අපේ Job Costing Solution එක හොඳට ගැලපෙනවා.. <හොඳ සංතෝසමක් දෙනවා මේකට නං.. >

4. ඔයාලගෙ යාළුවො අතරේ අපේ දැන්වීම්, අපේ සයිට් එක Share කරන එකත් ලොකුම උදවුවක්..

5. අපේ ෆේස්බුක්  පිටුවට ගිහිං අපට ලැයික් එකක් ගහන එකත් වටිනා දෙයක්..

6. අපේ බ්ලොග් එකටත්  Publicity එකක් දෙන්ට පුළුවන්නම් අගෙයි..

අනිත් අයට කොහොම දැනුණත්.. අපට නං.. අවුරුදු තුනක් ඇතුලෙ අපි ආපු දුර ... ලොකු දුරක්.. 




     

Thursday, June 6, 2013

දේව ධර්මය


මං පුංචිම කාලෙ ඉස්කෝලෙ ගියේ අවිස්සාවේල්ලෙ ශාන්ත මරියා විද්‍යාලයට.. ඒ කාලෙ මටයි අපේ මල්ලි කෙනෙකුටයි ඒ මල්ලිගෙ තාත්තා පොත් පිංචවල් දෙකක් ගෙනත් දුන්නා.. ඉන් මට ලැබුණු පොත තමයි "දේව ධර්මය" කියන්නෙ.. මේකෙ කතාව සම්පූර්ණයෙන් මතක නැති වුණාට.. ඒ කතාවෙ ඉන්න බෝසත් කුමාරයා.. විසින් රකුසෙකුට දේව ධර්මය පැහැදිලි කැර දී සිය සහෝදරයින්ගේ ජීවිත බේරා ගත් බවත්..මට මතකය.. එදා කුමාරයා දේව ධර්මය පැහැදිලි කළේ.. "පවු කිරීමට ඇති ලැජ්ජාව සහ බිය" යනුවෙන් බවත් මට හොඳටම මතකය.. එදා සිට නොයෙක් විට.. පවු යනු මොනවා දැයි මම නිතර සිතා බැලුවෙමි.. ඒ පවු කරන්නට ලැජ්ජා වුණෙමි.. බිය වුණෙමි.. ඉඳ හිට හෝ.. එයින් මිදී පවක් කළ මොහොතක මට එයට සැනෙකින් දඬුවම් ලැබුණි.. 

තව චුට්ටක් ලොකු වෙනකොට බලපු ටෙලි නාට්‍යයක කියැවුණු අදහසක් මට මතකය.. ප්‍රකාශක නළුවා.. සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතාය.. 
තමන් යන්ට ඕන.. ගියේ කොහේද කියලා සභාවක කියන්ට පුළුවන් තැනකට..
තමන් කරන්ට ඕන.. කළේ මොනවාද කියලා සභාවක කියන්ට පුළුවන් දෙයක්..

මේ කියමන මගේ හිතේ තදින් රැඳුණේ ඇයිදැයි නොදනිමි.. එහෙත් මා ඒ ගැන හිතන්ට පටන් ගත්තේ තවත් කාලයකට පසුවය... 

මීට වසර කීපයකට පෙර කුකුල්පනේ සුදස්සි හිමි දෙසුවේ මෙබඳු අදහසකි..
සමහරු පවු කරන්න කරන්න දිලෙනවා..
සමහරු පිං කරන්න කරන්න දිලෙනවා..
සමහරු පවු කරන්න කරන්න වැටෙනවා..
සමහරු පිං කරන්න කරන්න වැටෙනවා..

මුලිං කිවුව කට්ටිය .. සසරෙ පවු කරලා පුරුදු අය.. ඊළඟ කට්ටිය පිං කරලා පුරුදු අය.. ඊළඟ කට්ටිය පවට බරයි.. ඒත් සංසාරෙදි පුරුද්දක් විදිහට පවු කරලා නෑ..... ඊළඟ කට්ටිය සංසාරෙදි පින පුරුදු කරලා නැති තරම්..

මේ කතාව මගේ හිතේ දේව ධර්මය ගැන තිබූ පුංචිම සැකයත් අයිං කළා කියලයි මට හිතෙන්නෙ..

ඒත් දේව ධර්මය අපේ සමාජයට කොයි තරම් දුරද?

ප.ලි.
පිංතූරය ගත්තෙ මෙතැනින්.. වගේම අදාල ජාතක කතාවත් එතැනම තියෙනවා..

Tuesday, June 4, 2013

සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ..3 (හෘද සාක්ෂිය)


සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ ලිපිය ලිවුවට පස්සේ මට හිතුණනේ.. ඒකෙ දෙවැනි කොටසකුත් ලියන්ට..  ඉතිං ඊට පස්සෙ හිතුණා තුන්වැනි කොටසකුත් ලියන්ට.. තරහා නෑ නෙව..

