Monday, April 7, 2014

බැරිදා විග්‍රහය ! විස්සයි විස්ස කුසලානය

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය දිනාගැනීමත් එක්ක අපේ ක්‍රිකට් පොතේ අලුත් පරිඡ්ඡේදයක් පෙරලුණි.. තවත් විදිහකින් කියනවානම්.. එක්තරා පරිඡ්ඡේදයක් අහවර වුණි.. මේ තරඟාවලිය අවසන අපට කතා කරන්නට දෑ බොහෝය..
සංගා හා මහේල විශ්‍රාම ගත්තෝය.. ඒ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු විශ්‍රාම ගනිද්දී තිබුණු ඉහලම අභිමානය ද ඇතිවය.. එම අභිමානය.. ඔවුන් දෙදෙනා තරම්ම වීරයන් වූ.. රෝයි, දුලිප්, රුමේෂ්, අර්ජුන, අරවින්ද, සනත්, වාස් හෝ මුරලි දිනාගත්තේ නැත.. ඒ සුදුසු කාලය හඳුනා ගැනීමට ඔවුන් දක්ෂ නොවූ නිසාය.
දිල්ෂාන්ට ද සුදුසු කාලය පැමිණ ඇති බව අපි දනිමු.. හනි හනිකට දිල්ෂාන් ද මෙය තේරුම් ගත යුතුය.. දැන්ම විශ්‍රාම ගතහොත්.. සංගා හා මහේලට තරම්ම නොවෙතත්.. සැලකිය යුතු ගෞරවයක් ලබමින් ඔහුට විශ්‍රාම ගත හැකි වනු නියතය..
මාලිංග ගේ නායකත්වය.. ගැන ද විවිධ මත පළවුණි.. ශ්‍රීලංකා කණ්ඩායම පාලනය වූයේ නායකත්ව මණ්ඩලයකින් බවට පැවසිනි... ඒ කෙසේවතුදු.. නව නායකත්වය යටතේ ශ්‍රීලංකා පිළ නව පණක් ලැබ ගත් බව නොරහසකි.. කණ්ඩායම් හැඟීම ඉතා ඉහල මට්ටමක තිබුණි.. කණ්ඩායම් හැඟීමෙන් මහත් සේ පිරිපුන් ක්‍රීඩක දෙපලක් වන සංගා හා මහේල වෙත යළිත් සිත දිව යයි.. එහෙත්.. කිසිවෙකු රොෂාන් මහානාම හෝ අර්ජුන තරම් වේයැයි නොසිතමි.. නායකත්වයේදී ඇතැම් තැන් වල දී තීරණ ගැනීම, පිටිය සකස් කිරීම මෙන්ම අතිශය වැදගත් කරුණක් වන්නේ කණ්ඩායමේ සහයෝගය නොමඳව ලබා ගැනීමයි.. මෙම කරුණු කිසිවක මාලිංග තරම් සාර්ථක වූ අයෙකු නැති තරම්ය.. නායකත්ව මණ්ඩලයක් හරහා හෝ ඔහු තම වගකීම ඉටු කළේ නම්.. එයට අපහාස කිරීම, අවතක්සේරු කිරීම නම් කුහක කමයි.. මාලිංග තමා සතු තුරුම්පු මනාව යොදාගත් ආකාරය විශ්මය ජනකය.. ඔහු ඉදිරියටත් කණ්ඩායමේ නායකයා විය යුතු බව මගේ වැටහීමයි..
කණ්ඩායමේ සමබර බව ගැන සිතා බංකුවට වී සිටි පළමු නායකයා චන්දිමාල් නොවේ.. පළමුවැන්නා.. මාවන් ය.. එලියෙන් සිටීමට චන්දිමාල්ට තරම් සාධාරණ හේතු නොතිබියදීත් මාවන් එලියෙන් සිටියේය..එය එදා ශ්‍රී ලංකා පරාජයට හේතු විය..
කෙසේ වෙතත් චන්දිමාල් සිය අඩුපාඩු නිවැරදි කරගෙන යළිත් කණ්ඩායමට ඇතුළු වීමට උත්සාහ කළ යුතුය..
මෙවර තරඟාවලියේදී අපගේ විශ්වාසය දැල්වූ පිතිකරුවා වූයේ තිරිමාන්නයි.. ඔහු වඩාත් විශ්වාසයෙන් හා නොබියව පන්දුවට පහරදෙන අන්දම දුටු විට.. සංගා හා මහේල ගේ අඩුව පිරවීමට අප සතු ප්‍රධානම අවිය ඔහු බව හැඟෙයි..
සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීම ගැන ද හිතේ ඇත්තේ මහත් ප්‍රසාදයකි.. රංගන හේරත් තව ටික කලකින් සමුගතයුතු නිසා.. සචිත්‍ර ගේ සහායට හොඳ දඟ පන්දු යවන්නෙකු සිටිය යුතුය.. ඒ ජීවන් මෙන්ඩිස්, සුරාජ් රන්දිව් හෝ චතුරංග ද සිල්වා විය හැක..
අවසන ඕනම දේකට ඔට්ටු.. තිසර, කුලසේකර හා මැතිවුස් ට මාගේ ප්‍රණාමය පුද කරමි..
රත් විය තැටිය රොටි සදමුද එසැණ ......තොසා
නෙත් යුග පිරුණි ජය ගොස වැදි සවන ...වසා
මත්තට හැඳින දැන මඟහැර නැඟෙන ....දොසා
ලත් ජය මතින නැගිටිමු නොම වැටෙන ලෙසා

Monday, March 24, 2014

මෙලොව සැරි සරණකං - නුඹට ගරු කරමි මං

පහුගිය පාළොස් වැනි දා.. උදෙන්ම රූපවාහිනී සංස්ථාවට යන්ටෙයි කියලා පිටත් උනේ (මතකනෙ අර කෝකිල හඬට 11 වසරක් පිරීම නිමිති කොට ගෙන තිබුණු වැඩසටහන.. අන්න ඒකට) මගේ දඬුමොණරෙට ගොඩවෙලා.. ඔන්න.. ඉතිං මං රූං කියලා යද්දි එක පාරටම ගියර් අහුවෙන්නෙ නැතුව ගියා.. මගේ පූරුවෙ වාසනාවකට ද මංදා.. දඬුමොණරෙ නැවතිලා තිබුණෙ.. අපේ අමල් (Amal Pussallage) වෙන්ට මන්ත්‍රී තුමාගෙ ගෙවල් ඉස්සරහා.. ඉතිං ඒ ගෙදරට දඬුමොණරෙ තල්ලු කරලා.. අදාල ගමන බස් එකක නැගලා ගොහිං කොරගත්තයි කියමුකො..
දවල් 1.30 ට විතර උනා .. අමල් තුමාගෙ ගෙදරට එනකොට.. ගෙවල් හරියෙ පේන්ට කවුරුවත් හිටියෙ නෑ..උදවුවට ඉන්න කෙනෙක් ඇරෙන්ට (මං හිතන්නෙ මැතිවරණ ප්‍රචාරක වැඩට ගොහිං වෙන්ටැ..)ඉතිං කොහොමිං හරි.. මං ආයෙත් දඬුමොණරෙ තල්ලු කරගෙන කිලෝ මීටර් එක හමාරක් දුරින් තියෙනවයි කියන වැඩපොළක් ගාවට යන්ට පටං ගත්තා..සුට්ට දුරක් යද්දි ම..
අයියේ.. පෙට්‍රල් ඉවර වෙලාද? එහෙම ඇහුවෙ පාරෙන් එහා පැත්තෙ නතර කොරලා තිබුණු තැපැල් නයින්ටියක හිටපු මට වඩා අවුරුදු 2-3 ක් වත් වැඩිමල්ය කියලා හිතෙන.. හඩු කිට් එකක් ගහගත්තු හාදයෙක්..
නෑ... මේ ගියර් වල අවුලක්ද කොහෙද? මං උත්තර දුන්නෙ ඕනවට එපාවට වගේ..
මෙන්න බොලේ අර මල්ලියා පාර පැනලා දුවගෙන එනවා..
සුළු පරීක්ෂණ කීපයක් කිරීමෙන් පස්සෙ මල්ලියා ලෙඩේ හොයා ගත්තා..
චේන් එක පැනලනෙ මචං.. (ඒ පාර මචං ලු.. )
පැනලද කැඩිලද? (මේ වෙනකොට මට මචං ගැන පැහැදීමක් ඇති වෙලා)
කැඩිලා.. කිලෝ මීටර 2 ක් විතර තල්ලු කරන්න තියෙනවා.. ලණුවක් අර කඩෙං ගන්න.. මගෙ බයිසිකලෙන් අදිමු..
අනේ ඔයාට කරදරයිනෙ.. ඔයා වෙන වැඩ පාලු වෙනවනෙ.. කමක් නෑ මං තල්ලු කරගෙන යන්නම්..
නෑ.. මං මාලු බිස්නස් කරන්නෙ.. දැං වෙළඳාම ඉවරයි.. මං ඒ පැත්තටයි යන්නෙ.. අර කඩෙන් ලණුවක් ගනිංකො මචං..
ඔන්න ඉතිං ලණුව ගෙනාවා..
අපේ යාළුවා.. ම බයිසිකල් දෙකේ ගැට ගැහුවා..
ඔන්න දැං.. මගෙ දඬුමොණරෙත් ඇදීලා යනව.. එක පාරටම හුට හුටස්.. ක්‍රෑස්.. ගාලා හිටියා.. චේන් කේස් එක ඇතුළෙ චේන් එක හිර වෙළා.. චේන් කේස් එක ගලවන්ට උපකරණ එපාය.. වෙලාවට අපි දෙන්නගෙම දඬුමොණර වල තිබුණු උපකරණ.. ඒකට ප්‍රමණවත් මදි.. අපේ යාළුවා දිවුවා ඉස්සරහ කඩේට.. ඒ මුදලාලි එහා පැත්තෙ තිබුණු ත්‍රිරෝද රථ පාක් එක පෙන්නුවා.. අපේ යාළුවා හිස් අතින්ම ආපහු හැරෙද්දි.. ඔන්න තව මාළු බයිසිකලයක් එනවා.. හෝවු.. හෝවු ගාලා.. මේ හාදයා බයිසිකලේ නැවැත්තුවා..
මේ අයියගෙ බයිසිකලේ චේන් එක කැඩිලා.. හිරවුණා.. ගලවගන්න යතුරක් නෑ.. උඹේ යතුරු සැට් එක දියංකො.. කියලා පෝර උරයක් ඉල්ලගනිමින් මගෙ දිහාට හැරිලා.. මේ මගේ අයියා කියලා කිවුවා.. මාත් ඉතිං බොහොම කෘතඥ්ඥ පූර්වක හිනාවක් පෑවා.. අයියා ගියා.. මල්ලි දැං ඇවිත් චේන් කේස් එක ගලවනවා..
මුං නං... පුදුම හු&*^ලා .. වීල් පාක් එකක යතුරක් නැති වෙනවද මචං..
අපි නං කාට හරි කරදරයක් වෙලා කියලා දැක්කොත් ටක් ගාලා පුළුවන් සප් එකක් දෙනවා.. ඒකයි මචං සිංහල කම කියන්නෙ..
මගෙ ඇඟේ මයිල් කෙළිං උනා ඌ ඒක කියපු විදිහට..
ඇත්තටම ඔයාට ගොඩාක් පිං මේ කරන උදවු වලට.. (මං ඉතිං වෙන මොනවා කියන්නද?)
මේ මනුස්සයා මාවත් ඇදගෙන ගැරේජ් එකකට ගියා.. වෙලාවට බාසුන්නැහැ කන්ට ගිහිං..
බාසුන්නැහැ ඇවිත් වැඩේ කරලා දෙයි.. අතේ සල්ලි තියෙනවා නේද? මං ගිහිං එන්නම්.. උදේටත් කන්නෙ නැතුවයි මේ ඉන්නෙ..
හරි.. හරි.. බොහොම ස්තුතියි.. බොහොම පිං.. කරපු උදවුවට..
ටික වෙලාවක් යද්දි බාසුන්නැහැ ආවා..
මහත්තයගෙද බයික් එක.. මට එක්කෙනෙක් කඩේට ඇවිත් කියලා ගියේ.. අපි මෙතන පුස්සයිකල් විතරයි හදන්නෙ.. කමක් නෑ කොහොම හරි හදලා දෙන්නම්කො..
පැයක පමණ මහන්සියක් දරා ඔහු මගේ වැඩේ කරලා දුන්නා.. (100% ක් ම නොවුණත්.. පැදගෙන යන ගානට.. මං අවිස්සාවේල්ලට ගිහිං අලුත් චේන් එකක් දාගත්තා)
ප.ලි.
ඇතැම් දේවල් තුළින් බොහෝ සේ දුර්වල වුවද.. මෙවන් උදාර මිනිසුන් රන්, රිදී, මුතු, මැණික් වලට වඩා බෙහෙවින් වටී.. හැබෑ සිංහලයෝ ඔවුහුය.. නම නොදන්නා සොයුර, මේ මගේ උපහාරයයි..

Thursday, March 13, 2014

පොකුණු දිය

නාගන්නට හිතාන පොකුණ අසබඩට ආවත්, ඒ අමතකව ගිය කලෙක මෙන්, මා නිසසල පොකුණු දිය දෙස නිරර්ථකව බලා සිටියේ මන්දැයි නොදනිමි. එක් වරම කෑ කෝ ගසාගෙන දිවගෙන ආ පිරිසක් පොකුණට පැන දඟලන්ට පටන් ගත්තේ පොකුණු දිය බොර කරමිනි..මා සමඟ ආ මගේ මිතුරු කැළ.. වාදයකය..