ඇයි බං කෙලෙහිගුණ කියලා ජාතියක් උඹ දන්නෙම නැද්ද? අයියට රස්සාව දෙනකං වැඳගෙන ඉඳලා.. දැං එනවා කයිවාරු ගහන්ට..


මං එහෙම වැඳගෙන හිටියේ නෑ.. අනික සුමිත් අයියා.. අපේ අයියට ඔය රස්සාව නුදුන්නනං.. ඒක දෙයි ඊට වඩා හපං එකෙකුට.. අපේ එකා අඩුගානෙ ඕලෙවල්වත් කළා..

හරි.. උඹ කියන්නෙ උඹලෑ අයියට රස්සාව දුන්නු එක වැරදියි කියලනේ.. අපි ඒක සුමිත් අයියට කියමු.. 

ඒක ඉතිං උඹේ කැමැත්තක්.. මං කැමතියි අයියා එක එකාට කඩේ යන්නෙ නැතුව.. තමන්ගෙ හයියෙං රස්සාවක් කරනවා නං.. අඩු ගානෙ මැරෙන මොහොතෙ උගෙ හෘද සාක්සියෙන්වත් ඌට සැනසීමක් තියෙයි..

අනේ උඹෙයි මගෙයි හෘද සාක්සිය.. දැං උඹ උපාදි සහතිකේකුත් තියං බෝක්කු ගානෙ වේලෙනවා.. උඹේ හෘද සාක්සියට පුළුවං උනාද අර අම්මටයි තාත්තටයි බෙහෙත් ඩිංගක් අරං දෙන්ට..? අර හෘද සාක්සිය නැති අයියා නේද.. ඒකත් කොරන්නෙ..

ඒක නං ඇත්ත බං.. උඹ මගෙ පපුවට පිහියෙං ඇන්නා නං මීට සැපයි බං.. හ්ම්..

මට අයියට වගේ යුතුකං ඉෂ්ඨ කොරන්ට බැරි වෙයි.. ඒත් මං රටට ණය නෑ බං.. මං පහුගිය ටිකේ.. වැලි ගොඩ දාලා ගානක් එක්කහු කරන්ට ගත්තා.. කොහෙද දැං සතියට දවස් දෙකයිනෙ ඒකත් කොරන්ට දෙන්නෙ.. කොහොම හරි සල්ලි ටිකක් එක්කහු කරලා.. මං මගේම කියලා වැඩක් පටං ගන්නවා.. හොරකමයි බොරුවයි නැති..

ඉතිං මං සුමිත් අයියට කියලා පොඩි ලෝන් එකක් සැට් කරලා දෙන්නම්කෝ.. උඹ ඉක්මණටම පටං ගනිං වැඩේ..

නෑ.. බං.. මට එහෙම කරන්ට හිත දෙන්නෙ නෑ.. මං ප්ලෑන් කරපු විදිහටම කරනවා.. මහලොකු ගානක් ඕන නෑ නෙ වැඩේට.. 40,000 මට මාස තුනකින් විතර ඉතුරු කරගන්ට පුළුවං..

උඹ පිස්සු නොකර ඉඳහංකෝ.. මං වැඩේ සැට් කරලා දෙන්නං කෝ.. 

සුමිත් අයියා.. සමන්ත මළයා පොඩි වැඩක් පටං ගන්ට යනවලු.. පොඩි මුදල් අර්බුදයක් තියෙනවලු.. අපිට බැරිවෙයිද පොඩි සපෝට් එකක් දෙන්ට..
බෑයි කියලා බෑ නෙ මල්ලි.. කොහොම හරි සපෝට් එකක් දෙමු.. කීයක් විතර ඕනලුද..? 

50,000ක් විතර..

මුදලාලි අපේ කොල්ලෙක්ට පොඩි වැඩකට සල්ලි ටිකක් ඕනලු.. හෙට උදේ.. සැට් කරමුද? වැඩිය නෙවෙයි.. 75,000යි. 

ඔන්න සිරා.. 50,000 ට 60,000 ක් ම තියෙනවා.. කොළුවට ගිහිං දියං..

මෙන්න මචං.. සුමිත් අයියා 50,000 ක් ම දුන්නා උඹට.. 

ඒ මොකටද..?

ඇයි බං උඹ පටං ගන්ට යන වැඩේට.. සල්ලි මදි බව මං කිවුවා.. විතරයි මිනිහා ටක් ටක් ගාල කාට කාටද ෆෝන් කළා.. අද උදේ මගෙ අතට සල්ලි දුන්නා.. ඔන්න බලපං මනුස්සකම..

මනුස්සකම..??? උඹට පිස්සුද බං..???