උන් මේ පොකුණ වනසාවි.. අපි කාටවත් ඒක පාවිච්චි කරන්ට වෙන්නෙ නෑ..
උන්ටත් මේක පාවිච්චි කරන්ට අයිතියක් තියෙනවා.. තවකෙකු කියයි..
උන් දැඟලුවා කියලා වතුර ටික ගෙනියන්නෑ නෙ.. ඒ තවත් අදහසකි..
අපි ඉස්සෙල්ලා බැස්සා නම් උන්ට මොනවා හිතෙයිද? අදහස් නොනවතින සෙයකි..
එයාලා මේක පාවිච්චි කරන විදිහේ ගැටළුවක් තියෙනවා.. ඒත් අතේ ඇඟිලි පහ එක වගේ නෙවෙයිනේ.. අපි ඉවසමු..
එතකොට අපට නාන්න වෙන්නෙ නෑ නෙ..
අපි ගෙදර ගිහිං නාගමු..
උඹලට ගෙවල් වල නාන කාමර තියෙන හින්දා හොඳයි..
මට නාන්න වෙන්නෙ නෑ.. අපේ ළිඳේ වතුර හිඳිලා..
සොරි මචං..

Friday, March 7, 2014

ආදරණීය මෑණියන්ට සුබ උපන්දිනක් වේවා

   
ගොතා කවි පද නිම කරන්නට නොහැක නුඹ ගැන හිත් පුරා
අපේ ලෝකයෙ මල් වවන්නට නුඹේ කඳුළැලි වත් කරා
පිපුණු මල් පිරියමින් රැකගෙන පුදසුනේ තැන් පත් කරා
සිතා නොසිතා මගේ දිවියම නෙළූ නුඹ විය සිත්තරා
  
මගේ ආයුෂ තිබේ නම් තව එයත් නුඹටම අයිතිවේවා
මා කරන හැම කුසල් නිසැකව නුඹට අනුමෝදන්ව යේවා
සිතේ ඇතිවන නොයෙක උවදුරු දුරුව නිබඳව තොස් වැඩේවා
නුඹට මට මතු භවක් තිබුණොත් මා නුඹේ පුතණුවන් වේවා
  


මගේ ආදරණීය මෑණියන්ගේ උපන් දිනය වෙනුවෙන් කවි පංතියක් ලියන්නට නොහැකි වීම කණගාටුවකි.. ඇයට නිරෝගී සුවය, චිර ජීවනය ලැබේවා කියා පතමි..

Saturday, March 1, 2014

කොළේ හයියෙන් ගැසීම

ඕමි ගහනවා කියලා කාඩ් සෙල්ලමක් තියෙනවා දන්නවද? කෙටියෙන් කියනවා නං මේකෙ හතේ කාඩ් එකේ ඉඳන් ඉහළට තමයි සෙල්ලමට ගන්නෙ.. එක් පිළකට දෙන්නා බැගින් තමයි බෙදෙන්නෙ.. කාඩ් හතර බැගින් වූ වට දෙකකින් එක්කෙනාට කාඩ් 8 බැගින් ලැබෙන ලෙස බෙදනවා. මුල්ම කාඩ් අත ලැබෙන කෙනා "තුරුම්පු" කියන්ට ඕන (තුරුම්පු කියන්නෙ ඒ තරඟය තුළ බලවත්ම වංශය (හාරත, ඉස්කෝප්ප, රුවිත, කළාබර කියලා වංශ හතරක් තියේ) ). ඉතිං තරඟය සෙල්ලම් කරගෙන යද්දි එක පැත්තෙ දෙන්නටවත් තමන්ගෙ අතේ තියෙන කාඩ් කුට්ටම පෙන්නගන්න තහනම්. ඒ නිසා එක එක්කෙනා දාන කොළ ගැන හොඳ අවබෝධයකින් සෙල්ලම් කරන කණ්ඩායමට දිනන්න අවස්ථාව වැඩි වෙනවා.. ඒ වගේම තමන්ගෙ හැකියාව අනෙකාට කියා පාන්ට පුංචි පුංචි සංඥා කිහිපයකුත් සමාජය තුළ ස්ථාපිත වෙලා තියෙනවා.. ඒ අතර ප්‍රමුඛ එකක් තමයි වාසි කොළේ හයියෙන් ගහන එක. ඒ කියන්නෙ.. යම් කිසි වංශයකින් තමන් ළඟ තිබුණු කොළ ඉවර වෙලා.. ඊළඟ වටයේ ඒ වංශය ඇදිලා ආවොත් තුරුම්පුවකින් කපන්න හෝ තමන් ළඟ ඒ වංශයේ ඒ වෙනකොට තියෙන ලොකුම කොළේ තියෙනවා නම් ඊට කළින් වටයෙදි තමන් දාන කොළේ හයියෙන් දානවා.. මේ තමන්ගේ සඟයට වාසියක් ලැබුණොත් මේ වංශෙන් ඇදලා එවන්න කියලා දෙන ඉඟියක්.. ඒ වගේම ඉස්කෝප්ප නං ඔළුව කසන්න, කළාබර නං කකුල කසන්න.. ආදී වශයෙන් පොඩි පොඩි ක්‍රමවේද තියෙනවා.. 

ඔන්න මං හදන්නෙ.. ඕමි ගැහිල්ලට සම්බන්ධ කතා දෙකක්ම කියන්ට

1.) අපේ මිතුරෙකුගේ ගෙදර තිබුණා පොඩි දානයක්.. මේ දානෙ ගෙදර ඕමියක් ගහද්දි කට්ටිය මදි වෙලා අපේ මිතුරෙක්ව අඬගහගත්තා..පළවෙනි වතාවෙම තුරුම්පු කියන්න තිබුණේ අපේ අලුතෙන් ආව මිතුරට.. ඉතින් අපි කොළ අත බෙදලා බලන් ඉන්නවා තුරුම්පු කියනකං.. දෙතුන් පාරක් ඇහුවම.. තුරුම්පු මොනවද කියලා.. මිනිහා කියපි.. 

තුරුම්පු "ඕමි" කියලා.. බැලින්නම් මිනිහා කාඩ් ගැහිල්ල ගැන මෙලෝ දෙයක් දැනගෙන ඉඳළා නෑ...

2) දවසක් හවසක අපේ මිතුරු කැළක් එක්ක ඕමි සෙල්ලම් කරමින් ඉන්න වෙලාවක.. මං තවත් මිතුරෙකු සමඟ කතාවට වැටුණා... ඒ ඉස්පාසුවෙදි මගේ සඟයා දාපු කොළේ මොකක්ද කියලා මට බලාගන්න බැරි උනා.. මං ඇහුවා 
මොකක්ද මචං උඹ දාපු කොළේ කියලා..
මං රුවිත අට හයියෙන් ගැහුවේ කියලා මගේ යාළුවා කිවුවා.. 

Monday, February 17, 2014

මං තාමත් කළුයි...

         
එදා ඇඳපු කොට කලිසම මගේ පුතුට ලොකුයි
එදා අඬපු ඇහැ මාගේ අද පේනව අඩුයි
එදාටත් වඩා වැඩියෙං උඹ නං මට දුරයි
මං තාමත් කළුයි මගේ හිසකේ නං සුදුයි
  
මල් දුන්නට ලී හොයන්න කැලේ පැන්න මං
වල් ගොන්නට පහර දිදී සුද්ද කරපු මං
කල් ගන්නට විභාගයෙන් බොරුත් කිවුව මං
සිල් පැන්නට ඉහිං කනිං තාම කළුයි මං
  
හිතට සවිය ගතට දිරිය තාමත් මට තිබෙයි
දහම දනිමි ඇසුරු කරමි හැබැයි නිරාමිසයි
දුකම නොවේ දුරස් වීම සොබාවයක් නිසයි
මං තාමත් කළුයි.. ඒත් හිසකේ නං සුදුයි
  

Saturday, February 15, 2014

මම මගේ හිත සහ ඇය..

ඇය: අයියෙ කොහොමද ඉතිං.. මං අයියගෙ කවි වලට හරිම ආසයි.. මටත් කවි ලියන්න කියා දෙන්නකො..
හිත : කෙල්ල උඹව මුරුංගා අත්තෙ තියන්ටයි හදන්නෙ..
මම : බොහොම ස්තුතියි නංගි.. හිතෙන දේ ලියන්න.. භාෂාව ගැන පරෙස්සම් වෙන්න.. හොඳ කවි වැඩි වැඩියෙන් කියවන එක ප්‍රයෝජනවත් වෙයි..
ඇය: අයියා මාර හැන්ඩ්සම්නෙ...
හිත: මං කිවුවෙ නැද්ද?
මම: හික් හික්.. නංගි මාව මුරුංගා අත්තෙ තියනවා නේද?
ඇය: ඔය ඉතිං අයියා වැරදියට හිතනවනෙ.. මං කිවුවෙ මට හිතුණ දේ.. එහෙනං මං මුකුත් නොකියා ඉන්නම්කො..
හිත: ඒ පාර මොකාටද එන්න යන්නෙ..
මම: අයියෝ නෑ නංගි.. මං පොඩි විහිළුවක් කළේ.. ගනං ගන්න එපා..
ඇය: හරි නරකයි..
හිත: බඩුම තමයි..
මම: අපි ඉතිං නරක අයනේ..
ඇය: හරි.. හරි.. ඔය මදෑ රණ්ඩු වුණා..
හිත: කවුද බං රණ්ඩු වුණේ? මේකිට පිස්සුද?
මම: ඔයා මගෙත් එක්ක රණ්ඩු උනාද.. ? මං දන්නෙත් නෑ..
ඇය: 
හිත: 
මම: 
ඇය: අයියෙ ඒක නෙවෙයි.. මගෙ කවි පංතියක් තියෙනවා.. පොඩ්ඩක් බලලා හරිගස්සලා දෙන්න බැරිද?
හිත: ඕකටයි එහෙනං මේ හොරගල් ඇහිලුවෙ..
මම: අයියෝ ඕක මොකද්ද.. හරිගැස්සිල්ල කෙසේ වෙතත්.. බලලා.. වැරදි අඩුපාඩු තියේ නං මට තේරෙන විදිහට කියලා දෙන්නම්කෝ..

Friday, February 14, 2014

ZTE ZXV10 W 300 router එකේ 4 වැනි Port එකෙන් LAN, Internet යන්නෙ මෙහෙමයි..

අපේ ඔෆිස් එකේ තියෙනවා ඔය උඩිං කියලා තියෙන ජාතියෙ Router එකක්.. ඉතිං ඔය Router එකට පරිගණක 4ක් සම්බන්ධ කොරන්ට පුළුහං උනාට.. 4 වැනි Port එක නෙවෙයි ක්‍රියාත්මක වෙන්නෙ.. පස්සෙ Router එකේ මොකක් හරි අවුලක්වත් ද කියලා හිතලා.. ඔයි ජාතියම මෙවුවා එකක් අපේ ගෙදර තිබිලා හයි කොරලා බැලුවා.. මොන ඒ සන්තෑසියමයි.. පස්සෙ පොඩියක් හොයලා බලනකොට තමයි.. අපේ SLT එකේ මහත්තුරු (නෝනලා වෙන්ටත් පුළුහං) ඔය මෙවුවා එකේ 4 වැනි මෙවුවා එක PEO TV බලන්ට ලු වෙන් කොරලා තියෙන්නෙ.. ඒකෙං LAN, Internet යන්ට බෑ ලු කියලා. දැනගත්තෙ..

ඔය අතරෙ අපේ අන්තර්ජාලෙ පොඩියක් මෙවුවා වෙලා ඕක හදලා දෙන්ට කියලා.. SLT එකේ මහත්තැන් කෙනෙක් අපේ ඔපීසිය පැත්තට ආවා.. අනේ වාසනාවන් උන්දැට මේ ගැන කිවුවම.. මොකද්දෝ පොඩි සෙල්ලමක් දාලා උන්දැ වැඩේ ගොඩ දාලා දුන්නා.. ඒත් ඉතිං මං වැඩේ බාර දුන්නු අපේ හාදයා උන්දෑ මොකද්ද කොළේ කියලා හරියට බලාගෙන නෑ.. කොහොම උනත් අපි ඔය වැඩේ හරි ගිය සතුට බුක්ති විඳිමින් ටික දොහක් සතුටින් කාලය ගත කොළා..

ඒත් අවාසනාවන්ත අයුරින් අපේ ජංජාලෙ අවුල් ගොඩක් සිද්ධ උනා.. ලොකුම අවුල කොම්ප්ලේන් හතර පහක්ම දාලත්.. SLT එකෙන්.. සතියක්ම යනකං වැඩේ ගොඩදාලා දුන්නෙ නැති එක.. ඔය අතරෙ මාත් දන්න සෙල්ලං දාලා බැලුවා.. අපේ පැත්තෙ අවුලක් ද කියලා.. ඔය අතරෙ තමයි.. අර එදා ආපු ටැක්නීසියන් මහත්තැන් හරි ගස්සපු ලෙඩේ ආයෙත් මතුවෙන්නෙ.. පස්සෙ ජංජාලෙ හරි ගියත් පරණ ලෙඩේ ... ඒ කියන්නෙ 4 වැනි මෙවුව එක වැඩ කොරන්නෙ නැති ලෙඩේ ආයෙමත් පැල පදියං වෙනවා.. 


අන්තර්ජාලේ පීරලා මං හෙවුවත් මේ හුට්ටප්පරේ විසඳගන්න කෙරේමයක් මට කිසිම කෙරේමයක් මුලිච්චි වෙන්නෙ නෑ.. බැරිම තැන මං SLT එකේ Chat මහත්තැන් එක්ක මේ හුට්ටප්පරේ ගැන කියනවා.. උන්දැ දාපු කොම්ප්ලේන් එක පළ දරලා.. සනිකෙන්ම වගේ පැය 3-4කට පස්සෙ SLT එකෙන් අපේ ඔපීසියට මෙවුවා එකෙන් කතා කොරනවා.. එයාලා කියනවා වැඩේ ගොඩ දාගන්න විදිහ.. හරි ලේසියි.. මෙන්න මෙහෙමයි..

1. Router එකට ලොග් වෙන්න 

2. Interface Setup කියන මෙනුව තෝරන්න
  2.1  LAN කියන අනු මෙනුව තෝරන්න
  2.2 DHCP කොටස යටතේ තියෙන DHCP Server කියන එකේ .. Physical Ports 4 ම tick කොරලා දාන්න (4 වැනි මෙවුවා එක un tick වෙලයි තියෙන්නෙ)

  2.3 දැං ඉතිං Save කොරන්න..
3. දැං යන්ට ඕන Advanced Setup මෙනුවට

  3.1 ඕකෙ තියෙනවා VLAN කියලා මෙවුවා එකක්.. ඒක ඔබන්න
  3.2 VLAN  function එක activate වෙලා තිබුණොත් deactivate කොරන්න..

දැං රාජකාරිය ඉවරයි.. එයාලා කිවුවා.. පරිගණකය Restart කරලා හරි Network එක Disable / Enable කරලා හරි බලන්න කියලා.. ඒත් එහෙම කරන්න ඕන උනේ නෑ.. නිකම්ම අපූරුවට වැඩ කොරන්ට ගත්තා..

ඔයාලටත් ඔය පස්නෙ තියෙනවා නං.. ප්‍රයෝජනවත් වෙයි කියලයි දැම්මෙ..

මේ වතාවෙ.. SLT මහත්තුරු දීපු සහයෝගය ඉහළින්ම අගය කොරන්ට ඕන..

Tuesday, February 11, 2014

පුර සිරි අනුහස්

       
නු ව න'ඟ කැලුම සැඟැවුණු ඉඟි සැලෙන නුරා
සි යො ළ ඟ බැඳෙන සසොබන ගති පෙළෙන සරා
අ ව ස ඟ අම රසය හැම රස නහර පුරා
මෙ ප ත'ග පතල තෙද බලනුය නුවර අරා
  
තුරු හිස් වෙහෙසවා නොගෙනෙති නව නින්දා
රණ ගොස් සිහි දවා නිකැළැල් බව සින්දා
සඳ රස් දිය පුරා යති සිහිනය කැන්දා
අනුහස් බලග පුර සිරි මිහිමත ඇන්දා
  
සිකි පිල් සැලේ නුබ පුපුරා නිලට නිලේ
අම විල් ජලේ මිණි උතුරා පෙළට දිලේ
බිඟු දැල් පෙළේ මත සපුරා තිබෙනබලේ
වණ මල් දොළේ නැත සතුරා මම ය හෙළේ
  

Monday, February 3, 2014

බැරිදා විග්‍රහය ! පුල්ලි මාරුව



ජවිපෙ නම් කොටියාගේ පුල්ලි මාරුවක් සිදුවිය.. කැලය නම් මාරු වූ බව හිතන්ට අමාරුය.. එහෙමමයි කියන්ට තවම කල් වැඩි බවත් ඇත්තය..  ජවිපෙ කොටියා ඇල්ටීටී කොටියා හා පටලවා ගන්ට අවැසි නෑ ය.  අවැසි ම නම් පටලවා ගත්තත් කමක් නෑ ය. මොකද  ජවිපෙ කොටියා අපේ උන්ටම කොරපු හරිය ඇල්ටීටී කොටියා ට දෙවැනි නෑ ය. කොහොම උනත් පරණ කතා දැං වැඩක් නෑ ය. ජවිපෙ දැං හීලෑ කොටියෙක්ය.

මේ කරදහිය ලියන්ට හිතුණේ.. වත්පොතේ ජවිපෙ නංගියෙක් උදේ පාන්දර දමා තිබූ පෝස්ටුවක් දැකලාය. උන්දෑ කියන්නෙ අනුර කුමාර දිසානායක ජනතාවගේ විපක්ෂ නායක කියලා ය. නොකියා කියන්නේ ජවිපෙ ජනතාවගේ විපක්ෂය කියා ය. මං නං කියන්නේ මේක මහ විහිළුවක් කියාය. ජනතාවගෙන් අතිමහත් බහුතරය තවමත් ජවිපෙට විරුද්ධය. විරුද්ධ අද කරපු පවකට නොවේය. මේවා පරණ පවු ය. එජාපය ට වගේ ම ජවිපෙටත් මේ පවු ගෙවලාම ඉවර කරන්ට වෙනවා ය.

එයිට අමතරව ජවිපේ හිතන විදිහෙත් ලොකු අවුලක් තියෙනවාය.. උන් හිතන්නේ නිවැරදි දැක්ම තියෙන්නේ උන්ට විතරක්ය කියාය. උන් හිතන්නේ ජනතාව ඉන්නේ උන් එක්ක කියාය. උන් හිතන්නේ වැඩක් කරන්ට පුළුවන් උන්ට විතරක්ය කියාය.

ඒ විතරක් නොවේය.. උන් හිතන්නේ උන් එක්ක නැති එවුන් ද්‍රෝහියෝ කියාය, ප්‍රතිගාමියෝ කියාය. මෝඩ හැත්තක් කියාය.

ඒ විතරකුත් නොවේය.. උන් මේ මෑත යුගයේ.. ප්‍රජාතන්තරවාදී උනාට පස්සේ ආණ්ඩු කිහිපයක කොටස් කාරයෝ වෙලා හිටියෝය. ඒ කාලේ මීයෙක් වදලා කන්දක් වැදූ තරමට ප්‍රචාරේ දුන්නෝය.. අදටත් ආණ්ඩුව කරන්නේ මේ වැඩේ ය. එක අතකින් ආණ්ඩුව ජවිපෙ ක්‍රම වේදය කොල්ල කෑවේය. අනිත් අතට ජවිපෙ ජනතාව මහා පරිමාණෙන් රවට්ටන මේ පිළිවෙතට මුල පිරුවේය. දැන් රජයේ මාජ්ජ වල පළු ඇරියත්.. ඒ කාලේ රජයේ මාජ්ජ වල බලය ලැජ්ජා නැති විදිහට යොදාගෙන එජාපෙට ගැහුවේය.

මේ ඔක්කොම කියන්නේ අනුර කුමාර ට හැදෙන්ට නොව.. අනුර කුමාරට පක්සෙ හදනවානම් අදහසක් ගන්ටය.. ඒ වෙන මොකවත් නොවේය.. ජවිපෙ කියන්නෙ තවමත් .. දේශපාලන ව්‍යාපාරය තුළ අඩුවෙන්ම දූෂණය වෙච්ච පක්සයක් නිසාය..

අනුර කුමාර .. මං කැමතිම කතාකාරයෙක්ය. වාචාලවංස වගේ ගිරිය පිප්පගෙන නන්දෙඩෙවුවේ නැති වුණාට.. අනුර කුමාර කියන්නේ තර්කානුකූල කතාය... හරි එඩිතර කතා ය.. අනුර කුමාරටවත්, ජවිපෙටවත් බැරි නැත.. ඒත් ඇඟිල්ලේ තරම දැන ගත යුතුය.. නව නායකයාටත්.. ජවිපෙටත් මං මගේ හදපතුලෙන්ම සුබ පතනවාය..


Wednesday, January 29, 2014

මගේම ආදරයක් සොයා..

         
මගෙ හද මුලින් බැඳුණේ මහ සයුරවෙත
ඇය මට ආදරෙයි තව පෙම්වතුන් ඇත
අමතක කර දමා මා ඇගෙ චපල හිත
නදියට බැඳිමි පෙම් මගෙ නව පැතුම් මත
  
වෙනසක් කොහිද නදියත් කිසි කමක් නැත
හිඟයක් නොමැත ඇයටත් හුඟ දෙනෙක් ඇත
හරවා හිත මගේ යළි පොඩි දොලක් වෙත
නිදහස් කරගතිමි එම හුරතලෙන් කැත
  
දොලටත් කියන අයිතිය බොහො දෙනෙක් ඇත
මොනවා කරන්නද හදවත නැඟෙයි මත
බෝතලෙ හැටට විකුණන කඩ පිළක් වෙත
ගොස් මිල දී ගතිමි දැන් තරඟයක් නැත
  

Thursday, January 23, 2014

හැඟුම් වලට ඉඩ දුනිමි..

"හැඟුම් වලට ඉඩ දෙන්න" කියා පුවරුවක ගසා තිබුණද, එය කියවන්නට මට හැකි වුවද, හැඟුම් යනු කවරක්ද, ඒවාට ඉඩ දෙන්නේ කෙසේද යන්න ගැන එදා මට අවබෝධයක් තිබුණේ නැත..

හැඟුම් කියන්නේ අපට හිතෙන දේවල් වෙන්ට ඇති කියා සම්පත් අයියා කීවේ ඔහුට තිබුණු තේරුමේ හැටියටය.. අපට හිතෙන දේවල් වලට ඉඩ දෙන එක නම් හොඳ දෙයක්.. මම මටම කියා ගතිමි.. ඒත් මං ටික ටික ලොකු වෙද්දි.. හිතෙන දේවල් වලට ඉඩ දුන්නොත් නම් මහා විනාශයක් වෙන බව තේරුම් ගියේ.. මගේ හිතට.. හොඳ අදහස් වලට සාපේක්ෂව විශාල වශයෙන් නරක අදහස් ආව නිසාය.. ඒවාට ඉඩ දුන්නා නම් මං වැලිකඩය..නැතිනම් බෝගම්බරය..

ඒ කාලෙ සම්පත් අයියා කිවුවේ.. හැඟුම් කියන්නේ අපට දැනෙන දේ කියාය.. අපේ හදවතට දැනෙන දේ කියාය.. ඒවාට ඉඩ දෙනවා නම් කොච්චර හොඳ ද.. මට හිතුණේ එහෙමය.. මට මොන දේ හිතුණත්.. මං ඒක කරන්න ඕනි ද නැද්ද කියලා මට දැනෙනවා.. අන්න ඒ දැනීමට තමයි එහෙනම් මං ඉඩ දෙන්න ඕන.. 

මට නිරෝ ගැන ආදරයක් දැනුණේ ඔය කාලයේ ය. ඒ දැනීමට ඉඩ දිය යුතු බවට මම තීරණය කළෙමි. ඉතිං මං නිරෝ ට ආදරය කළෙමි.. ඒත් නිරෝට ඒ ආදරය දැනුණේ නැත. ඇය මගේ ආදරය ප්‍රතික්ෂේප කළාය. ඒත් දිගටම මගේ හැඟීමට ඉඩ දෙන්ට මං තීරණය කළෙමි. 

නිකම් පිස්සෙක් වෙන්ට එපා බං.. හැඟීම් තිබුණට ඒවට ඕන විදිහටම හැසිරෙන්න එපා.. මොලයක් තියෙන්න පොඩ්ඩක් කල්පනා කරලා බලපං. සම්පත් අයියාට හොඳට ම කේන්ති ගිහින්ය. ඔහු කියන්නේ හැඟුම් වලට උනත් පාලනයකින් යුතුව බුද්ධියෙන් විමසා ඉඩ දිය යුතුයි කියා ය.

මගේ හැඟීම වෙනස් විය.. නිරෝ කෙරෙහි මගේ ආදරයක් නැති බවක් දැනිණ.. මම ඒ හැඟීම ට ඉඩ දුනිමි.. 

Wednesday, January 22, 2014

කෙනෙකු විඳිද්දී.. තවකෙකු විඳින්නට සූදානම් වන..

කෙනෙකු කලින් සකස් කරගත් කර්මයන්හි ඵල විඳිද්දි.. තව කෙනෙක්.. කර්මයන් සකස් කරගන්නා අයුරු.. අපූරු ධර්මයකි.. සවන් දී බලන්නම වටින.. අපූරු දම් දෙසුමක්..

 මෙම දිගුව මා වෙත යොමු කළ.. සිරිපාල රත්නායක.. මගේ ආදර මිතුරාට... පින් සිදු වේවා..

අතිගරුතර පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ ගේ සුමදුර දම් දෙසුම අහලා ඔබත් අවබෝධ කරගන්න.. මේ ධර්ම දානමය පින්කමට දායක වූ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ හැමට පුණ්‍යානුමෝදනා කරන්න..

මෙය ඔබ හා බෙදා ගන්න හිතුවෙ.. මගේ යුතුකමක් විදිහට..

Sunday, January 12, 2014

ජරාව..

මට ලොකු ලොකු උලවු තේරෙන්නෙ නෑ මචං.. 
ඉස්සර වගේ නෙවෙයි දැං බය නැතුව පාරෙ බැහැලා යන්ට පුළුහං..