Friday, May 31, 2013

෴෴අසරණී෴෴


නුඹයි මා ලද නිධානේ
පාළු වී ගිය සුසානේ
අඳුරු හොල්මන් විමානේ
හඬ ඇසෙයි නුඹෙ රබානේ

කණ කර නෑ කියලා තම
නෑ දෙනයන කඳුළක් හෙම
තිබුණා නැතුවත් වත්කම
වතයි නුඹේ .... පොහොසත්කම

බලෙන් පිම්බුණු කුස එදා
ලොලෙන් නළවයි පුතු සදා
දොළෙන් පිටකළ මැන මෙදා
මලෙන් බිහි වුණු ලෙස හදා

නැළැවිලි ගී නෑසෙන්නේ
අවරට ඇයි හිනැහෙන්නේ
පුතු කඳුළැලි වගුරන්නේ
පියකුද ඔහූ.... ඉල්ලන්නේ...!

Wednesday, May 22, 2013

ගං ඉවුරේ ඇන්ද රටා..

ගං ඉවුරේ
ඇන්ද රටා
එදා ආදෙරෙන් තුරුළුව
හිමින් හිමින්
නෙවෙයි මැකුණෙ
ඒකයි පුදුම...
අපට අපව
දුරස් වුණේ
සැණෙකින් කොහොම..
..............................................
එදා වගේ
දොඩමළු වී
කතා කළේ
නැහැයි කියල'
අපි මෙතරම් දුරයි කියල'
කියන්නෙ කොහොම..
මට නං
ඔබ අමතක නෑ
මතකයි තවම.....
.............................................
මතකෙන් නොම ගිලිහුණාට
ලෙංගතු කම් පැවතුණාට
එදා තිබුණු ආදර හිත
හොයන්නෙ කොහොම...
තනි උනහම
සියොළඟ නැහැ
වෙළෙන්නෙ එහෙම..
..........................................
අද අපගේ
හදවත් වල
එදා තිබුණු රාගය නෑ
ලෙංගතු කම
කියන්නෙ
ආදරයයි පරම......
කවදාවත්
මිලින නොවෙයි
ඒ පෙම් කුසුම...
.......................................

Tuesday, May 21, 2013

බැරිදා විග්‍රහය ! විදුලි බිල හා ජවිපෙ


විදුලි බිල වැඩි වීම සාධාරණ ද? 
මට සිතෙන්නේ මේ මිල වැඩි වීම අසාධාරණයක් නැතැයි කියාය.. රටේ උද්ධමනයක් පවතින විට එවන් වැඩිවීමකට අප සූදානම් විය යුතුය. අනෙක් අතට මෙම වැඩි වීම අඩුවෙන් පරිභෝජනය කරන්නන් කෙරෙහි බලපාන්නේ අඩුවෙනි. නැතහොත් බලපාන්නේ ම නැත. අඩු විය යුත්තේ ගසා කෑම්ය, නීතිය වල් වැදීම්ය, ජනතාව ගොනාට ඇන්දවීම්ය, ජනතා විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාය. නීතියේ ඇති අසමානතාය.

එයට විරුද්ධව උද්ඝෝෂණය කළ යුතු ද?
විදුලි බිලට එරෙහිව මෙතරම් උඩ පැනීමක් කොහෙත්ම අවශ්‍ය නැත. උද්ඝෝෂණය කරනවා නම්.. කරන්නට කාරනා එමටය.. ජනතා නියෝජිතයෝ, උන්ගේ පැටවු කෙළින පිස්සු වලට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට කවුරුත් නැත. එහෙම කරනවා නම්.. මාත් එන්නට සූදානම්ය.

ජවිපෙ මිනී මැරූ එක හොඳ වැඩක්ද?
නැත. ඔවුන් සිතුවේත්..සිතන්නේත්.. මිනිසුන් ඉන්නේ කොටස් දෙකක්ය කියාය.. තමන්ට සහයෝගය දෙන සහ තමන්ට විරුද්ධ අය යන කොටස් දෙකයි. ඉතින් ඔවුහු.. නිහඬව සිටිය අයවත් දැක්කේ.. දකින්නේ තමන්ට විරුද්ධ අය යැයි කියාය. අද උදේ රේඩියෝ එකේ කිවුවේ.. අපේ රටේ කවුරුත් ආදරය කළ විජය කුමාරණතුංග, ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස්, තේවිස් ගුරුගේ.. ආදී ලිස්ට් එකක්ම ජවිපෙ විසින් ඝාතනය කළ බවයි.. එය සිදු වුණේ අර කියපු සිතිවිල්ල නිසාය. කොහොම වුණත් ගිය ණුවන ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැක. ප්‍රේමකීර්ති නම් සියවසකට වරක් වත් බිහිනොවන ශ්‍රේෂ්ඨ කවියාට නැවත පණ දිය නොහැක. විජය කුමාරණතුංග නම් සොඳුරු මිනිසාට  නැවත පණ දිය නොහැක..

එහෙමයි කියා ජවිපෙට උද්ඝෝෂණයක් කිරීමට අයිතියක් නැති ද?
ප්‍රශ්නය මෙයයි. ආණ්ඩුව හිතන්නේ එහෙම අයිතියක් ජවිපෙ ට නැතැයි කියා ය. එහෙම බැලුවොත් ඒ අයිතිය වෙනත් එකම දේශපාලන පක්ෂයකට වත් නැත. හරියට හෝ වැරදියට තමන්ගෙ ජීවිත පරිත්‍යාගයෙන් ජනතාව වෙනුවෙන් අරගල කළ පක්ෂයක් ලෙස ජවිපෙට එම අයිතිය හොඳින්ම ඇත.. වරද නම්.. අරගල කළ යුතු කාරණාව තවමත් ජවිපෙට නොවැටහීමයි..

Monday, May 20, 2013

සඳස-රේඩියෝ.. කවි සිතක් අද්දර

අන්තර්ජාලයේ කවි සමූහ මෙන්ම විවිධ රේඩියෝ නාලිකා ද ඇති බව ඔබ සියළු දෙනා දන්නවා ඇත. එහෙත් මේ අතර සඳස ෆේස්බුක් කවි සමූහය සහ සඳස රේඩියෝව මේ අතර සුවිශේෂයැයි මට සිතෙනුයේ.. මේවා අන්තර්ජාලය හා ෆේස්බුක් හරහා සඳස් කවිය වෙනුවෙන් මහා මෙහෙවරක් කිරීම පිණිසම ඇරැඹුණු ඒ ඒ වර්ග වල මුල්ම ආයතනයන් නිසාවෙනි.. ඒ නිසාම මේවායේ නිර්මාතෲ හේමදාස ලියනගේ මැතිඳුන් කෙරෙහි ද මා තුළ ඇත්තේ.. ඉමහත් ගෞරවයකි.. එම ගෞරවය දෙගුන තෙගුන වන්නේ.. එතුමා තුළ ඇති අවංක හා ඍජු ගුණයන් දකින විටය..

කෙසේ හෝ පසුගිය සතියේ සඳස රේඩියෝවේ අනූෂා නිලන්තිකා මහත්මිය මා හට පැවසුවේ එම රේඩියෝවේ විකාශය වන "කවි සිතක් අද්දර" වැඩසටහනට මා තෝරාගත් බවකි.. ඒ සඳහා සහභාගී විය හැකිදැයි ඈ මා විමසුවාය.. මෙය මට මහත් සතුටක් වූ නිසාම එයට එකඟ වූයෙමි..

බොහෝ කරදර මධ්‍යයේ ස්කයිප් හරහා පටිගත කළ එම සාකඡ්ඡාව මෙහෙයවනු ලැබුවේ නෙරංජි ලියනගේ මෙනවියයි..

ඉතින් එය පසුගිය සිකුරාදා එනම් 17 වෙනිදා ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 9.00 ට සඳස රේඩියෝවෙන් විකාශනය විය. මා වැනි අංකුර කවියෙකුට එවන් අවස්ථාවක් ලැබිම මහත් භාග්‍යයකි.. ඊටත් වඩා තවත් සඳස් කවි සමූහයක් වන සිහල කවි සංගමයට අයත් කෝකිල හඬ කවි සමූහයේ ඇඩ්මින් වරයෙකු වන මාව මේ සඳහා තෝරා ගැනීම පිළිබඳ  ඔවුන්ට ස්තුතිවන්ත විය යුත්තේ කවි සමූහ අතර සබැඳියාව වත්මනෙහි කාලීන අවශ්‍යතාවයක් නිසාවෙනි..

එම වැඩසටහන U Tube හී තැන්පත් කර ඇත්තේ මෙසේය..









එහෙනං ඔයාලත් මේවා අහලා ගුණ දොස් කියන්ටකෝ..

සඳස රේඩියෝවේ ෆේස්බුක් පිටුවටත් ගිහිං ලයික් එකක් දාන්ටකෝ..

Friday, May 17, 2013

සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ..2 (කෙලෙහි ගුණ)

 සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ.. නමින් මා ලියූ මුල් ලිපියට සබැඳිව තවත් ඉදිරියට යන්නට සිතුනු නිසා එහි දෙවැනි කොටසක් ද ලියන්නට සිතුවෙමි..

======================================
උඹලට සුමිත් අයියලා මොනවා කරත් වැරදියි..  මිනිස්සුන්ගේ වැරදිම හොයන්ට එපා බං.. අපි කවුරුත් මිනිස්සුනෙ.. අපි කාටත් වරදිනවා.. හොඳ දකින්න පුරුදු වෙයං..
======================================
යකෝ අපි කවුරු කරත් වැරැද්දට වැරදියි කියනවා.. හරි දේට හරියි කියනවා.. උඹලා වගේ කැපුවත් නිල් නෙවෙයි.. අවුල තියෙන්නෙ සුමිත් අයියා කරන තරමක් කරන්නෙ තක්කඩි වැඩනේ..