ඔවු පාරෙ බැහැලා යන්ට නං පුළුහං.. හැබැයි කාර් එකක... මොටෝ සයිකලේක තියා බස් එකකවත් නං යන්න බෑ..

අප්පට සිරි.. අර මොකෝ..?

බස් ගාස්තුව වත් ගෙවා ගන්ට බැරි අපට මොන මොටෝ සයිකල් ද බං..?

අපට බැරි උනාට ඔය පාරෙ පුරවලා වාහන තියෙන්නෙ..?

ඒවා ඉතිං ලොකු ලොක්කංගෙයි.. ලීසිං කොම්පැනි වලයිනෙ.. අපට නැති උනාට බේබිලාට නං ලැම්බෝගිනි..!

අනුන්ට ඉරිසියා කොර කොර ඉන්නෙ නැතුව .. තමනුත් ගොඩයන්න මොකක් හරි කෙරුවොත් මොකද?

කුඩු විකුණන්ට ද? අරක්කු විකුණන්ට ද?  ගෑණු විකුණන්ට ද? නැත්තං.. #$ දෙක විකුණන්ට ද?


හැක්.. හැක්.. ඇයි විකුණන්ට වෙන මුකුත් ඇත්තෙම නැද්ද? විකුණපං ශ්‍රමය.. ඉගෙන ගත්තු දෙයක් පොරෝජනේ ට  අරං කොරහංකො දෑතෙ රස්සාවක්..


දෑතෙ රස්සාවල් කරලා කොහෙ ගොඩ යන්ට ද බං.. පටං ගත්තු වෙලාවෙ ඉඳං ටැක්ස් දැ වැක්ස් ද මොකද්ද මඟුලක් ගහලා  ඌට කෙලවන්ට නේ හදන්නෙ.. අනික දැං දෑතෙ රස්සාවලුත් බල්ලට ගිහිං බං.. මහන්සියෙ හැටියට ගානක් හම්බකරන්ට බෑ..


අනේ පලයං බං යන්ට .. උඹලා දුක් මහන්සි වෙලා හම්බකරන තුට්ටු දෙක බාර් එකට පිදුවම හරියාය?

යකෝ පඩි දවසට පොඩි සොට් එකක් දානවා තමයි.. ඒ වියදම යන්නෙ ඉතිං මාසෙට සැරයක් නෙ බං.. එහෙමත් සොමියක් නැත්තං අපි මෙච්චර මැරෙන්නෙ මොන රෙද්දට ද?

උඹ මාසෙකට දෙතුන් වතාවක් බීලා ගෙදර එනවා මං දැකලා තියෙනවනෙ..?

මෙහෙමයි.. මගේ පඩියට එක දවසක.. රවියගෙ පඩියට එක දවසක.. සමරෙ ගෙ පඩියට තව දවසක.. අපි තුන් දෙනා නෙ බං සැට් වෙන්නෙ... මං කිවුවෙ මාසෙට දවසයි මං බීමට වියදං කොරන්නෙ කියලා.. අනික මං ඒ ගාන කොහොම හරි පඩියට පිටිං හොයා ගන්නවා..

ඒ කියන්නෙ උඹ ජරාව කනවා..?

නෑ බං ඉතිං .. වෙන මොනවා කරන්නද.. බලපං ළමයි දෙන්නගෙ.. පහසුකං ගාස්තු, වෑන් ගාස්තු, පොත්පත්, කොන්සට්.. මගේ බස් ගාස්තු, රක්ෂණේ.. ඒ මදිවට  අපේ ඔපිස් එකේ එක්කො එකෙක් මැරෙනවා.. නැත්තං බඳිනවා.. මුකුත්ම නැත්තං.. කාගෙ හරි ළමයෙක්වත්  ගෙට වෙනවා..


ඉතිං උඹ ළමයිව කොළඹ දාපු හින්දනෙ.. උඹට තිබුණෙ ගමේ ඉස්කෝලෙට යවන්න නෙ.. 


උඹ නං කියයි.. යකෝ ගමේ ඉස්කෝලෙ මොනවද තියෙන්නෙ..? මොනවද උගන්නන්නෙ? ඒ ගුරුවරුන්ට බණිනවා නෙවෙයි බං.. එයාලට උගන්නන්ට තියෙන පහසුකම් මදි..ගමේ ඉස්කෝලෙට යන අපේ අයියගෙ ළමයිනුයි .. අපේ  ළමයිනුයි බැලුවම.. වෙනස තේරෙනවා.. කොළඹ ගිහාම ඉංගිරිස් ටිකක් හරි හුරු වෙනවනෙ.. 
අපි  විඳින දුක් අපේ දරුවො විඳින්ට ඕන නෑ බං..

හරි.. උඹට ළඟපාත රස්සාවක් කොරන්ට තිබුණානෙ...?

තිබුණා.. තිබුණා..අපටත් පන්දම් තිවුනා නං.. යකෝ ඒවට ඉතිං දේශපාලන හෙංචයියලාගෙ  කට්ටිය පුරවලා ඉවරයිනෙ..

වියදම අඩු කරන්ට විදිහක් ඇත්තෙම නැත්තං ආදායම වැඩි කොරගන්ට මොකක් හරි විදිහක් බලපං.. 

ඒක තමයි බං ඔය හීනියට ජරාව සුට්ටක් කන්නෙ..


එහෙම නෙවෙයි බං.. ත්‍රී වීල් එකක්වත් පාරට දාපං..


කුණුහරප කියනව..යකෝ දැං වීල් එකක් කීයද? අනික.. පඳුරකට ගහපු ගමං.. දුසිං ගනං විසිවෙනවා දැං වීල්..

ඒක නෙවෙයි බං.. උඹේ දරුවො යන්නෙත් කොළඹ නෙ.. උඹ වැඩ කොරන්නෙත් මගෙ ඔපීසිය ළඟම නෙ.. අනික උඹ හැමදාම සති අන්තෙට සෙට් වෙනවනෙ.. උඹට ඔය පස්න නැද්ද?

ඇත්තටම නෑ බං.. මං ජරාවක් උනත් පිළිවෙලකට කනවා.. උඹ වගේ හීනියට නෙවෙයි..



Friday, January 10, 2014

කවිය හා පැදිය II

කවිය හා පැදිය නමින් මා ලියූ ලිපිය ම පාදක කරගෙන මෙම ලිපිය ලියන්නට සිතුවේ ෆේස් බුකියේ "සඳැස් කවි මඬුව" නමින් ඉවෙන්ට් එකක් අරඹා ඇති ජානි වසන්ති සොයුරියගේ ඉල්ලීමක් ද ඉටු කිරීමේ අරමුණ ද ඇතිවය..
පැදි වලට තමයි අපි සඳැස් කවි කියලා කියන්නෙ.. 

මෙකී පැදි.. ගී, සැහැලි, සිලෝ හා සීපද වශයෙන් ප්‍රභේද වෙනවා.. 

යහ ගී, දුවඟ ගී, පියුම් ගී ආදී වශයෙන් අනුදත් ගී විරිත් බොහොමයක් පවතිනවා.. මේ ගැන අප හිතවත් Shanaka Iroshana Peiris කිවිඳු අපූරු ගොනුවක් සකස් කර තිබෙනවා.. 
ගී විරිත්
මේවා බැලූ බැල්මට නිසඳැස් වගෙයි.. එහෙත් මේවා අයිති සඳැස් කුලයට..

සිවුපද හෙවත් සී පද යනු සඳැස් කවිය ඉදිරියට ගෙන ආ ප්‍රමුඛයාය. තවත් ආකාරයකට කියනවා නම්.. සඳැස් කවිය සමාජගත වූයේ සිවුපදයෙනි.. මෙලෙස අප විවිධ වූ විරිත් වලින් සිවුපද නිර්මාණ කරන අතර.. අනුදත් සිවුපද විරිත් බොහොමයක් ඒකරාශී කොට ශානක ඉරෝශන කිවිඳු විසින් ගොනු කිහිපයක් සකස් කර තිබෙනවා..

සිවුපද විරිත් 1

සිවුපද විරිත් 2

සිවුපද විරිත් 3

සිවුපද විරිත් 4

සිවුපද විරිත් 5

සිවුපද විරිත් 6

සිවුපද විරිත් 7

සිවුපද විරිත් 8

.. සැහැලි ගැන වැඩි පුර කතා නොවුනත්.. සැහැලි යනු "ගී" සහ "සිවුපද" මිශ්‍ර වූ පැදි විශේෂයක් බව තමයි පෙනෙන්නේ.. 

විකිබුක්ස් වල එබඳු සැහැලි ගැන ලියැවුණු ලිපි කිහිපයක් දකින්නට පුළුවන්.. 
සිංහල සැහැලි

සිලෝ යනු සංස්කෘත ශ්ලෝකයේ අනුසාරයෙන් බිහි වූ පැදි විශේෂයකි.. එය ඉතා රසවත් මෘදු භාෂා විලාශයක් අනුගමනය කෙරෙන මෙම සිලෝ කෝට්ටේ යුගයේ දී හෙළ සාහිත්‍යයට එක්වුණා කියලා තමයි සැලකෙන්නෙ.. මේ ගැන වැඩි විස්තර තියෙන ලිපියක් නම් හොයාගන්න බැරි වුණා.. එහෙත් කෝට්ටේ යුගයේ ලියැවුණු එළු සිලෝ ශතකය නම් අගනා ග්‍රන්ථය පිළිබඳව ලියැවුණු ලිපියක් පහත දැක්වෙනවා.. 

එළු සිලෝ ශතකය

මේ ආකාරයට ප්‍රභේද වන සඳැස් කවිය.. තුළ එළිවැට හා එළිසම ප්‍රභල තැනක් ගන්නේ.. සිවුපදය තුළයි.. නිවැරදිව යති පිහිටුවා ගායනය කිරීමෙන් මෙකී පැදි වල සුන්දරත්වය විඳ ගත හැකියි.. මෙතෙක් අප කතා කළ ආකෘතිමය ලක්ෂණ හරහා ම සඳස් කවිය ඉදිරියට ගෙන යාමට නම්.. සඳස් කවියෙකු හැම විටම ප්‍රසාද, ඕජස්, මධුරතා, අර්ථ ව්‍යක්ති, සමාධි වැනි උසස් ගුණ ඉස්මතු වන සේ කවි පබැඳිය යුතුය.. හුදු ශබ්ද රසයෙන් හෝ අර්ථ රසයෙන් නොසෑහී.. සර්ව රසයක් ගෙන ආ යුතුය..

Monday, January 6, 2014

රැඳෙනු හැකිනම්.. නුඹ ළඟ ම..

          
නුඹෙ දිවිය පරදුවට තියලා සෙනෙහසින්
මගෙ දිවිය රැකි අයුරු වැසි සහ හිරු රැසින්
මට මතක දිනට පෙර සිට මගෙ ළඟ තොසින්
නිති සිටිය නුඹව නැත අමතක කිසි ලෙසින්
  
යුග දිවියෙ මිහිර ලගු කොට දරු පෙම උසින්
මඟ නොමඟ කියා දී සුලලිතමුදු බසින්
දහදිය ද කඳුළු කැටයම් කර මුතු ලෙසින්
මගෙ උරට දැමුව හැටි සෙනෙහේ අනුහසින්
  
මල මිලින වෙන තුරුම ඔද පතුරන ලෙසින්
අත පය ද නැත වසඟ එද ඇත පසු පසින්
කළ මෙහෙය අසම සම විය මට නුඹ විසින්
නුඹ ළඟ ම රැඳෙනු හැකිනම් මිය නොම ගොසින්
  

Tuesday, December 31, 2013

ගුඩ්..බායි.. 2013 නොහොත්.. වෙල්කම් 2014


තත්පරය, විනාඩිය, පැය, දවස, සතිය, මාසය වගේ ම අවුරුද්දත්.. එකක් යද්දි තව එකක් එනවා.. මේවා ඔක්කොම සාපේක්ෂ මිනුම් ඒකක.. තත්පරය කියන එකේ කාල පරාසය චුට්ටක් වෙනස් උනානම් ඉස්සෙල්ලා කියපු හැම එකකම තරාතිරම වෙනස් වෙන හැටි හිතාගන්න පුළුවන්.. ඒ විතරක්ය.. විනාඩියට තියෙන්නෙ තත්පර 60යි කියලා අපි (අපි කිවුවට මං නං නෙවෙයි.. වෙන කවුරුහරි තමයි ඕක කොරල තියෙන්නෙ) ගොඩනගාගත්තු නිර්නායකය පොඩියක් එහෙ මෙහෙ කළොත්.. ඉතිං ඔය කාල මනින ඒකක ඇතුළුව ඒ වටා ගොඩනැඟිච්ච හැම දෙයක් ම අනේ ඉතිං උපකල්පන මත ගොඩනැගුණු බහුබූත නොවෙයි ද?  එහෙම බැලුවාම මේ ලෝකෙ භෞතිකව ගොඩනගලා තියෙන හැම දෙයක්ම සංකල්ප හා උපකල්පන.. ඔය ඉතිං භෞතික විද්‍යාව ඇම්. සී. කිවු එකට විතරක් උත්තර දෙන්ට හැකියාවක් තිබුණා (කණා ගැසීමේ හැකියාව නිසා)  වුණත්.. උ.පෙ ට සී එකක් (මීට අවුරුදු 16 කට විතර කලිං) ගත්තු මං වගේ ගොබිලෙකුගෙ මෝඩ අදහසක් වෙන්ටත් පුළුහං..