======================================
එහෙම කියන්ට එපා බං.. උඹලෑ අයියගෙ රස්සාව හොයලා දෙන්ටත්.. සුමිත් අයියා මාර ගේමක් දුන්නනේ..
======================================
ඒකමනේ බං මාත් කියන්නේ.. එතනත් කළේ තක්කඩි වැඩක්නේ.. අහිංසක‍යකුගේ අවස්ථාවක් නේ.. නැති කළේ..  අපි පැත්ත ගියත් ඇත්ත කියන්ට එපාය..
======================================
ඇයි බං කෙලෙහිගුණ කියලා ජාතියක් උඹ දන්නෙම නැද්ද?

Tuesday, May 14, 2013

සුමිත් අයියා සහ දේශද්‍රෝහියෝ..


සුමිත් අයියා නම් මහ පුදුම මිනිහෙක්.. බලන්ටකො තියෙන නිරහංකාර කම.. හැමෝත් එක්කම හිනාවෙලා.. වචනයක් හරි කතා කරලා නෙව යන්නේ.. 

ඒ විතරක්ද මළ ගෙයක් දානෙ ගෙයක් වරද්දන්නෙ නෑ.. අපි වගේ නිකං ගිහිං කුට්ටම හොල්ල ඉඳලා එන එකක්ය.. අඩු ගානෙ රුපියල් පන්දාහක් වත් ගෙදර ඇත්තන්ට දීලා තමයි එන්නෙ.. වෙන මොකක් හරි අඩුපාඩුවක් කියන්ට.. ටක් ගාලා තමන්ගෙ සැට් එකට කියලා වැඩේ කරලා දෙනවා.. 


ඒකටත් එක්ක සයිමොං මාමා.. ඒ කිවුවෙ.. සුමිත් අයියගෙ මාමා කාරයා.. අමු කුණා.. අර උඩහ කන්දට යන පාර ලොකු කරන්ට දුන්නෙ ම නෑ නෙව.. නඩු කියලා, හූනියං කරලා කොච්චර නං හදි කළා ද..? ඒ වුණාට නඩුව දින්නට වැඩක් වුණාද..? සුමිත් අයියා ඇවිත් වචන දෙකයි කිවුවේ.. සයිමා නිකංම සයිලන්..


අර මැගි නැන්දගෙ දුව කුමාරි.. *ක කහ ගන්ට නියපොත්ත නැති වුණාට.. *** නළලෙ තියාගෙන හිටියෙ.. සුමිත් අයියා බැස්සා ගේමට.. කෙල්ල සැරෙන්ඩර්.. ආයෙ මොනවද.. දැං ඉතිං කෙල්ලට රජ සැප..නේ.. 


=============================================
අනේ පලයං බං යන්ට.. අපි නොදන්න සුමියා.. ඕකා මරිසියට කාටත් කෙහෙල් ඇවරිය දැම්මට.. ඕකා හෙණ දසයා.. 

බලහං.. ඕකා අඩු ගානෙ.. ඕ ලෙවෙල් වෙනකං ඉගෙන ගත්තද? හැබැයි දැං මුදල් ඇමති තුමාගෙ උපදේශක. ගමේ එවුවන්ට කසිප්පු පොවලා හම්බකරන සල්ලි මළ ගෙවල් වලට මිසක් පොඩි එවුන්ට චොකලට් ගන්ට වියදං කොරන්නෙ නෑ බං..

ඌ පාර කපාගත්තෙ කන්දෙ එවුවන්ට තියෙන ආදරේට වෙන්ටෑ.. අනේ නිකං ඉඳහං.. උගෙ හොර වැඩ ටික පාඩුවේ කොර ගන්ට ගමේ එවුංව ෂේප් කරගන්ට තමයි ඕකා ඔය පාර කැප්පුවේ.. අනික උගෙ හොර ගෑණිගෙ ගෙදරත් කන්දෙ නෙ බං තියෙන්නෙ..

කුමාරි ලැජ්ජා බයට හැදුණු එකියක් කියලා තමයි මාත් හිතං උන්නෙ.. ඒකිත් අපට දාන්ට තියෙන ඔක්කොම පාට් පෙන්නලා.. මුගෙ අතිං සල්ලං වුණා.. කන්ට බොන්ට අඳින්ට නං තාම තියෙනවා.. ඒත් බං රටේ ගස් ටික කපලා, නිධං ටික මංකොල්ල කාලා, කසිප්පු ටික ගමේ එවුන්ට විකුණලා, ඇමතින්ට වන්දිභට්ට කං කොරලා හම්බ කරන සල්ලි කොච්චර කල් යා දෙයි ද කියලා කවුද දන්නෙ..
================================================
උඹලා හිතන්නෙ ඉතිං නුහුරටමනේ.. උඹලා වගේ එවුවන්ට තමයි බං දේශද්‍රෝහියො කියන්නේ..