ඒත් ඉතිං මට තේරෙන විදිහට මේ කාලය කියන රෙද්ද කීතු කීතු වලට ඉරුවොත් ඉරන්ට පුළුහං චූටිම රෙදි කෑල්ල තමයි ක්ෂණය.. තත්පර විදිහට, විනාඩි විදිහට, පැය විදිහට.. ඔය කොයි විදිහටත් අපි ඔය ක්ෂණ බුරුතු පිටිං පහු කරනවා.. ඔය අතරෙ පොරෝජන ගත්තු ක්ෂණ තියෙන්නෙ කොයි තරං අල්පයයිද හැබෑට.. ?

අපි ඉතිං අවුරුද්දක් මාරු වෙද්දි.. මාතෘකාවෙ තිබුණා වගේ පරණ අවුරුද්දට  ගුඩ් බායි කියන්නෙ ආයෙමත් ඒ අවුරුද්ද අපට හමු නොවන බව දැන දැනමයි.. වී මිස් යූ 2013 කිවුවා නං වැඩිය ලස්සනයි නේද? අපි එහෙම කිවුවට.. අපි ජීවත් වෙනකං කී පාරක් නං 2013 අපේ ජීවිත වලට එයි ද?  ඒ එද්දි .. මොන වගේ තෑගි අපට අරං එයිද? එයාට අපිව හිතට අල්ලලා නං.. හොඳ තෑගි අරං එයි.. මොකද හිතන්නෙ...?

වෙල්කම් කියලා 2014 පිළිගත්තට මදි.. එයාට අපි ගැන සුන්දර මතකයක් ලබා දෙන්ට ඕන..

Saturday, December 28, 2013

නාන විදිහ..

මචං.. උඹ හොඳටම වයසට ගිහිං නෙ..
ඉතිං වයසයිනෙ බං දැං..

නෑ බං උඹේ මූණෙවත් ඇඟේ වත් නෙවෙයි වයස.. ඔය කොණ්ඩෙයි රැවුලෙයි.. බලපං සුදුවෙලා බාගෙට බාගයක්.. ඒ මදිවට තට්ටෙත් එනවද කොහෙද?
හරි හරි ඉතිං කොණ්ඩෙයි රැවුලයි තියෙන්නෙත් ඇඟේ නෙ..
උඹ හවස නානවද?

නෑ බං..
එහෙනං උදේ පාන්දර ?
එහෙමත් නෑ බං..ඇයි එහෙම අහන්නෙ..
නෑ.. උඹ හැමදාම වැඩට යනවනෙ.. ඉතිං අවේලාවෙ නාලා වෙන්න ඇති ඔය කොණ්ඩෙ පැහෙන්නෙ කියලා හිතුණා..
ආ.. ඒකනම් වෙන්න ඇති..
ඈ.. දැං උඹ කිවුවෙ අවේලාවෙ නාන්නෙ නෑ කියලා..
හෙක්.. හෙක්.. මං කිවුවෙ උදේ පාන්දරටයි .. හැන්දෑවටයි නාන්නෙ නෑ කියලා.. මං නාන්නෙ රෑ දොලහට එකට විතර බං..



Friday, December 27, 2013

සලජාතකය කියන්නෙ මොකක්ද?

මචං ඔය සලජාතකය කියන්නෙ මොකක්ද? 
එහෙම ඇහුවේ මගේ මිතුරෙකි.. ඒ මිතුරා ඇසූයේ නොදන්නා කමටමය.. 
ඇත්තටම ඒක සලජාතකය නෙවියි සලජාකස ය .. සමස්ථ ලංකා ජාතික කවි සම්මේලනය.. 
මං තෝරා දුන්නෙමි
එතකොට අතකසය කියන්නෙත් ඒ වගේ එකක් ද? 
ආ.. ඔවු.. ඒ අගනුවර තරුණ කවි සම්මේලනය නෙ...
උඹ ඒකෙ නැද්ද?
නෑ මචං..
ඒකෙ ඉන්නෙ තරුණ අය හින්ද ද?
හෙහ්.. හෙහ්.. ඒකත් හරි දැං අපි වයසයිනෙ නේ බං..? ඒත් ඒක නෙවෙයි හේතුව.. අපි ඉතිං මූණුපොත් කවියොනෙ.. මූණුපොතට තවම අතකස ඇවිත් නෑ.. සලජාකස යි.. කෝකිලහඬයි තමයි දන්න තරමින් ඉන්නෙ..
මූණුපොතේ කවිපිටු ගොඩාක් තියෙනවනෙ..?
ඔවු මචං.. මොනවා කරන්නද? එක එක්කෙනා දා ගන්නවා.. එපා කියන්නයෑ..
ඔක්කොගෙම ඉන්නෙ එකම කට්ටිය ද?
ඒකනෙ.. හුඟක් වෙලාවට එකම කට්ටිය..
කවි සංගම් වලත් එහෙමද?
ඔවුනෙ මචං.. ඒවයෙත් එහෙම තමයි.. ලොකු ලොක්කො ටික තමයි වෙනස්.. ඇතුළ එම මයි..
කිසි තේරුමක් නැති වැඩක් නේද?
හැබැයි නැත්තෙමත් නෑ..
එක එක කවි සංගම් වල වගේ ම කවි පිටු වලත් ප්‍රතිපත්ති වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.. ඒ වගේම වැඩි කවියො පිරිසකට මේ කවි කලාවෙ රැඳෙන්නත් මේක ලොකු උදවුවක් වෙනවා.. මොකද හැමෝම තමන්ගෙ පිටුවල/සංගම් වල ජනප්‍රිය කම රැකගන්නත් එක්ක මොන මොනවා හරි වැඩකට ඇති දෙයක් කරනවා.. තරඟකාරීත්වය ඇතිවෙනවා..
හපෝ.. තරඟකාරීත්වය ඇති වුණාම... කොලිටිය අඩුවෙනවා නෙ බං..
තරඟකාරීත්වය ගානකට තියෙනකං හොඳයි.. වැඩි වුණොත් නං එහෙම වෙනවා.. දැනට ෂේප්..
හෙක්.. හෙක්..
ඉතිං මොනවද උඹලා ඔය කරන සේවය?
එහෙම ලොකුවට කියන්න තරං දෙයක් නෑ.. සිංහල සඳැස් කවියත් දැං හැංගිලා තියෙන්නේ.. ඔය සිවුපද කීපයක් විතරනෙ බං සමාජයේ තියෙන්නෙ.. ඒත් සඳැස් කවිය ඔයිට වඩා ලොකු පරාසයක විහිදිලා තියෙනවා.. ඒවා පොඩ්ඩක් එළියට දාන්න තමයි අපි ට්‍රයි කරන්නෙ..
එළ.. එළ..

Tuesday, December 24, 2013

කවිය හා පැදිය

චිත්‍ර කලාව, මූර්ති කලාව, නාඩගම් කලාව, නූර්ථි කලාව ආදී වශයෙන් කලාවෙහි විවිධ වූ ප්‍රභේධයන් පවතී. සකලවිධ කලාවන් වූ කලී අපගේ සංස්කෘතිය ගොඩ නැඟූ මහා ශක්තීන්ගේ එකමුතුවකි. කාව්‍ය සාහිත්‍යය යනු ඉහත කලාවන්  අතුරින් වඩාත් ජනතාවට සමීප වූ කලාවකි. එය අනෙක් බොහෝ කලාවන්ට මූලික වූ නිසාම විශිෂ්ඨ කලාංගයකි. කාව්‍යයක් යැයි කී විට එය ගද්‍ය, පද්‍ය , නාද, සිනමා ආදී වශයෙන් ප්‍රභේධ වේ. එහෙත් භාවිතයේ දී, පද්‍ය කාව්‍ය වලටම කාව්‍ය යැයි කියන්නට පුරුදු වී ඇත්තෙමු. එහෙත් පද්‍ය කාව්‍ය හෙවත් පැදි නිවැරදි අරුතින්ම යොදා ගැනීම අප සතු යුතු කමකි. 

පැදි හෙවත් පද්‍ය
කුමරතුඟුවන් කී පරිද්දෙන්ම "ඇද පැද කිව හැක්කේ - පැදි" බව වටහා ගැනීම වඩාත් පහසු තේරීමකි. මෙකී රිද්මය නිසාම අපට පද්‍යයක් ගද්‍යයකින් වෙන්කොට හඳුනා ගැන්ම අපහසු නොවේ. ඉහත කී පැදි ප්‍රධාන වශයෙන් ගී, සැහැලි, සිලෝ සහ සීපද වශයෙන් ප්‍රභේධ වේ. ඒ ඒවායෙහි තිබෙන ආකෘතිමය ලක්ෂණ නිසාවෙනි. අවාසනාවකට බොහෝ අය සිතනුයේ පැදි යනු සීපද බවයි.

ඇද පැද කීවාම ඇති ද?
ඉහත කී ආකෘතිමය ලක්ෂණ වලින් ඔබ්බට යන කල, අපට හමුවන බොහෝ ලක්ෂණ සමස්ථ කවියටම එනම් සමස්ථ සාහිත්‍ය කලාවන්ටම අදාල වේ.එනම් නිර්මාණය සාර්ථක පැදියක් වීමට ප්‍රථම සාර්ථක කවියක් විය යුතුය. එය අරුතින්, රසයෙන් සුපෝෂිත නිර්මාණශීලී යමක් විය යුතුය. එය එසේ වන්නට අප සැළකිය යුතු ලක්ෂණ කිහිපයක් පහත දක්වමි.

1. අනුභූතිය
නිර්මාණයට පාදක වන අත්දැකීම හෙවත් වස්තු බීජයයි. නිතරම සුලභ නොවන අනුභූතියක් තෝරා ගැනීමට උත්සුක විය යුතුය
2. පරිකල්පනය
තරමක් සුලභ අනුභූතීන් වුවද සාර්ථක පරිකල්පනයන් තුළින් ඉදිරියට ගෙන යමින් බිහි වූ සාර්ථක නිර්මාණ අප දැක ඇත. පරිකල්පනය යනු සත්‍යයේ හා කල්පිතයේ සංකලනයෙන් නිර්මාණ බිහි කරන අපූරු මෙවලමක් බඳුය. කවියා සිතින් මවා ගන්නා දේ පරිකල්පනයයි.
3. ව්‍යුත්පත්තිය
කවියා සිය නිර්මාණය ඉදිරිපත් කරන ආකාරය, භාවිතා කරන බස, ආකෘතිය, යෙදුම් ආදිය තුළින් ව්‍යුත්පත්තිය හඳුනාගත හැක. 
4. අලංකාර
උපමා, රූපක, දීපක, ආක්ෂේප, උත්ප්‍රේක්ෂ ආදී අලංකාර වලින් නිර්මාණය ඔපවත් වෙයි. 
5. දෘෂ්ඨි කෝණය
කාගේ දෘෂ්ඨියෙන් ඉදිරිපත් කොට ඇති ද යන්නයි. එනම් කථන ක්‍රමයයි. කවියා තමන් දක්නා ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ ද? බාහිර අයෙකු ලෙස ඉදිරිපත් කරන්නේ ද යන බවයි.
6. උචිත බව
කවියේ අර්ථයට උචිත ලෙස භාෂාව, වචන, රිද්මය, අලංකාර ආදිය සැකසී තිබීම උචිත බවයි.
7. ව්‍යංගාර්ථය
නිර්මාණයක යටි පෙළ අරුත, සැඟැවුණු අරුත හෙවත් ධ්වනිතාර්ථය ලෙස හඳුන්වන්නේ මතු පිටින් පෙනෙන අරුතට එනම් වාච්‍යාර්ථයට අමතරව පවතින අරුතයි.

මෙලෙස රසවත්, හරවත් හා සවිමත් වන කවිය ප්‍රාණවත් වූ පැදියක් බවට පත් කිරීමෙහි ලා ආකෘතිය ඉටු කරන්නේ මහඟු මෙහෙවරකි. 


එළිසම හා එළිවැට තුළින් ආලෝකමත් වන පැදිය, යති පිහිටුවීම් තුළින් වර්ණවත්ව ගයන්නාගේ මෙන්ම අසන්නාගේ ද සිතෙහි නිවීම, ආශ්වාදය හා රසවත් බව සනිටුහන් කරන්නේ නම් පැදිය මෙන්ම කවියා ද සාර්ථකය. බස වත්, රස වත්, මස වත්, හිස වත් අමතක නොකළ යුතුමය..


මූලාශ්‍ර :- හරියටම කවි හදන හැටි (ගුරු මුෂ්ඨි) - සේන අම්බලම්ගොඩ
      නූතන පද්‍ය සංග්‍රහය - ගොඩගේ ප්‍රකාශකයෝ

Wednesday, December 18, 2013

පැරණි රසාංගයක්..

අපේ අප්පච්චිගෙ පාසැල් කාලෙ මිතුරන් කිහිප දෙනෙක් පහුගියදා අපේ ගෙදරට ආවා.. ඒ අය කලාතුරකින් හමු වුණත්.. අපේ ම පවුලෙ අය වගේ.. මේ අයත් එක්ක සතුටු සාමීචියෙ යෙදෙද්දි කාලය යනවා තේරෙන්නෙ නෑ.. ගැටවු කාලෙ කරපු කවටකම්.. හ්ම්.. අපට හැරෙන්නවත් බෑ.. ඒ තරම්.. ඒ අතර එයාලගෙ පරණ පුංචි පුංචි හුට පට වුණත් ගෙනාවෙ අව්‍යාජ හිනාවක්..