Friday, May 10, 2013

Payroll Software එකක වැදගත්කම.. 2

 Payroll Software එකක වැදගත්කම.. 1 ලියලා සෑහෙන දවසක්.. ඒ කියන්නෙ මාසයක් විතරම ගියා.. දෙවැනි කොටස දාන්න ඉස්පාසුවක් ලැබුණේ අද තමයි ඕං..

C Form, Form C3 Return, R4 Form, Form II Return, PAYE Tax Deduction, T-10  වගේ අතිශය වැදගත් Statutory Reports කිහිපයක් ගැන පළමු ලිපියෙන් අපි කතා කළා..

Salary Sheet, Coin Analyze, Loan Status වගේ 
Reports වල තියෙන වැදගත්කමත්.. Payslip එක ගැනත් අපි කතා කළා..

෴෴෴෴෴අද එතැන් සිට෴෴෴෴෴෴෴෴෴෴

Salary Sheet වගේම වැදගත් 
Reports  දෙකක් තමයි.. Bank Transfer   හා Signature Sheet කියන Reports  දෙක.  Bank Transfer  Report එකේ බැංකුවට පඩිය Transfer වෙච්ච අයගේ විස්තර ටිකත්,  Signature Sheet එකේ සල්ලි වලින් පඩි ගත්තු අයගේ විස්තර සහ අත්සන දැමීමට ඉඩකුත් තියෙනවා.. පල්ලෙහා තියෙන පිංතූර දෙකෙන් පෙන්වන්නෙ මේ Reports දෙකට උදාහරණ...





ඊළඟට අපට හමුවන වැදගත්ම Reports වෙන්නෙ Payroll Summary Reports ටික. මේ ටික ගොඩක් වැදගත්  වෙන්නෙ Salary එක ගැන පොඩි විශ්ලේශනයක් කරන්න.. ආයතනයක් විශාල වෙද්දි.. මේ තොරතුරු ටික බොහොම වැදගත් වෙනවා.. මේ තියෙන්නෙ උදාහරණ Reports කිහිපයක්..





මේ වගේම විෂ්ලේශනයට ඉතා වැදගත් වෙන  Report එකක් තියෙනවා.. Salary Detail by Employee  කියන Report එක.. එමඟින් යම් කාල පරාසයක් තුළ එක් සේවකයෙකුගේ Salary එක වෙනස් වූ ආකාරය සොයා බැලිය හැකියි.. පහත දැක්වෙන්නේ.. එම Report එකේ උදාහරණයක්..


මේ වගේම Fixed/ Variable Allowances හෝ Deductions, Increments, Salary Advance, NoPay, Late, Overtime වගේ Reports වලින් ආයතනයේ දියුණුවට ඉවහල් වන තොරතුරු බොහොමයක් ඉතා පහසුවෙන් හොයා ගන්න පුළුවන්..

මෙයිට අමතරව Salary එකත් එක්ක සෘජුවම සම්බන්ධ නොවුණත්.. Active, Inactive සහ Terminated  Employee Lists ඉතා ප්‍රයෝජනවත්. Employee Profile හා Gratuity කියන Reports දෙකත් බොහොම වටින කියන 
Reports දෙකක්..

දැං බලාගෙන ගිහාම ඔක්කොම වටින කියන ඒවනෙ.. ඔවු ඉතිං වටින කියන ඒවා ගැන තමයි කියන්නේ... නොවටිනා ඒවා ගැන කියලා වැඩක්ය..

ඉතිං එහෙනං Payroll Software එකක තියෙන වටිනා කියන ගොඩාක් Reports ගැන අද ලිපියෙන් විස්තර කළා.. පිංතූර ටිකකුත් දැම්මනේ..

ඊළඟ ලිපියෙන් තවත් වැදගත් කරුණු ටිකක් ගේන්නම්...


ඉස්පාසුවක් තියේ නං විතරක්..
Perfect Software Solutions (Pvt.) Ltd.  කියන අපේ Company එකේ වෙබ් පිටුවටත් ගිහිං.. ගෙදර යන ගමං අපේ ෆේස්බුක් පිටුවටත්  ගොඩවෙලා යන්නකෝ..
 


Wednesday, May 8, 2013

කවුරුන් හෝ ඇවිල්ලා..