අප්පච්චිගෙ මේ යහළුවන් අතර ඉන්නවා හමුදාවෙ සේවය කරපු කෙනෙකුත්.. ආරි මාමා.. එයා තවමත් බොහොම විනෝදකාමී චරිතයක්.. එයාගෙ හිනා මවන කතා රැසක් අතර මට හිත ගිය පුංචි කතාවක් තිබුණා.. ඒක මෙහෙමයි..

ආරි මාමා ඒ කාලෙ සේවය කළේ හිඟුරක්ගොඩ හමුදා කෑම්ප් එකේ. ටික කාලයක් මෙහි සේවය කරපු ආරි මාමා දැක්ක දුටු හැමෝගෙම හිත්ගත් චරිතයක් වෙන්ට ඇති කියන එක අමුතුවෙන් කියන්ට ඕන නෑ.. ඉතිං කොහොම හරි ආරි මාමට මාරුවීමක් ආවා.. පළවෙනිදට තමයි යන්ට තියෙන්නෙ.. දැන් 31 වෙනිදා සමුගැනීමේ සාදයට හෝ ගාලා සූදානම් වෙනවා.. මේ අතර ඔහුගේ මිතුරෙක් ඔහුව එක්කගෙන යනවා දැන්වීම් පුවරුව ළඟට.. එහි ගම් තලියක් ගාලා අලවපු ලිපියක් පෙන්වනවා.. එහි තිබෙනවා ලස්සන කවියක්..මෙන්න මෙහෙම..

  
කඳවුරු පෙදෙස අද නම් ගණඳුරු පාටයි
ලස්සන ආරි හිඟුරක්ගොඩ ආ දාටයි
ආරී කළු උනත් මට නම් සුදු පාටයි
මට දුක ආරි පළවෙනිදට යනවාටයි

  

හොයලා බලපුවාම මේක ලියලා එවලා තියෙන්නෙ අහල පහල බිත්තර ගෙදර බිත්තර අක්කගෙ දුව.. ආරි මාමට මේ ගැටිස්සි ගැන ඒ හැටි උනන්දුවක් නොතිබුණා කිවුවත් කවිය නං තවමත් කට පාඩං.. ඒ වගේම අපේ අප්පච්චි, ආරි මාමා සහ වෙනත් නැන්දා කෙනෙකු වෙනුවෙන් පද බැඳපු ගීතයකුත් ආරි මාමා හිනාවෙවී මතක් කර කර කිවුවා..

මේ කවිය මං සටහන් කළේ.. මීට අවුරුදු 40 කටත් ඉස්සර.. ගැමි තරුණියක ලියූ අව්‍යාජ කවියක සුන්දරත්වය ඔයාලත් එක්ක බෙදාගන්නයි..

අතීතයේ රස ආවර්ජනය කරපු අපේ අප්පච්චිගෙත්, ආරි මාමා ඇතුළු යාළුවන්ගෙත් ජීවිත එදා දවස ඇතුළෙ ආයෙමත් තරුණ වෙන්ට ඇති කියලා මට හිතෙනවා..  කට්ටියටම නිරෝගී සුව, චිර ජීවනය පතනවා.. 

පුළුවන්නම් මාව නවත්තන්න...


ඒක කරන්න පුළුවං මට ම විතරයි.. ඔයා කොච්චර උත්සාහ කළත් ඔයා ට මාව නවත්තන්න බෑ. මේක මගේ අයිතිය. 

කඳූ මුදුනින් එන ගඟ මං පවුර වුණා ..........ඔයා 
කොහොම නැවැත්තුවත් මාව මං යන මඟ ගියා
ඔයාගෙ කඳුළුත් අරගෙන මගේ ළඟින් .....තියා
කඳු පාමුල හිනා වෙවී හිඳිමි දෙනෙත් ........පියා

ඔයා කිවුවෙ මං නපුරුයි කියලා.. ඒත් මට ඕන උනේ ඔයාව තනි කරන්න නෙවෙයි.. ඔයාට ඔයාගෙ පාඩුවෙ ඉන්න දෙන්නයි. ඔයාගෙ දුක, ලෙංගතුකම මට නොදැණුනා නෙවෙයි. ඒත් ඒක ආදරය නෙවෙයි.. ඔයාට ඒ ආදරය දැනේවි..

මට ම කියා මල් නැතුවට පිපුණේ කිසි ..........ගසක
යට ම මලේ සුවඳ නිසා බැඳූණත් හිත ...........රසක
රට ම බලා සිටියත් ඔය කඳුළැලි පෙම් .........ඇසක
හෙට ම ඔයත් පෙම් කරාවි පෙර නොකරපු ලෙසක

එදාට ඔයා අද වගේ මට සාප කරන එකක් නෑ.. ඒ වෙනුවට මට ස්තුති කරාවි.. ඔයාව නිදහස් කළාට.. මගේ නැවතුම ඔයා නෙවී.. මට සාප කරලා හරි හිත හදාගන්න.. ඔයා තනන අලුත් ලෝකය සුන්දර, පින්බර එකක් වේවි.. මං ඒ ලෝකෙ නැතුවට.. ඒක මට සතුටක්..

අද පිපිලා හෙට පරවෙන මල බඳු සිත ...........අතැර
මඳ සුවඳින් රස නොනැඟෙන තැන නොම වී නතර
සඳ ඉර සේ ළඟ රැඳෙනා හදකට වී ..............සොඳුර
ළඳ දියතේ හස වපුරන් උණුසුම හැර ...........කතර

Wednesday, December 11, 2013

පුතේ අද පරදින්න..

        

හඬ හඬා ඉකිලන්න
එපා එ ද පැකිලෙන්න
පුතේ මගෙ ගුණ පුන්ණ
සටන අත නොහරින්න

සෙනේහය

පතුරන්න
දමේ ගොස මතුරන්න
සදාකල් පවතින්න
ගුණ සුවඳ විහිදන්න

අසීරුයි

ඉවසන්න
පරාජය විඳගන්න
හෙට යළිඳුනැගිටින්න
පුතේ අද පරදින්න
  

Friday, December 6, 2013

මගෙ ආදර අම්මා


කවි ලියන්න ඔබ වෙනුවෙන් දැරු තැත නැත නිම්මා
බැහැ මගෙ හිත එක විදිහට තියාගන්න නම්මා
ලියන ලියන කවිය ඔබට මදි මල් දම් දැම්මා
සඳකට ඉර කොතරම් වෙද, එතරම් මට අම්මා
  



අද අම්මා ගැන කවි ලියන්න විශේෂ දිනයක් නෙවෙයි. මගේ නිර්මාණ අතර දෙමවුපියන් වෙනුවෙන් කෙරුණු නිර්මාණ බොහොම ස්වල්පයයි තියෙන්නෙ. අම්මට, අප්පච්චිට කොහොම කවි ලිවුවත් ඒවයෙ අඩුවක් මට දැනෙනවා.. ඉතිං ඒක මකලා දාලා නිකම් ඉන්නවා.. මගේ අම්මගෙන් මගේ ජීවිතයට ලැබුණු ශක්තිය මෙතෙකැයි කියන්න බෑ. ඒක හුඟාක් දරුවන්ට නොලැබෙන තරමේ එකක් කියලා මං දන්නවා..

මගේ ආදර අම්මාට.. දීර්ඝායුෂ, චිර ජීවනය ප්‍රාර්ථනා කරන්න ඕන කියලා හිතුණු හින්දයි එක පාරටම මෙහෙම සටහනක් ලිවුවෙ..




Sunday, November 24, 2013

ඉරිසියාකාරයා හා සියාතු ගේ ගෙදර

සියාතු ගේ ගෙදර සියාතුගේ වෙලා දැන් සෑහෙන දොහක්ය. සියාතුගේ පවුලේ නීතියට අනුව එකෙකුට අයිතිකාරයා වෙලා දිගට ම ඉන්ට බෑ ය. ගෙදර ජීවත් වෙන අය ගේ වයස, උගත් කම, හැකියාව වගේ ඒවා සලකා බලා සැරින් සැරේ බද්ද මාරු කොරන්ට උවමනාය. කරුමේ කියන්නේ මේ ගෙදර සියාතුගේ හත්මුතු පරම්පරාවෙන්ම පැවතගෙන අය ජීවත් වන්නේ ය. ගේ පොඩ්ඩ උනා ට දස්ස ගෘහ නිර්මාණ සිල්පියෙකු විසින් හදලා තියෙන හින්දා.. හැමෝට ම ජීවත් වෙන්ට පුළුවන් ය. එයිට අමතරව අහල පහල ගෙවල් වලිං පන්නපු එවුනුත් මේ ගෙදර ජීවත් වෙනවාය. එහෙං මෙහෙං ආපු එවුවන්ට ඉන්ට දීලා, දැං ගෙදර මුල ඉඳං හිටපු එකා මොකාද කියා හොයා ගන්ටත් අමාරුය. කොහොම වෙතත් සියාතුවා කාගෙත් හිත ගන්ට දස්සයාය. සියාතුවාගේ ඥාති අක්කාට ගේ තියෙන කාලෙ.. අක්කාටත් හොරෙන් අක්කාගේ පවර් එකෙන් ම ගේ ලියා ගන්ට තරම් සියාතුවාගේ වැඩ කිඩ සියුම් ඒවා විය.

ඒත් ගේ අයිතිකාරයා උනු දවසේ ඉඳං සියාතුවා ගේ තිබුණේ වැඩ වලට වඩා පඩ ය. පඩ වලිං කට්ටිය ආං බාං කරන එකත් පට්ට වැඩක් බව සියාතුවා දැන සිටියේ ය. ගෙදර ඉන්න එවුවන්ගෙන් බාගයක් ම ගෙදර පාලනය කොරන එක තමාගේ රාජකාරිය කියලා හිතුවත්.. ඒක කොළේ සියාතුවා ම ය. ගෙදර හිටපු අයගෙං වැදගැම්මකට ඇති වැඩක් කොරලා පණං හතරක් හම්බ කළේ කීප දෙනෙක් විතරය. සිදාදිය ට ගිහිං රස්සා කරලා ගෙදර වියදමට සල්ලි එවන අයත් ඉන්නවා ය. දුක මේ හම්බ කොරන සේසත සියාතුවාගෙත්.. ගෙදර පාලනය කොරන්ට ඉන්න අයගෙත්.. ඇඳුං ආයිත්තං, ගමන් බිමන් වලට පිරිමහගන්ට වත් මදි වීමය. ඒත් සියාතු නිකං හිටියේ නෑ ය.. අහල පහල හැම තැන ම ගොස් පොළියට සල්ලි අරං ආවේය. වියදං ටික සේප් කරගන්ට හැකි විය.. ගෙදර එවුං හිතුවේ වරදක් නැතැයි කියා ය.

දැං තවත් අවුලකි.. ගෙදර උන්ට කන්ට දෙනවා මදිවට පොළිය ගෙවන්ටත් ඕනෑ ය. සියාතු ඒත් නිකං හිටියේ නෑ ය. තව තවත් වැඩි පොළියට සල්ලි ඉල්ලං ආවේ ය. ගෙදර මිනිස්සු තාමත් සතුටින් ය. උන් හිතන්නේ අපට කන්ට බොන්ට ටික තියේ නං.. සියාතු චිත්තරපටි බැලුවට මොකෝ කියා ය.

පහුගියදා ගමේ පරණ යාළුවො සැට් එකකට එන්ට කියලා පාටියක් දාන්ට සියාතු සිතුවේ ය. එය ඇත්තටම ඉස්තරං පාටියක් ය. මෙවැනි පාටි සියාතු ට කජු කනවා වගේ ය. කරන්ට ඇත්තේ වටේ රවුමක් දාලා ණය ටිකක් ඉල්ලා ගැනීම විතරක් ය.

මේ විදිහට ගෙදර තියාගන්නවා නං .. සියාතුට සින්නක්කරේට ම ගේ ලියා දෙමු කියා ගෙදර හැමෝම කතා වෙනවා ය. තව ටික දොහක් ගියොත්.. අමුතුවෙන් ලියන්ට දෙයක් ඉතුරුවෙන එකක් නෑ කියා ඉරිසියාකාරයෙක් කෙඳිරුවේ ය. 

Tuesday, November 19, 2013

නව මං පෙතෙහි අගේ..

  
එකමත් එක රටකි ඇති සමුදුරු මැද්දේ
කඳු පෙළ මනරම්ය දිය උල්පත් ඇද්දේ
කෙත්වතු තිබේ හේනුත් තියෙනෙව' බැද්දේ
තවමත් ඇහෙනවා සියොතුන්ගේ සද්දේ
  
මුව මී ගෝණ ඉත්තෑ සා පොවුවන්ද
ගව සූකර බළල් බලු අග සවුවන්ද
කවදත් දහම හුරු ඇත් කුල සෙවුවන්ද
එබිමෙහි තවත් ඇත හොර රා බිවුවන්ද
  
මිණිකැට තිබේ පොළොවේ ඔබ මොබ නිතර
ගං දිය ගලයි හැඩ වී කඳු හෙල් අතර
මහ වැවු හැඩයි බැලුවෙමි මම වී නතර
වෙන මොන ලස්සනද නව මං පෙත් විතර
  

Sunday, November 17, 2013

පිටිකර බෙහෙත් කෝ මේ පය බර වායයි

                           
මළ කා ගියත් හිත පොබයන කවි අවිය
සළකා මය දැයේ දියුණ ද විදු රවිය
වළකා ලිය නොහැක ගිණි සිළු දැවි දැවිය
බලකාමය නිසා අප හැම තැවි තැවිය
  
නිවසට අප පැමිණ හූරා ගෙන වස්තූ
කරකාරෙට අරං එහි සිටි බවලත්තූ
මරු වසඟයට යවමින් සවිබල පුත්තු
හෙළ සිරිතටත් ගිණි අවි නොවැ කළෙ පත්තු
  
රහමෙර ගෙනත් හුරු කර, කර මාට්ටුව
මස මර මරා කන්ටත් කළෙ සීට්ටුව
හෙළ වෙද කම මරා බිහි කර වාට්ටුව
අවසන දුන්නෙ බහු ආගම් පූට්ටුව
  
සුද්දා දුන්නු අල හා මුහු උනු ගෝවා
රෙද්දේ පුරා පෙරෙමින් රහ කර කෑවා
මැද්දේ උන්ගෙ සැලසුම් මෙහි ගිණි ලෑවා
යුද්දේ කොටි හපුවො අප වෙත ගෙන ආවා
  
යන්තම් නිමා වී තිස් වසරක යුද්දේ
අඩියක් දෙකක් කරදර අතරින් ඇද්දේ
ලුණු රහ බලන්ටත් කල් මදි විය හොද්දේ
විරුවා නතර විය මහ උළු ගේ මැද්දේ
  
අයියා මල්ලි ලැම්බෝගිනිගෙනාවයි
පොඩි මල්ලී හඳේ එය හරිවිනෝදයි
මාමල' බාප්පල පියතුම වගේමයි
මහ ජනතාව මහ පාරේ උලා කයි
  
කලකට ඉහත අප හට අණවිණකරලා
රට හැර ගියපු අය කළු සුද්දන් මවලා
ඇවිදින් තිබේ විරුවන් විලසින් ඇඳලා
චෝගම් ගුලිය යන්නට අප හට කවලා
  
මොනවා නැතත් රට මැද හයි වේයායයි
ඉක්මණටම වගේ පැට්‍රල් හඳ පායයි
දැනටත් ළූණු බෑ කන්නට තුන්සීයයි
පිටිකර බෙහෙත් කෝ මේ පය බරවායයි
  

Friday, November 15, 2013

ගත කොහොම ද හිත වගෙ බෙදුවේ...?

     
ලොව වැනසෙද්දී කවි ලිවු මා සිත - නුඹ වැනසෙද්දී සසල වෙළා
මල්ලියෙ අද නම් පමණට වැඩියෙන් - නුඹ මා හදවත සිදුරු කළා
  
නුඹ දෙඩු වදනක විස තිබුණා නම් - දරා ගනිමි දෙවරක් නොසිතා
දිය - කිර වෙන් කර රස බැලුවා නම් - නුඹ වනු ඇත හෙටටත් සමතා
  
ඔවදන් මනුදම් ඇසුරින් හුරුකර - නුඹ ලොකු වන තුරු බලා හිඳී
මවුපියො, ගුරුවරු, නෑ සියො ගැන නම් - නුඹ හිතුවා මගෙ හිතට මදී
  
තනි වූ පෙම් හිත දෙතුන් දෙනෙකු වෙත -දෙන්නට නුඹ කොහොම ද හිතුවේ
හිත විතරක් නම් කමකුත් නෑ තව -ගත කොහොමද එළෙසට බෙදුවේ
  

Wednesday, November 13, 2013

බැරිදා විග්‍රහය !තාරුණ්‍යය - සමයම

තාරුණ්‍යය පුදුමාකාරය. සීමා මායිම් ගැන වගේ වගක් නැති, ඉවසීම කියා දෙයක් හඳුනන්නේ නැති, පෙරලන්න හිතුණොත් මහාමේරුවත් ලොකු නැති.. එවන් තාරුණ්‍යයක් මටත් තිබුණාදැයි  මම මගේ හිත විමසමි. 

මගේ තරුණ කාලයේ ම මා ද පිළිකුල් කළ අයුරෙන් හැසිරුණු මගේ සමවියෙහි වූ තරුණ තරුණියන් පිරිසක් ද සිටි බව මට මතකය. ඔවුහු මිතුරු සමූහයක් වූ අතර, වැඩි දෙනෙකු තනි පුද්ගලයින් විය.  එක කොල්ලෙකු සමඟ කෙල්ලන් 2-3 ක් සහ එක කෙල්ලකු සමඟ කොල්ලන් 2-3 ක් එකට සැරීම මෙම කණ්ඩායමේ ස්වරූපයයි. කාලය යද්දී එක එක කුරුල්ලා කිරිල්ලියකුත් අරං මාරු වූ අතර.. අවසන මේ සමයම නිමා විය. 

මා මේ සටහන ලියුවේ මාගේ ඥාති සොහොයුරෙකුගේ එවන් වූ පිංතූර පෙළක් දැකීමෙන් හටගත් කම්පනයෙනි. ඔහු ඉන්නේ භද්‍ර යෞවනයේ ය. ඇතැම් පින්තූර වල ඔහු හා වෙළී කෙල්ලන් දෙදෙනෙකු සිටින අතර.. තවත් පින්තූරයක ඔහු තවකෙකු සමඟ එක් කෙල්ලෙකු හා වෙළී හිඳියි. මේවා සමාජ සමයං ය. එහෙත් එවන් වූ සමයං මීට 14 අවුරුද්දකට පෙරත් තිබුණි. ඒ අනුව නිසි කල ආ කල මේවා නිමා වනු ඇත. එතැනට වෙනත් පිරිසක් එනු ඇත.

තරුණ වියේදී වේවා, මැදි වියේදී වේවා සිංහලයන් විදිහට අප අපගේ සීමා මායිම් පුළුල් කළ යුතු තැනදී ඒවා පුළුල් කරනවා මිස ඒවා නොතැකිය යුතු නැත.


Sunday, November 10, 2013

සුබ උපන්දිනක් වේවා සොඳුරිය..!

                                
සඳුදා උදයේ සිට
සිකුරාදා වන විට
ඔබ ගෙවනා කටුකදිවිය
නොතේරෙන්නෙ නෑ මට
  
හතරේ කණිසම වදී
ඔබ කුස්සියටමවැදී
උයයි පිහයි එක යුද්දෙට
හය වෙද්දිත් මම නිදී
  
ලෑස්ති වෙන්නට පෙර
තෙල් ගා තැවිලිත්කර
අප්පච්චිට සලකන එක
අගයමි ලෙස පෙම් බර
  
පොඩි උන් වත් ඇහැරවා
ලදහොත් කෑමත් කවා
හනි හනිකට දුව යන්නේ
රැකියාවට දුර ගෙවා
  
නිවසට හැන්දෑවට
එයි මඳහස කැටි කොට
දරුවන්ගේ පාඩම් වැඩ
බලයි තදින් සැරකොට
  
මවු පියො දෙදෙනට මගේ
ඔබෙ අම්මා හට වගේ
සලකන එක හරි සතුටක්
වැඩි වෙයි ඔබෙ ඇති අගේ
  
කරදර බාධක මැද
මා හා දුක් විඳවිඳ
එන භවයෙත් මගෙ ම වෙන්න
ඇයි පැතුවේ රන් කඳ
  
උපන් දිනය සමරන
ඔබ හට පෙම සමඟින
පතමි පැතුම් ඉටුවන්නට
දින දින මතුඑළඹෙන
  

Thursday, November 7, 2013

සුදු වන කරමලය

නිතර දකින කුකුලා ගේ කරමලය සුදුයි කියලා කියනවනේ. ඇත්තටම මම මේ කියන්ට යන්නේ ඒ කතාව නං ඇත්තමයි කියලා.

අපි වැඩියෙන්ම ආදරය කරන දෙන්නා තුන්දෙනා අතරෙ අපි හැසිරෙන විදිහෙන් ම ඒ ටික හිතා ගත්තහැකි නේ. අනික් අය අතින් වෙන සැළකිය යුතු වැරදි ඉවසන්ට පුළුවන් වන අපට මේ ලෙංගතු මිනිස්සුන්ගෙ චූටි වැරැද්දත් ඇති හිත රිදෙන්න.

මගේ අම්මා, අප්පච්චි, බිරිඳ සහ දරු දෙදෙනා තමයි මගේ උදහසට වැඩිපුර ම පාත්‍ර වෙන්නෙ.. උදහසට පාත්‍ර උනා කියලා ආයෙ මං උල තියන්නෙ එහෙම නෑ. ඒත් නිතරම අපි අතර පුංචි පුංචි ගැටුම් ඇති වෙනවා.

ඒත් ඔය තරම් ම ලෙංගතු මගේ අක්කත් එක්ක දැං එහෙමට පැටලිල්ලක් ඇති වෙන්නෙ නෑ.. සමහර විට එයා දැං වෙනම පවුලක නිසා වෙන්ට ඇති.

ඕකෙ තවත් පැත්තක් තියෙනවා.. අපි කොච්චර කිවුවත් වඩාත්ම නිදහස් ව හැසිරෙන්නෙ කිට්ටුම යාළුවත් එක්ක කියලයි මං නම් හිතන්නෙ. යාළුව ව අපි ඉතිං ආමන්ත්‍රණය කරන්නෙ "මචං" කියලා නෙ. ඔය වගේ නිදහසේ ඉන්න වෙලාවක.. අම්මට, පෙම්වතියට පවා මචං කියවෙන්ට ගිය වෙලාවල් තියෙනවා..

චූටි අතීත කතාවකුත් අමුණන්නම්..

ඉස්සර ලස්සන කෙලි පොඩ්ඩක් දැක්කම ළඟ ඉන්න යාළුවට කකුලෙන් ගහලා පෙන්නන එක අපේ පුරුද්දක්. දවසක් පෙම්වතියත් එක්ක ළඟින් ඉඳගෙන කතාබහ කර කර ඉන්නකොට.. ලස්සන කෙල්ලෙක් ගියා.. මටත් නොදැනීම මගේ කකුල වැඩ කළා.. කියපු බොරුව නං මොකද්ද කියලා මතක නෑ.. ඒ හැටි අවුලක් උනේ නැති බව විතරක් මතකයි..

කොහොම උනත් පෙම්වතිය හොඳම යාළුවෙක් තරම් ළඟින් දැනෙනවා කියන්නේ වාසනාවක්. 

Wednesday, November 6, 2013

සොඳුරිය..ට

        
නෙතු අග සුපිපෙන කඳුළැලිමුතුවන්
මුව මත ලෙල දෙන සිනහව අමවන්
සුළඟට නැලැවෙන කෙහෙරැළිතඹවන්
මට නැත අන් කිසිවක් ලොව නුඹ වන්
  
මොනවා නුඹ මට කෙරුවත් තරහින්
පනවා දඬුවම් වැඩි දුර නොගිහින්
එනවා යළි මගෙ අසලට විගහින්
දෙනවා ඉඟි බිඟි ම'වෙතට හොරැහින්
  
රැකගෙන පති දම් සහ මගෙ දරුවන්
පණ මෙන සලකා දෙගුරු ද හොබවන්
බැතියෙන සැරසී කිස තොස නිමවන්
මම දෙන පෙම මදි නම් මට කමවන්
  

Tuesday, November 5, 2013

කැමති/සුදුසු වෘත්තිය තෝරා ගැනීම

මේ ගැන මාධව හබරකඩ සහෝදරයා ලිපි පෙළක් ලියාගෙන යනවා. ඒ අතර තිබුණු මේ ලිපිය කියවන්න ගිහිං තමයි මට මේ ලිපිය ලියන්න හිතුණෙ.

අපි වෘත්තියක් තෝරාගැනීමෙදි තමන්ගෙ කැමැත්ත, හැකියාව, වාසනාව වගේ කරුණු බොහොමයක් ගැන සිත යොදවන්න අවශ්‍යයි. කැමැත්තයි හැකියාවයි තිබුණු පලියට එම වෘත්තියෙහි යෙදෙන්න තරම් කෙනෙකු වාසනාවන්ත වෙන්නෙ නෑ. සමහර විට ඔහුට සුදුසු ම වෘත්තිය වෙනත් එකක් වෙන්න පුළුවන්.
උදාහරණයක් විදිහට මං ඒ කාලෙ (වෘත්තියක් තෝර ගන්න කාලෙ) කැමතිම වෘත්තිය වුණේ රියැදුරු වෘත්තිය. ඒ පිළිබඳ හොඳ හැකියාවකුත් මට තිබුණා. ඒත් ඒක කරන්න අයිතියක් මට තිබුණෙ නෑ. වෙනත් විදිහකින් කියනවා නම් මගේ පවුලේ අය, ඥාති හිත මිත්‍ර සමාජය මං එහෙම වෘත්තියක් කරනවාට කැමති උනේ නෑ. ඒ නිසා මං හෙවුවෙ ඊළඟ විකල්පය.

මං මුලින් ම තාවකාලික ව සමීක්ෂණ නිලධාරියෙකු විදිහට වැඩ කළා. මිනිසුන් අතර ට යන එක සතුට ඇති කරන දෙයක් උනත් ආයතනය ගැන සහ එම ව්‍යාපාරය පැවැත්වෙන අයුරු ගැන ඇති වූ කලකිරීම මත එම රාජකාරිය මං දිගින් දිගට කරන්න හිතුවෙ නෑ.