ඔබව දන්න ඔබ නොදන්න කවුරුන් හෝ ..........ඇවිල්ලා
හදෙහි ගින්න මැඬ නිවන්න මොනවාදෝ ........ගෙනැල්ලා
තව හිතන්න හසු නොවන්න ඉවසාලා ...............සියල්ලා
මෙත වඩන්න සිත නිවන්න පුළුවන් දැන ..........ගනිල්ලා

පුංචි පුතා වෙයි සමතා ඒ ගැන සිත ................යොමල්ලා
දෝණිට යන කල දවසට අඩු වැඩියක් ...........හොයල්ලා
පාළු සිතේ හීන පැතුම් ගැන මැදහත් ...............වෙයල්ලා
දෝස නසා පිය දිගැසා ගැන බිඳුවක් .................සිතල්ලා

කාසි නිසා වාසි තකා වරදට යොමු .............නොවෙල්ලා
පාසි ලෙසා බැන්ද ගලේ අනුනට දුක් ..........නොදෙල්ලා
දෝසි වෙසා වෙහෙස නිවා සැම හිත් රස ..........කරල්ලා
වාසි බසා වේය දොසා සුබසම නිති ...............දොඩල්ලා

Thursday, May 2, 2013

බ්ලොග් කමෙන්ටුවකට ලිංක් (Link) එක ඔබන්නේ කොහොමද?


නිතරම අපට අවශ්‍ය වෙන පුංචි පුංචි දේවල් අතර බ්ලොග් එකක කමෙන්ටු දාද්දි වැදගත් දෙයක් තමයි.. Link එකක් කමෙන්ටුව අතරට අමුණන එක..

ඔබට අවශ්‍යයි කියලා හිතමු http://hadapathula.blogspot.com කියන Link එක.. "හදපතුල" විදිහට පෙන්නලා.. ඒක  Click කළාම අවශ්‍ය තැනට යන්න..

මෙන්න මේ විදිහට ඒ වැඩේ කරන්න පුළුවන්..



මෙතන තමන්ට යන්ට අවශ්‍ය තැන Link Address එක (දිගුව) http://hadapathula.blogspot.com වෙනුවට දාලා.. පෙන්නන්ට ඕන Text එක හදපතුල වෙනුවට දැම්මා නම් ලස්සනට Link එක පෙනෙයි..

මේක Blogger   වගේම  Wordpress වලත් වැඩකරන බව මට මතකයි.. දැනගත්තට පස්සෙ පුංචි දෙයක් වුණාට.. දැනගන්ට කලිං මහා ලොකු දේවල් විදිහට හිතෙන දේවල් වලිං එකක් තමයි මේක..

මේක ඉතිං පෝස්ටුවක් ලියන්ට තරං දේකුත් නෙවෙයි.. ඒත් ඉතිං ලිවුවට වරදකුත් නෑ.. මයෙ හිතේ..

Monday, April 29, 2013

හැඩයට නමක්..

දෙන්නෙක් අතර ඇතිවන සම්බන්ධයකට නමක් දිය යුතුම ද? සම්බන්ධය කුමක් වුණත්.. එයට අනිවාර්යයෙන් තිබිය යුත්තේ හැඩයකි.. එම හැඩයට නමක් දිය හැකි නම් එය වෙනම කතාවකි.. නමක් යෙදිය හැකි නොවීම හැඩයේ වරදක්ද?

මාත් අපේ රටේ නායකත්වයත් අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි.. ඒ සම්බන්ධයේ දී.. මට ... ඔහු මගේ රටේ ජනතාව විසින් පත් කළ මගේ රටේ නායකයාය..  ඔහුට .. මා.. සුවහසක් වූ ඔහුගේ ආදරණීය ජනතාව අතරේ.. ඔහු මහත් සේ ආදරය කරන මිනිසෙකි..

ඕනෑම සම්බන්ධයක තත්වය එසේ නොවේ ද? දෙදෙනාටම එක ලෙස දෙදෙනාව දැනෙන්නේ නැත.. එහෙත්.. අප අපගැන තීන්දු තීරණ ගන්නේ එම පදනමේ පිහිටා නොවේද?

යම් යම් සාධක අනුව නිර්ණායකයන් තනා තිබුණත්.. ඒවා පුද්ගලයාට සාපේක්ෂව ඉතා විශාල පරිමානයෙන් වෙනස් වේ..

ඔබට මා සිත ආදරය කළ පමණින්..
ඔබත් මට කළ යුතුද ආලය..
මගේ ආලය ඔබට ඕනෑ නැති මුත්..
මා නැවැත්විය යුතුද ආලය..
ඔබ කොහේදැයි නොදන්නා මට සැබැවින්..
ඔබට කළ නොම හැකිද ආලය
ඔබට දෙන්නට බොහෝ දෑ සිත ඇති මුත්..
දිය යුතුද ඒ සොඳුරු ආලය...
ඔබේ යහපත නිබඳ  පැතුවෙමි සෙනෙහෙන්..
එයට කියනා.... නමද ආලය..

Thursday, April 11, 2013

මේ පාරත් පොල්ල තමයි..