ඊ ළඟට ගෙවල් වලට ගොහිං ගණිතය විෂය උගන්වන්න හිතුවා. ඒ වැඩෙත් එතරම් සතුටුදායක උනේ නෑ. ළමයින්ට මාව හිතට අල්ලන්නෙ නැතුව ඇති.

ඊ ළඟට පිරිවෙනක රජයේ පත්වීමක් අරගෙන ගණිතය උගන්වන්න ගියා. එතැනදී ආයතනයත්, ඉගෙනගත් ශිෂ්‍යයනුත් සතුටු වුණත් මගේ හිතට සතුටක් දැනුණෙ නෑ.

ඊ ළඟට Software Developer කෙනෙක් විදිහට ගමන ආරම්භ කළා. වෙනත් ප්‍රශ්න නිසා ආයතන කිහිපයකට මාරු උනත්, මෙතැනදී නම් කරන දේ ගැන සතුටක් තිබුණා.  බොහෝ විට ඒ ඇති වූ ප්‍රශ්නත් ආයතන කලමණාකරනය පිළිබඳ ප්‍රශ්න.

බැලුවහම මගේ සිහිනය වෙලා තිබුණේ පාරිභෝගිකයො රවට්ටන්නෙත් නැති, සේවකයො රවට්ටන්නෙත් නැති ආයතනයක්. ඒ සිහිනය මං ම හෙළිකරගත යුතු එකක් කියලා මට තේරුණා. මීට වසර 3 යි මාස 4 කට විතර ඉස්සර.. Perfect Software Solutions(Pvt) Ltd  කියලා පුද්ගලික සමාගමක් ඇරඹෙන්නෙ එහෙමයි. අද වෙනකොට ඒ හීනය සෑහෙන දුරට සාර්ථකව හෙළි වෙලා තියෙනවා. මොන ප්‍රශ්න තිබුණත්.. මං අද වෘත්තීය වශයෙන් තෘප්තිමත්.

ප.ලි.
අද වෙනකොට නං වාහන දක්කනවා කියනකොටත් ඔළුවෙ කැක්කුමයි.. (ඒ කාලෙ කොළඹ වාහන පදවලා තිබුණෙ නැති නිසා වෙන්න ඇති ආසා හිතෙන්න ඇත්තේ..)

Monday, November 4, 2013

හදිසියේ දුටු එ'දිගැසා

       
නුඹට සිංහල බැරි නිසා
දොඩමි මම අණ්ඩර බසා
එපා මා හා උරණ වන්නට
දනිමි දෙනුවන් වල රසා
  
නුඹ ම පෑ ඉඟි බිඟි වසා
යොමා නෙතු වෙනතක්දෙසා
මාත් මිනිසෙකු වගක් නොසිතා
පෙළනු කිම මා මේ ලෙසා
  
නොබිනුවෙමි මම නම්මුසා
නුඹයි මා හද දිනු යසා
එක හිනාවක් ළඳේ ඇති මට
නො එමි පෙම ඇති දැයි අසා
  

Tuesday, October 22, 2013

දොස්තර ගේ සාස්තර

මේ සිද්දිය වෙනකොට මට වයස 10ක් විතර ඇති. මට ඒ කාලෙ සූටියට පපුවෙ මහන්සිය වගේ තිබුණා.. ඒ කිවුවෙ උදේ ඉඳං රෑ වෙනකං දැඟලුවාට පස්සෙ රෑට පපුව ඇතුළෙ රූං රූං ගානවා.. එයිට අමතරව අපේ අම්මට මං හරිම කෙට්ටුයි.. ඇත්තටම පොඩි කාලෙ මං ටිකක් කෙට්ටුයි. ඒත් ඒක අසාමාන්‍ය නෑ. අපේ අම්මට විතරයි අසාමාන්‍ය වුණේ. අපේ අම්මට අනුව මගේ ඇඟත් ටිකක් දුර්වලයි. ඒ නිසාම මාසෙකට දෙකකට සැරයක් විශේෂඥ වෛද්‍යවරයෙක් මුණගැහිලා විටමින් එකක් එහෙම ලියා ගන්නවා..  ඔය වගේ දවසක් ගියා විශේෂඥ දොස්තර මහත්තැන් කෙනෙක් බැහැදකින්න. ඉතිං දොස්තර මහත්තයාට මගේ දුර්වලකම් ගැන පේලියක් දෙකක් කියනකොට ම තේරුණා පස්නේ මොකද්ද කියලා.. මගේ අත අල්ලගත්ත දොස්තර මහත්තයා මෙන්න මෙහෙම කිවුවා..

ඇල්වතුර නාවන්නෙ නෑ නේද? උණුවතුරමනෙ නාවන්නෙ ..
හෙම්බිරිස්සාවක් හැදුණ ගමන් උස්සගෙන යනවා නේද ඉස්පිරිතාලෙ?
තාම කවනවා නේද?
තනියෙම කොහෙවත් යවන්නෙ නෑ නේද?
.................................................
................................................

ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තරේ උනේ ඔවු කියන එක. දොස්තර මහත්තැන් මට කිවුවා මෙහෙම.

පුතා ගෙදර ගිහිං තාත්තට කියන්න.. ඒ දොස්තර මහත්තයා සාස්තර කියන්නත් දන්නවා කියලා..

ඊට පස්සෙ ආයෙත් අම්මා දෙසට හැරුණු දොස්තර මහත්තැන් පුතා විතර ද ඉන්නෙ?  කියලා ඇහුවා.
නෑ දුවෙකුත් ඉන්නවා.. කියලා අම්මා උත්තර දුන්නා..

පුතා පුතෙක් විදිහට හදන්න. දුව දුවෙක් විදිහට හදන්න.
බය නැතුව ඇල්වතුර නාවන්න.. නෑවට පස්සෙ රස්නෙට ප්ලේන්ටියක් දෙන්න.
ඔය විදිහෙ උපදෙස් වට්ටෝරුවක් දොස්තර මහත්තැන්ගෙන් අපේ අම්මට ලැබුණා..

ඇත්තටම ඒ උපදෙස් ටික මට සෑහෙන තරමේ නිදහසක් ලබා දුන් බව මට මතකයි.

අපේ අප්පච්චි මට දුවන්න පනින්න අවසර දෙන්නෙත් හරි අඩුවෙන්.. කොටිංම බයිසිකලයක් ගෙනත් දුන්නත්.. ඒක පදින්න පුරුදු වුණේ හොරෙං.. අප්පච්චි කෙසේ වෙතත් අම්මා එදායින් පස්සෙ මට කොල්ලෙකුට අවශ්‍ය නිදහස දෙන්න නිතරම උනන්දු උනා..

හැබැයි තවමත් අම්මට මං කෙට්ටුයි.. 

Thursday, October 17, 2013

හිමවත කළ හැකිද සොඳුරිය නුඹට සම?

                    
ම ඳ හ ස හිරුගෙ විඳ සුවබරහිමිදිරියේ
සෙ නෙ හ ස පුදමි සඳ නුඹ වෙතසුමිහිරියේ
කි තු ගො ස බිඳුණු පසුව ද නොම අත හැරියේ
නු ඹ මි ස අත්වැලක් නැත මගෙසුවිසැරියේ
  
බැ ඳි මහ පවුරු පිණි බිඳු මෙන්ම යකතර
සැ දි මඟ කවුරු කීවත් නොම විය නතර
ලැ දි බව නො අඩු විය අග හිඟ කම අතර
රැ ඳි නෙතු කඳුළු නොදුටිමි හසකැන් විතර
  
ක ය නුඹෙ විකුණුවත් මට එය නැත කාරී
ලෙ ය මගෙ රකිණු වෙනුවෙනි ලුහු කළෙ සාරී
රැ ය ඉකි බිඳිණු කිම මිත මට ඇත තේරී
සි ය හදවතින් තවමත් නුඹ මගෙ බාරී
  
වෙ හෙ රෙ හි බුදු මැදුරෙ හා මහ බෝ මළුවේ
ද හ රෙ හි උතුම් සදහම් සිසිලස ගැලුවේ
ප හ රෙ හි සැඩ, ඇදෙන්නට මල් නැහැනෙළුවේ
නු දු රෙ හි තිබෙන නිවනකි නිතරම බැලුවේ
  
මි හි ම ත සිටින මනු පල්ලන් අතර යම
සි හි තෙ ත රැකගෙන ම ගිණියම් කරන ළැම
ඇ ඳි ව ත පරයමින් රැකගත් පතිනි කම
හි ම ව ත කළ හැකිද සොඳුරිය නුඹට සම
  

Thursday, October 3, 2013

බැරිදා විග්‍රහය!සිස්සත්තේ අතුරු කතා


පහේ සිස්සත්තෙ පටං ගත්තේ එකදාස් නවසිය අසූ අටේය.. ඊට කලිං තිබුණේ පහේ සිස්සත්තේය.. බැලුවාම අණ්ඩර දෙමළයක් වගේ තිබුණාට මේක ඇත්තය. මං ලිවුවේ පරණ පහේ සිස්සත්තේ ය. ඒ අවුරුද්දේ සිස්සත්ත දෙකක් තිබුණේ ය. ඕවා පරණ කතා ය.

ලෝක ළමා දිනේ යෙදුණ ඔක්තෝබර් පළමුවැනිදා සිස්සත්ත ප්‍රථිඵල එළියට ආවේය.. ආපු ප්‍රථිඵලය හොඳ වුණු ළමෝ.. වාසනාවන්තයෝ ය. නැත්තං එදාට සමරන්ට වෙන්නේ ලෝක ගුටි බැට දිනය වන්නේ ය.

මෙවර සිස්සත්ත විබාගේ කාලෙකට පස්සේ පස්න පත්තරේ වැරැද්දක් නැතිව තිබ්බ විබාගයක් හැටියට ඉතිහාස ගතවෙනවාය. ඒත් ඉතිං අතරමඟ එක එක කොහු තිබ්බ විත්තිය කනිං කොනිං ඇහෙනවාය.

උත්තර පත්තර බලන්ට යන්නේ ඉස්කෝල වල ටීචැර්ලාය. එහෙවු ටීචැර්ලාට තමං ගේ ඉස්කෝලෙ දරුවන්නෙ උත්තර පත්තරේ බලන්ට දෙන්නේ නැතිය. ඒත් සීතාවක රාජධානිය පැත්තේ ටීචැර්ලාට තමන්ගේ ඉස්කෝලෙ දරුවන්නේම උත්තර පත්තර බලන්ට හම්බුවෙලා ය කියලා කතාවක් තියේ ය.

ආරංචියේ හැටියට ඉස්පිල්ලට, පාපිල්ලට, ඇලපිල්ලට, ඇදපිල්ලට පමණක් නොව ඉස්පේස් එකටත් ලකුණු කපනවාය. ඉතිං ඔය අඩු වුණු ඇලපිල්ලක් .. පාපිල්ලක් පත්තරේ බලන ගමං  එක්කහු කොරන්ට මේ ටීචැර් ලා ට බැරි කමක් නෑ ය. හැම ටීචර් ම වංචා කාරයෝ නෙවුණට.. රටේ හැටියට සැලකිය යුතු වංචා කාරයෝ පිරිසක් ටීචැර්ලා අතරත්  ඉන්නවා ය.

කොහොම උනත් පාස් වෙච්චි දරුවෝ මේ දවස් වල වීරයෝ වෙලා ය. එක කෙලි පැංචියක්.. තමන්නේ තෑග්ග ලෙස තාත්තාගේ බීම නතර කොරන්ට කියා ඉල්ලපු ආදුරුසමත් කතාවකුත් අහන්ට ලැබුණේය. මාත් ඔය සිස්සත්තෙන් පාස් වෙච්චි දා අප්පච්චිගෙන් ඉල්ලුවේ සිගරැට්, අරක්කු වර්ජනයක් ය. වාසනාවකට අප්පච්චි ඒ වර්ජනය කළේ තුන් මාසයක් විතර ය. බීම නැවැත්වීම නිසා තාත්තාගේ කොලෙස්ටරෝල් වැඩි වීමේ අවදානමක් තිබෙන බැවු මේ පොඩි එකීට මතක් කොරන්ට ඕනෑ ය. 

තමන්ගෙ දුව, අල්ලපු ගෙදර පුතා, අයියගෙ පුතා, බාප්පගෙ දුව, යාළුවගෙ නංගිගෙ නැන්දගෙ දුව සිස්සත්තෙ පාස් වෙච්ච රිසැල්ට් වලිං ෆේස්බුකිය පිරිලා ය. කෙල්ලො ගෙට උනාම වෙඩිං එකට වඩා ලොකුවට පාටි ගන්න රටේ මේවා මහා ලොකු දේවල් ද නොවේ ය. 

Tuesday, October 1, 2013

මගෙ ආදරේ මේ වෙන්නැතී

නිති මීරි බස් තෙපලන්නැතී
හිස අත ගගා සනසන්නැතී
වෙන කාටවත් මං දෙන්නැතී 
මගෙ ආදරේ මේ වෙන්නැතී

බිඳුණු පෙම් දම් නොසොය' නොබලා
ලැබුණු සුවයක මිහිර විඳලා
යුතු කමුත් අකුරට ම කරලා
නොම යදිමි පෙම නුඹෙන් පෙරලා

හස තොස පවා විමසන්නැතී
රට තොට පුරා සැඟවෙන්නැතී
හොඳ තැනකවත් ගැවසෙන්නැතී
මම මා ගැනත් තව දන්නැතී