මේ පාර සයිබරයේ බක්මහ සැණකෙළිය තියෙන්නේ අප්‍රේල් 21 වෙනිදාය කියලා මං දැනගත්තේ.. ඊයෙ.. ඉතිං මේ පාර නං කොහොම හරි යනවයි කියලා හිතා ගත්තු මං තකහනියක්ම ගිහිං ඉල්ලුම් පත්තරේකුත් පිරෙවුවා.. හුටා පටස්.. ගෙදර ගිහාමයි මතක් වුණේ.. 21 අපේ ගෙදර නෑදෑ හමුවක් තියෙනවා.. නෑදෑ හමුවක් කියන්නේ අපේ අම්මගෙ සහෝදර සහෝදරියො ටික අපේ ගෙදරට කැඳවලා පුංචි සංග්‍රහයක් කොරනවා.. ඒ මදිවට අපේ අප්පච්චිගේ උපන් දිනේ.. ඉතිං නෝ හෙල්ලුම්..

කමක් නෑ එහෙනං .. මේ පාරත් පොල්ල තිබ්බට සමාවන සේක්වා..!

ලබන්නා වූ සිංහල අවුරුද්ද කට්ටියටම සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා..!

අනේ ඉතිං පුළු පුළුවං කට්ටිය.. මෙතැන්ට ගිහිං සැණකෙළි අසිරිය විඳගන්ට..!

එහෙනං ආයිබෝං..!

Wednesday, April 3, 2013

Payroll Software එකක වැදගත්කම.. 1

මගේ ආයතනයේ  ප්‍රධානම Product එක Payroll Software එක හින්දා ඒ ගැන ලිපි කිහිපයක් ලියන්න ඕන කියලා මට හිතුණා... කලා කටයුතු වලට අවුලක් නොවෙන්න අතරින් පතර.. එකින් එක දාන්නම්..

ආයතනයක් පවත්වාගෙන යද්දි කරන වැඩේට වඩා අමාරු වැඩේ තමයි.. රජයට අවශ්‍ය Documents හදන එක.. Payroll එකත් එක්ක සම්බන්ධ වෙන මේ වගේ Documents කීපයක් මතක් කරනවා නම්..

C Form - මාසිකව EPF සඳහා
Form C3 Return - මාස හයකට වරක් EPF සඳහා
R4 Form - මාසිකව ETF සඳහා
Form II Return -  මාස හයකට වරක් ETF සඳහා
PAYE Tax Deduction - මාසිකව PAYE Tax සඳහා
T-10 - වාර්ෂිකව  PAYE Tax සඳහා

මේ විදිහට මහා ගොඩාක් Reports අවශ්‍ය වෙනවා.. ඒ ඔක්කොටම වඩා පඩි ගෙවන එකනේ වැදගත්. පඩි ගෙවන්න ඉතාම වැදගත් වෙන Reports කීපයක් තියෙනවා.. මේ තමයි ඒවා..

Salary Sheet  - මේක හරියට තියෙනවා නං, සල්ලිත් තියෙනවා නං එච්චර කරදරයක් නැතුව පඩි ගෙවා ගන්න පුළුවනි.
Coin Analyse (Summary & Detail)  - ටිකක් වැඩිපුර සේවකයො ඉන්න (තේ, රබර් වතුයායවල් වගේ) ආයතන වලට තමයි මේක ගොඩක් වටින්නේ.. බැංකුවෙන් සල්ලි ගෙනෙද්දි මොන මොන විදිහටද ගේන්න ඕන කියලා (රුපියලේ ඒවා කීයද, දහයේ කොළ කීයද, දාහෙ කොළ කීයද, පන්දාහේ කොළ කීයද.. ආදී වශයෙන්) ලැයිස්තුවක් දෙන එක තමයි මේකෙන් කරන්නේ..
Payslip එක ඉතිං වටින්නේ සේවකයින්ටනේ..

අනිත් වැඩේ තමයි Staff Loan.  ආයතන වල එක එක විදිහේ .(Festival Advance, Distress Loan වගේ..)   Staff Loan Types තියෙනවනේ.මේවා පඩියෙන් කැපෙන්න ඕන වගේම හිටපු ගමන් මේ මාසෙ කපන්න එපා කිවුවම නවත්තන්නත් එපාය. Staff Loan වල Status එක දැනගන්න එකත් බොහොම වටිනවා.. කොච්චරක් කැපිලද? තව වාරික කීයක් කැපෙන්න තියෙනවද? වගේ දැනගන්ට කරුණු බොහොමයක් තියෙනවා නේ..  ඊට අමතරව සමහරු බැංකු වලින් ලෝන් අරගෙන ඒවත් පඩියෙන් කපලා බැංකුවට යවන්න කියනවා.. ඉතිං මේ Staff Loan කෙරුවාව System එකක් නැතුව කරනවා කියන්නේ.. ලේසි පාසු වැඩක් නෙවෙයි..

තවත් වැදගත් කරුණු ඉදිරියට..